ග්‍රැන්විල්, විජේ සහ මනෝ

ග්‍රැන්විල්, විජේ සහ මනෝ
පරණ එක්ස්කාරයෙක් වෙච්චි මා මිත්‍ර නිහාල් හෙවත් රැඩිකල් කවියා ලියල තිබ්බ දෙයක් නිසයි මේ සටහන ලියැවෙන්නේ.
නිහාල් ලියලා තිබ්බා මනෝ ජනතාව අතරට ගියේ රූපවාහිනියෙන් වුණාට කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ කියලා. මගේ මතකය නිවැරදි නම් මනෝ පුංචි තිරයේ හිට් වුණේ "සකිසඳ එලියස්" ප්‍රහසනය හරහායි. වාසනාවකට හෝ අවාසනාවකට වගේ ඒකෙන් පස්සේ මනෝ දිගින් දිගටම එවැනි චරිත රඟපානවා දැක්කේ නෑ.

gwm
මේ කතාව අස්සේ මනෝ එක්කම මට මතක් වෙන තවත් චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් ග්‍රැන්විල් රැද්‍රිගු. අනෙක් කෙනා විජය නන්දසිරි.
ග්‍රැන්විල්, විජය සහ මනෝ කියන තුන්දෙනාම අති දක්ෂ වේදිකා නළුවෝ. වේදිකාවෙන් ලද විනය, පුහුණුව හා ශික්ෂණය තමයි ඒ තුන්දෙනාම සෙසු කලා මාධ්‍යයන්ට රැගෙන ආවේ.
ඒත් ග්‍රැන්විල් නික්ම ගියේ 'ඔටා දමඥ්ඥා' විදිහට. විජය නන්දසිරි නික්ම ගියේ 'ජයමංගල' විදිහට. ඒත් මනෝ 'එලියස් අප්පුහාමි' විදිහට නික්ම ගියේ නෑ. ඔහු බැස ගියේ 'ගුරු තරුව' විදිහට.
අසූව දශකයේ අග භාගය වෙනකංම වේදිකාව මිනිස්සුන්ගේ ප්‍රධාන කලා රසාස්වාදන මාධ්‍යයක් වෙලා තිබ්බා. 88-89 කාලේ අපව වෙලාගත් භීෂණය විසින් එතෙක් ලංකාවේ මිනිසුන් වින්දනය කළ රාත්‍රී සමාජ ජීවිතය විනාශ කර දැම්මා. මිනිස්සු වේදිකාවෙන් ඈත් වෙන්න එක හේතුවක් වුණේ ඒක.
ක්‍රමය විසින් ග්‍රැන්විල් සහ විජය නන්දසිරි, පුංචි තිරය වෙත පසුබැස්සුවා. ඒ ගැන එයාලට දොස් කියන්නත් බෑ. එක කලා මාධ්‍යයක් වැහෙනකොට ඇරිලා තියෙන එකකට රිංගගන්න එපැයි ජීවත් වෙන්න. ඒත් අවසානයේ ඒ දෙන්නම අපෙන් නික්ම ගියේ පුංචි තිරයේ ජෝකර්ස්ලා දෙන්නෙක් විදිහට. මනෝට එහෙම නොවුණ එක ගැන තියෙන්නේ අප්‍රමාණ සතුටක්.
අපි පුංචි කාලේ අපේ තාත්තා අපිව පුත්‍ර සමාගම, තල මල පිපිලා, සිහින සාප්පුව, ගුරු තරුව වගේ නාට්‍ය බලන්න එක්කං ගියේ නැත්තං මටත් වෙන්නේ එලියස් අප්පුහාමිට විතරක් සමුදෙන්න.


| තිලිණ මලලසේකර |

මෙම සටහනට තුඩු දුන් නිහාල් රත්නායකගේ සටහනයි මේ.

``මනෝරත්න හැමෝ අතරටම ගියේ ටෙලිනාට්‍ය හින්දා... හැබැයි අපි ඒකෑල්ල අතෑරලා වැඩි පිරිසක් නොබලන වේදිකා නාට්‍ය චරිත නිසා ඔහු ආලෝකමත් උනා කියලා පෙන්නන්න හදනවා.``


මේ, ජයලත් මනෝරත්න නිර්මාණවේදියා පිළිබඳව ලියැවුණු තවත් සටහන් කීපයක්. 


මනෝරම්‍ය මනෝගේ සුන්දර ජීවිත පරිත්‍යාගය.

පවුලෙ එවුන්ගෙ ඇරෙන්න මම ලෙඩ්ඩු බලන්න යන්නෙත් නැහැ, මල ගෙවල් වල යන්නෙත් නැහැ. ඒ මගේ වේදනාකාරී ආත්මයේ තරම. මොකද ලෙඩෙකුට උදව් කරන්න හෝ මල මිනියකට පණ දෙන්න හෝ මට ඇති නොහැකියාව. ලෙඩ්ඩු බලන්න ගිහින් හෝ මල ගෙවල් වල ගිහින් හෝ වැල් බයිලා කියමින් ගත කරන ඒ මොහොත දිරවා ගන්න මට ටිකක් අමාරුයි.
මම මනෝ බලන්න යන්නෙත් නැහැ.
මහේෂ් හපුගොඩයන් මනෝ ගැන ලියා තිබ්බ දෙයක් නිසයි මම මෙහෙම ලියන්නෙ.
සකළ කලාවන් අතුරින් වඩාත්ම වෙහෙසකාරී කලාව තමයි ප‍්‍රසාංගික කලාව. සුගතපාල ද සිල්වානන් සහ ධර්මසිරි බණ්ඩාරණායකයන් සම`ග නාට්‍යාලෝකයට ආවේශව රට වටේ කරක් ගැසූ අත්දැකීම වසර ගණනක් තිස්සේ මට තිබුණ.
මේ දුෂ්කර කලාව වෙනුවෙන් ජීවිතය කැප කිරීම ලංකාව වගෙ රටක නම් ඉතා කටුකයි. ඒ වගෙම ආශ්වාදජනකයි. ලැබෙනව කියල ඊනියා සල්ලියකුත් නැහැ. ඔ්නෙ නම් බෝතලයක් ගහන්න පුලුවන්. එච්චරයි. සමහර දවසට ඒකටත් පොලු. පේ‍්‍රක්ෂකයා සතුටු වෙනව නම්, ඹ්නෑම කට්ටක් කෑම, සෑම සියලු රංගධරයකුගේම ආත්ම විමුක්තිය බව, ඇස් මනා පිටම මා ලත් ප‍්‍රහර්ශයක්.
උදාහරණ නම් ඔ්නෑ තරම්. එකක් පමණක් කියන්නම්.
අසූව දශකයේ එක්තරා දවසක, ''හුණුවටයේ කතාව'' බලන්න ධර්මසිරි අයියාත්, මාත්, පාලිත තේනුවරත් ගියා. ධර්මසිරි අයියට ඔ්නෑ උනේ අනන්තවත් දැක බලා ඇති හෙන්රි ජයසේනයන්ගේ රංග ප‍්‍රතිභාව යළි යළිත් බලන්න. එතැනට ගියාම ආරංචි උනා හෙන්රි ජයසේනයන් අසනීපව, ඒ වෙනුවට වෙනත් නලුවෙක් ර`ගපාන බව. ධර්මසිරි අයියා මට කිව්ව ‘‘ගිහින් ඔහුට කියන්න - අපි ආවෙ එයාගෙ ර`ගපෑම බලන්නයි - ඒ නිසා පුලුවන් නම් අද ර`ගන්න’’ කියල. ඉතින් මං පිටිපස්සට ගිහින් එයාට ඒක කිව්ව. ධර්මසිරිගෙ නම නොකියා මම ඒක කළේ මගේ ඉල්ලීමක් හැටියට. එයා මාව දන්නෙවත් නැහැ. ඒ පාර එයා කිව්ව ‘‘ අනේ ළමයො මට හො`දටම අසනීපයි - අද නම් කොහොමටවත් ර`ගපාන්න බැහැ’’ කියල. ඒත් නාට්‍ය පටන් ගත්තම මෙන්න බොලේ එයා ර`ගනව. ඒක තමයි රසිකයා වෙනුවෙන් කරන රංගධරයකුගේ විශ්ෂ්ඨ වගවීම. තනි මා වෙනුවෙන් එයා අමාරුවෙන් හෝ ර`ගපෑව. හැබැයි අල්ප මාත‍්‍ර වෙනසක් තිබිබෙ නැහැ
මනෝ කියන්නෙ අඩ සියවසක් පුරා, රසික ඔබ වෙනුවෙන් එවැනිම කැප කිරිම් උපරිමව කළ මාරම මාර පොරක්.
බෝතලයක් ගැන සදහන් කළ නිසා මෙහෙම විහිලු කතාවකුත් කියන්නම්. දවසක් නාට්‍යයක් පෙන්වන්න දුර පාලාතක ගිය වෙලාවක සංවිධායකගෙන් තඩි පොල්ලක් වැදුණ. අඩුම ගාණෙ බොන්න දුන්නෙවත් නැහැ. කොහොම කොහොම හරි කට්ටිය එකතු වෙලා කලෙක්ෂන් එකක් දාල එක බෝතලයක් විතරක් ගෙනාව. දැන් ඒක බොන්න, හො`දටම මහන්සි වෙලා හිටපු දුසිමක් විතර ඉන්නව කෙළ හල හලා. බෝතලය කඩන්න දුන්නෙ වැඩිමලා උන මනෝට. සාමාන්‍යයෙන් සිරිතක් තියෙනව, බෝතලය කඩන්න ඉස්සර ඒකෙ අඩියට වැලමිටෙන් ගහනව මූඩිය අරින්න ලේසි වෙන්න. ඉතින් මනෝ එහෙම ගැහුව. බෝතලය ලිස්සල ගිහින් චක බ්ලාස් උනා. අනිච්චේ සංසාරේ. මේ වගෙ කතා නම් අනන්තය, අප‍්‍රමාණය.
මචෝ.........ගියා වගෙම ආයෙත් වරෙන් මනෝ කොල්ලෝ !!!!. ගොඩක් පින් උඹ කළ, කී දේ වලට.
මහේෂ් හපුගොඩයන්ගේ Post එක පහත ඇත.


| සිරිමල් විජේසිංහ |

සොරි මනෝ...

මොකක් හරි වැදගත් සිද්ධියක් සිදු වෙනකොට ම වගේ ෆේස් බුක් පෝස්ටුවක් දා ගන්න පුළුවන් උනොත් ඒක හිට් කර ගන්න පුළුවන්. බුකියට ඇවිල්ලා මාස කිහිපයක් වන මම ඉගෙන ගත්තු පාඩම් වලින් වැදගත් ම එකක් ඒක. ඉතිං අප අතරින් වෙන්වුන ජයලත් මනෝරත්න කලා ශිල්පියා ගැන යමක් ලිව්වොත් මේ වෙලාවේ නැගලා යන්න පුළුවන්. නමුත් මේක ලියන්නේ කිසිසේත් ඒ සඳහා නම් නෙවෙයි. එහි අනික් පැත්ත වෙනුවෙන්. ඔහු වෙනුවට මම ගැන ලියනු පිණිස.
මම හිතන්නේ ඔහු කලින් රෝගාතුර වෙලා හිටිය කියල නිව්ස් එකක් තිබුණා. නමුත් ඔහු මිය ගියා කියල මම දැනගත්තේ අද උදේ මගේ හිතේ. ඒකත් බුකියෙන්. හවස බලද්දී හැම තැනම ඔහුව ඇගයීමට ලක් කරලා පෝස්ටු වැහි වැහැල. නමුත් මම දිගටම හිතුවා කොතනින් ද ඔහු මගේ ජීවිතය ට සම්බන්ද වෙන්නේ කියල. නමුත් මට එහෙම තැනක් හොයාගන්න බැරි වුණා. දැන් කට්ටියට බනින්න පුළුවන් රන්ජන් වගේ එකෙක් ගැන මූට පිටු පිරෙන්න ලියන්න පුළුවන්. ඒත් මේ ශ්‍රේෂ්ට කලා කාරය ගැන ලියන්න මුකුත් නැහැ කියල. පලු යන්න බනින්න එයම ප්‍රමාණවත්.
ඒත් කොච්චර බැන්නත් ඇත්ත ඒක තමයි.
මනෝ ගේ නාට්‍ය ඒ කාලේ කෑගල්ලේ නගර සභා ශාලාවේ තමයි පෙන්නුවේ. මම මේ කියන්නේ අනූව මැද වගේ. හරියටම මතක නැහැ. නගර ශාලාවට අමතරව කෑගල්ලේ ඉස්කෝල කිහිපයකත් පෙන්නුවා. මම හිතන්නේ පේරාදෙණි 'වලේ' බලපු ඒ පරම්පරාව තමයි ගොඩක් අනුරාගයෙන් ඔහු ගැන ලියල තියෙන්නේ. සහ මෙනෙහි කරන්නේ.
ඉතිං නගර ශාලාවේ තිබුණ 'තලමල පිපිලා' 'ගුරු තරුව' (නම් මතක නැහැ) වගේ පෝස්ටර් දිහා බැලුව මිසක් ඒ නාට්‍ය බලන්න මම ගියේ නැහැ. ඊට පහලින් තියෙන්නේ ඉස්සර චායා සිනමා හල සහ ටාසන් සිනමා හල. ඊටත් පස්සේ තමයි මිලානෝ එක දැම්මේ. ඒවාට ආවේ බටහිර චිත්‍රපට. ඇක්ෂන් ඒවාට අමතරව ඔය Indecent Proposal, Fatal Attraction, Basic Instinct වගේ එච්චර නොතේරුන ඒවා. ඒ චිත්‍රපට වල බටහිර ලිංගිකත්වය අපට කොහෙත්ම තේරුණේ නැහැ. ඒ 'නොතේරීම' පස්සේ වෙන කතාවක් බවට උනා.
ඒ නිසා මනෝ ගේ නාට්‍ය බලන එකේ අවස්ථිත පිරිවැය වුනේ අර බටහිර චිත්‍රපට. ඒ කියන්නේ විවෘත ආර්ථිකය එක්ක ආපු සංස්කෘතික අල කලංචිය තමයි අපේ අයගේ ප්‍රශ්නය වුනේ. ඉස්කෝලේ කට් කරලා අපි ඒවා බලනකොට තව සෙට් එකක් බෘස්ලි බලල කරාටේ පංති ගියා. ඉතුරු එවුන් බෑන්ඩ් ගහන්න සෙට් උණා. තව දෙන්නෙක් තුන් දෙනෙක් වගේ ආමි එකට ගියා. දෙන්නෙක් ද කොහෙද දොස්තරලා වෙන්න විශ්ව විද්‍යාලේ ගියා. මේ දේවල් අස්සේ මනෝ ට මොනවා උනාද මම දන්නේ නැහැ. මම කවදාවත් එයාගේ නාට්‍ය බලල නැහැ. 'වලේ' නාට්‍ය බලලත් නැහැ.
මම සහ මනෝ අතර ඇත්ත සම්බන්දය ඔච්චරයි. අවුල් දෙයක් ලියවුණා නම් සොරි මනෝ. ඔයාගේ මරණය වෙනුවෙන් බොරු ලියන්න මම ආස නැහැ. ඔයාගේ මරණයට මේ ලිපිය කොහොමවත් අදාල නැති නිසා මම බොරුවට ඔයාගේ ෆොටෝ එකක් මේ පෝස්ටුවේ අමුණන්නෙත් නැහැ.
ඒත් ආයුබෝවන්...

| මහේෂ් හපුගොඩ |