නවතින්න මාළිගාවේ සීදේවි නේනු මාගේ.. හැරී මේගන් සහ ආචි හැරිසන් වෙනුවෙන් !  

නවතින්න මාළිගාවේ සීදේවි නේනු මාගේ.. හැරී මේගන් සහ ආචි හැරිසන් වෙනුවෙන් !   
භෞතික ශරීරය හැරපියා යන තුරු, කිසිදු ගැහැටක් නැතිවම සැප සම්පත් සාගරයක පිහින පිහිනා ඉන්නට සියලු කාරණා කටයුතු යෙදී තිබූ මේගන් මාකල් හිටපු ආදිපාදවරිය ගැන හිත කම්පා කෙරෙන සාහිත්‍යමය වර්ණනා ලියන්නට, මහා බ්‍රිතාන්‍යයේ මතු නොව, ඈ උපන් එක්සත් ජනපද රාජ්‍යයේවත් මිනිහෙක් හිටි බවක් පෙනෙන්නට නැත. යස ඉසුරෙන් පිරී ගිය රාජකීය පෙළපතක් තබා, පිය උරුමයෙන් ලැබෙන්නට නියමිත බෝතල් පත්තර කඩයක්වත් ලේසියෙන් දමා එන්නට අකමැති ගැහැණුන් සහ පිරිමින් පිරී ගිය ලෝකයක, මේගන් මාකල් සහෝදරිය පිළිබඳ කව් ගී ලියවුණා මදී වගේ හැඟීමක් ඇතිවෙයි.
 
අද මෙන් අර්මානි, ප්‍රාඩා හෝ වික්ටෝරියා සීක්‍රට් ආදී මිල අධික ස්ත්‍රී ඇඟලුම් ලොව බිහි වී නොතිබුණු කාල වකවානුවක පවා, තමාට පුළුවන් හැටියෙන් සිය අග මෙහෙසිය හැඩ ගන්වන්නට ඇති වෙස්සන්තර රජුට, සියලු වස්තු තණ්හාව අත හැර යන ගමනේදීත්, බිරිඳගේ ඇඳුම් මෝස්තර පිලිබඳ සංකා උපද්දා ගන්නට කාල වේලාව තිබිණි.
 
කවදා, කිනම් අයෙක් රචනා කරන්නට ඇද්දැයි නොදන්නා, වෙස්සන්තර ජාතක කාව්‍යයේ, ඒ අසීරු කාල තරණ මොහොත මෙසේ දැක්වෙයි.
 
කරට පදක්කම් තැළි පැළඳුවත් තපසට නොගනිති වන්නා
වංගි දෙවංගී තනපොට බැන්දත් තපස‍ට නොගනිති වන්නා
දෑතේ සුළැඟිළි රන්මුදූ ලූවත් තපසට නොගනිති වන්නා
නෙරිය තියාලා සේල පැළැන්දත් තපසට නොගනිති වන්නා
 
ඉතින් ඊට පිළිවදන් ලෙස මන්ද්‍රී දේවිය,
 
කරට පදක්කම් තැළි පැළැදූවට නවගුණ වැල් කරලන්නයි
වංගි දෙවංගී තනපොට බැන්දට ඇඟ දිවි සම් පොරවන්නයි
නෙරිය තියාලා සේලය ඇන්දට වට අඳනා පළඳින්නයි
ලොවුතුරු බුදුබව සිතින් දරාගෙන තපසට යන්නට එන්නයි
 
නීතිඥ ජෝන් ද සිල්වා විසින් රචිත වෙස්සන්තර ගීත නාටකය, රජ සැප අත් හැර දමා දුෂ්කර වන දිවියට ස්ව කැමැත්තෙන් ඇතුළු වන මේ අඹු සැමි දෙදෙනාගේ ඉරණම තවත් ඇසකින් විමසයි.
 
නෙක චණ්ඩ ව්‍යා‍ඝ්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
හාමත්ව ඉන්ට වේමැයි
බෝ දුක් විඳින්ට වන්නේ
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ
 
රජවරුන්, කුමාරවරුන් සහ උන්ගේ බිරින්දෑ වරුන් පමණක් නොව, රජ නැන්දම්මලා සහ මාමණ්ඩිලා වෙනුවෙන් පවා භාණ්ඩාගාරයේ සැලකිය යුතු කොටසක් වෙන් කරගෙන සිටින රටක පුරවැසියන්ට නම්, හැරී මේගන් යුවළ "අත් හැරීම" පිළිබඳ දුන් ඓතිහාසික ආදර්ශය, හැන්දෑ අහසක ඇඳී මැකී ගිය ඉන්ද්‍රචාපයකට එහා දෙයක් වන්නට ඉඩ නැත. එසේ වුවත්, ගැටවර වියේදීම තම රටේ ජනතාවගේ මුදලින් යැපෙන අධිපතිවාදී ඥාති සනුහරයට තමන්ගේ ඇති නොපෑහීම පෙන්නුම් කළ ඒ කෙසඟ තරුණයා, සිය කැරලිකාර බිරිඳ හා පුතු සමග ස්වාධීන ජීවිතයක් සොයා නික්මුණු ගමන, මේ සියවසේ සිදුවූ මහා කැපකිරීම් වලින් එකක් ලෙස කොතැනක හෝ ගෝල්ඩ් ෆොයිල්ඩ් බෝල්ඩ් අකුරෙන් සටහන් විය යුතු ය.
 
දැඩි සහෝදරත්වයෙන් බදා වැළඳ ගන්නටවත් ආසන්න දුරක නැති හෙයින්, ඔහු අයත් වන රාජ්‍යයේ ඉපැරණි යටත් විජිත කොදෙව්වක සිට, කිසිවෙකුට නෑසෙන මේ කුඩා අත්පොළසන් හඬ හැරී මේගන් යුවළට මෙසේ පිරි නමමි. ඒ හැරෙන්නට මවුන්ට් බැට්න් වින්ඩ්සර් රාජකීය නිල නාමයෙන් පිටමං කෙරුණු හුරතලා, ආචි හැරිසන් පොඩි එකා වෙනුවෙනුත්...!
 
 
| හිරාන් ඩි සේරම් |