නිදි පෙති බොන්නට සිදුවන ගැහැනුන්ගෙන් ආතල් ගන්නා සමාජයක.. 

නිදි පෙති බොන්නට සිදුවන ගැහැනුන්ගෙන් ආතල් ගන්නා සමාජයක.. 
රන්ජන්ගේ හඬපට නාඩගමට මැදි වූ එක්තරා කාන්තාවක නිදි පෙති බී ඇති බව සඳහන් පුවතක් දැකීම හා එයට බුකීවාසීන් දමා තිබූ විසුළු සහගත ප්‍රතිචාර දැකීමෙන් උපන් කළකිරීම හේතුවෙන්, එදිරිවීර සරච්චන්ද්‍රගේ 'විලාසිනියකගේ ප්‍රේමය' ආපහු අතට ගත්තා කියවන්න. ඇයගේ චරිතය මේ කතාවට සෘජුව සම්බන්ධයැයි මා කියන්නේ නැහැ. එහෙත් කුමක්දෝ හේතුවකට මට මේ කතාව මතක් වුණා.


විලාසිනියකගේ ප්‍රේමයට පාදක වෙන්නේ කණවේර ජාතකය. ජාතක කතාවේ එන විදිහට සාමා නම් ගණිකාව, හිස ගසා දැමීමට ගෙන යන සොරෙකු කෙරෙහි පෙමින් බැඳෙනවා. ඇය සමාජයේ ඉහළම පුද්ගලයින් ඇසුරු කරන්නියක්. පසුව ඇය තමාගේ පහස ලබාගැනීමට පැමිණි වෙනත් පුරුෂයෙකුට පෙර කී සොරාව රහසින් හුවමාරු කර, ඔහුව බේරාගෙන, ඔහුත් සමග නගරයෙන් පළා ගොස් සහවාසයේ යෙදෙනවා. කල්යත්ම සොරාට සාමාගේ ඇසුර එපා වීම නිසා, ඇයව රවටා වෙනත් පෙදෙසකට ගෙන ගොස් ඇගේ අබරණ කොල්ල කා පළා යනවා. ජාතක කතාව පුරාම සාමාගේ චරිතය නිරූපණය කර ඇත්තේ පවුකාර, කළු චරිතයක් විදිහට.


ඒත් මේ කතාව ඇසුරෙන් විලාසිනියකගේ ප්‍රේමය ලියද්දී සරච්චන්ද්‍ර සාමාට එහෙම වුණේ ඇයි කියන කතාව අපට කියනවා. සාමා දෙස දයාර්ද්‍රව බලන්න අපව පොලඹවනවා. විලාසිනියකගේ ප්‍රේමය ප්‍රස්තාවනාවේ ඔහු මෙහෙම කියනවා


" වෙන ජාතක කතාවල මෙන් මෙහිද ගැහැනිය දක්වා ඇත්තේ සිදු වන සියල්ලට වැරදි කාරිය ලෙසිනි. සාමා යහපත් චරිතයක් ඇති ගැහැනියක ලෙස නිරූපණය කොට නැත. ප්‍රථමයෙන්ම ඈ වෙසඟනකි. වෛශ්‍යා වෘත්තිය තම ජීවනෝපාය වසයෙන් තෝරා ගන්නේ රාගාධික ස්ත්‍රීන්ය යනු, ගැහැනිය සමාජයේ පහත් තත්ත්වයක් ඉසිලූ යුගයක හටගෙන, අද දක්වා ශේෂ වී පවත්නා බොළඳ මතයකි."


සමහර වෙලාවට තරුණයො අපට බනිනවා තාමත් සරච්චන්ද්‍රව කර තබාගෙන යනවා කියා. ඇත්තටම බැලුවොත් මේ යන විදිහට තව ශතවර්ෂයක් විතර යනකංම සරච්චන්ද්‍රලාව කර තබාගෙන යන්න වෙනවා. සිවුරුධාරී රස්තියාදුකාරයින්ගෙන් බණ අහන සමාජයක් නැවත නැවතත් සරච්චන්ද්‍රලාව කියවනකංම !

| තිලිණ මලලසේකර |