අලුත් දේශපාලනයක් ! අලුත් සිහිනයක් !!

අලුත් දේශපාලනයක් ! අලුත් සිහිනයක් !!

``චින්න චින්න ආසෛ කියල, මං මෙතන සිංහල අකුරුවලින් ලිව්වට ඒ තමිල් වචන තුනක්. රෝජා චිත්‍රපටයෙ එන අතිශය ජනප්‍රිය ගීතයක් ඇරැඹෙන්නෙ ඒ වචන තුනෙන්. එහි සිංහල තේරුම, පුංචි පුංචි ආශාවන් කියන එකයි. `ආසෛ' කියන තමිල් වචනයයි 'ආසයි' කියන ව්‍යවහාර සිංහල වචනයයි අතර වාග් විද්‍යාත්මක නෑකම හොයාගන්න දවස කවද්ද කියල මම තාම දන්නෙ නැහැ. ඒ දවස තීරණය වෙන්නෙ අපි කාගෙ කාගෙත් ඕනෑකම අනුව කියල විතරයි මට තේරෙන්නෙ.``

හරියට ම මීට අවුරුදු දෙකකට කලින්, ලංකා නිව්ස් වෙබ් එකට ලියාගෙන ඇවිත් මග නතර වෙච්ච `චින්න චින්න ආසෛ` තීරු ලිපියෙ, පළමු කොටසේ පළමු ඡේදය තමයි ඒ. එදා ඒ ලියපු පළමු කොටසේ අන්තිම ඡේදය තමයි මේ.

``චින්න චින්න ආසෛ කියා ගැයුවෙ මින්මිනි. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න කියල ගයන්නෙ නන්දා මාලිනි. `ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ - සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ - ලඹ තුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ - ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ` කියල සුනිල් ආරියරත්න ලිව්වහම සරත් දසනායක අසිරිමත් තනුවකින් ඒ වචන පිරිමදිනවා. ලෝකය එතරම් ම සුන්දර ද කියන සහතිකය මට ඔබට දෙන්න බැරි වුණත්, මම ඔබට කියන්නෙ, ඔබෙ සිහිනය මාත්තෙක්ක බෙදාගන්න එන්න කියල. මගෙ සිහිනය ඔබත් එක්ක බෙදාගන්න දෙන්න කියල.``

එකිනෙකාගේ පුංචි පුංචි සිහින - පුංචි පුංචි ආශාවන්, එකිනෙකා අතර බෙදාගන්න එක තරම් සුන්දර දෙයක් තවත් නැති නිසා තමයි, ``කැටේ කොලම් එක ආයෙත් ලියපං`` කියල චන්දිම කරපු ආරාධනාව ඉස් මුදුණෙන් පිළිගත්තෙ. ඉතින් අපි පටන් ගනිමු.

උපදිනකොට අපි කවුරුත් හීන අරගෙන එන්නෙ නැහැ. මැරෙනකොට හීන අරගෙන යන්නෙත් නැහැ. ඒ කියන්නේ, හීන දකින්නෙත් හීන හොයන්නෙත් ජීවිතය ඇතුළෙ විතරයි. මීට අවුරුදු හතළිස් හතරකට කලින්, මුන්දලම ඉස්පිරිතාලෙ ගැබිණි වාට්ටුවෙ, එක ඇඳක මයියාවේ විමලාවතී ඉන්නකොට, මදුරන්කුලියේ හසීනා තව ඇඳක ඉන්න ඇති. උඩප්පුවේ ජෙයභාරතී තව ඇඳක ඉන්න ඇති. එක පේළියට තොටිලිවල නිදිකරවපු අපි ඔක්කොම ළමයි එක භාෂාවකින් අඬන්න ඇති. එක එක පාට ඇඳුම් ඇඳගත්ත අම්මලා එකම පාට කිරි හැම දරුවකුටම දෙන්න ඇති. ඊට පස්සෙ ඒ ළමයි ඉස්පිරිතාලෙන් එළියට ඇවිත් එක එක විදිහට වෙන වෙනම ජීවිතේ පටන් ගන්න ඇති. ඊටත් පස්සෙ එකිනෙකා වෙන වෙන හීන පස්සෙ දුවන්න ඇති.

ඊට අවුරුදු දහයකට විතර පස්සෙ දවසක, හලාවතින් ගමන් ආරම්භ කරපු උඩප්පුව බස් එක ඇතුළෙදි බඩගින්නටයි මහන්සියටයි කලන්තෙ දාපු දරුවා සිංහල ද කියල බස් එකේ හිටපු අම්මලා බැලුවෙ නැහැ. ආපහු සිහිය එනකොට තමන් හිස තබාගෙන ඉන්නේ දෙමළ අම්මා කෙනෙක්ගේ උකුළක කියල ඒ දරුවට වෙනසක් දැනුණෙත් නැහැ. අපි එක එක්කෙනා අඩුවැඩි වශයෙන් ජාතියට ආදරේ කෙරුවට, ආදරයට ජාතියක් නැහැ. ඉතින් එහෙමනම්, එක එක්කෙනා තම තමන්ගේ විශ්වයන්වල ඉඳගෙන දකින පුංචි පුංචි හීන, එක මුතුපොටක අමුණන්න ඇයි අපට බැරි ?

එකිනෙකා දකින හීන - අනෙකාගේ හීනයට බාධා නොවෙන විදිහට දකින්න පුළුවන්නම් ඒක තමයි වැඩේ. හැබැයි අපි දන්නව දේශපාලනය වගේ විෂයයන්වලදි ඒ සෙල්ලම් ලේසි නැහැ කියල. දේශපාලනය කියන්නේ බොහෝ විට එක හීනයක් වෙනුවට වෙන හීනයක් ඉස්මතු කරන එක. හීන වෙනුවෙන් රණ්ඩු කරන එක. හැමෝම හිනාවෙන එක හීනයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරන්න පුළුවන් අලුත් දේශපාලනයක් නිර්මාණය කරන එක හැබෑ කරගන්න බැරි සිහිනයක් නෙමෙයි. ඉෂ්ඨ කරගන්න බැරි ආශාවක් නෙමෙයි.

මට මතක් වෙනව චන්ද්‍රකුමාර වික්‍රමරත්න සහෝදරයා ලිව්ව කවියක්.

එකම අපායක අප හැම දැවෙන සඳ - වෙන ම අපායක ඉන්නට පතයි නුඹ - අපා දෙකක කිරුළට යුද වදින සඳ - කඳුළු කඳුළුමය කාගේ වුණත් මට !

කඳුළු දැන් ඇති.. අලුත් සිහිනයක් වෙනුවෙන් පුංචි පුංචි ආශාවන් එකතු කරන්න පටන් ගනිමු !!

විමල් කැටිපෙආරච්චි
2021 මාර්තු 11

(චින්න චින්න ආසෛ උපුටා ගැනීම lanka news web)