කැසට්වලින් සිංදු අහපු සුන්දර අතීත කාලේ...  

කැසට්වලින් සිංදු අහපු සුන්දර අතීත කාලේ...  
අද සෙනසුරාදා. උගුරත් කෙලවෙලා අයිස් කොකාකෝලා බිබී පුටුව උඩ වනලා ඉන්න ගමන් මං පරණ සිංදු අහන්න ගත්තා. 90 දශකෙ අපිව පිස්සු වට්ටපු, නිදිමරවපු, කිසිම දාක පොලොවට සමපාත නොවෙන ආදරේකින් අපිව අතරමං කරපු සිංදු. ඒ දවස්වල සිංදු අහන එක ව්‍යාපෘතියක්.

කාගෙවත් සම්පූර්න කැසට් ගන්න පුරුද්දක් අපිට තිබුනෙ නෑ. සිංදු ලියාගෙන යනවා රෙකෝර්ඞ් බාර් එකකට. මොරටුවෙ සුපර්මාර්කට් එක උඩ තට්ටුවෙ තිබ්බ ජනප‍්‍රිය මියුසික් සෙන්ටර් එකේ නැති සිංදුවක් නෑ. ඒකෙ හිටියා ප‍්‍රසංග කියල රහක් තියෙන මිනිහෙක්. ටීඩීකේ 60ක් අරන් සිංදු ලිස්ට් එකක් පුරවලා දීලා ගෙදර ඇවිත් බලන් ඉන්නෙ පුදුම කිතියකින්. රිසිට් එකේ දාලා තියෙන දවසට දවසක් දෙකක් කලින් ඇවිත් බලන්න කියල ප‍්‍රසංගයා කියනවා. අපි දීපු දවසට පහුවෙනිදා ඉඳන් ගිහින් අහනවා. කැසට් එක අතට හම්බුනාම රටක් රාජ්ජයක් හම්බුනා වගේ. ප්ලේයර් එකේ දාලා අහන්නෙ පොලොවෙ වැතිරිලා. එතකොට ආදරේ කරන කෙල්ලොන්ගෙ රූප මවාගන්න ලේසියි. සිංදුවත් එක්ක ලව් එකෙන් ෆුල්ම මුසපත් වෙනවා. මෝල් වෙනවා.

සිංදු ලිස්ට් එක හදාගන්න එකත් වැඩක්. කොහෙදි හරි සිංදුවක් ඇහුන ගමන් ඒක හොයාගන්න දික් කරන්න පුළුවන් ඇප් ඒ කාලෙ තිබුනෙ නෑ. තාලෙ හරි වචන ටිකක් හරි මතක තියාගෙන එනවා ඉතිං. එක එකාට කියල බලනවා. මං වගේ මෙලෝ තාලෙකට සිංදුවක් කියාගන්න බැරි එකෙකුට සිංදුවක් හොයාගන්නවා කියන්නෙ ලොවෙත් නැති තරං අමාරු වැඩක්.

ආයිමත් ඒ සිංදු අහද්දි ඒ කාලෙට ටෙලිපෝර්ට් වෙනවා. ඒ හැගීම්ම දැනෙනවා. ඒ සිංදු දැන් නෑහී ගිහින් තියෙන එක ගැන අමතක කරපු පෙම්වතියක් ගැන වගේ හීන් දුකක් ඇතිවෙනවා. ඉඳලා හිටලා සක්මන් කරන්න කියාපු ඉසව්වක්.

සුමන ශ‍්‍රී ජයවර්ධනගෙ ආයෙත් ලියන්නෙ නෑ සමන්ති සිංදුව ඒ තරම් මහ සිංදුවක් නෙමෙයි. ඒත් මොකක් හරි හින්ද ජනේලෙන් දැකපු කෙල්ලෙක් ගැන ලස්සන මතකයක් එක්ක ඒ සිංදුව ගැටගැහිලා තියෙනවා. එහෙම ඇත්ත මතකයකුත් නෑ. ජීබී සේනානායකගේ කාන්ති කෙටිකතාවත් ඒකත් එක්කම මතක් වෙනවා. සමහර මතක සිංදුවලින්ම ඇඳලා ඒවා ඇත්ත විදිහට රෙජිස්ටර් වෙලා තියෙනවා.

ෂර්ලිගේ ඈත ක්‍ෂිතිජයේ කියන්නෙ ඒ වගේ මාව ආතුර කරපු සිංදුවක්. ඒ සඳළුතලාවෙ මං මුනින්තලා වෙලා ඉන්න ඇති සියදහස් වාරයක්. ඒ සිංදුව තාමත් මාර සිංදුවක්. ඒ මෙලඩියත් එක්ක සුන්දර මිටියාවත් අතරෙ හඳඑලියෙ ඇවිදින්න යන්න පුළුවන්. ශාලිත අබේවික‍්‍රම කියන්නෙත් හරිම රොමැන්ටික් හරිත අත්දැකීමක් මවන හඩක්. තාරුකා එලි ඉගිබිගි කරනා නීල ආකාසේ.. කියද්දි කොඳු නාරටිය දිගේ දුවන අමුතු සීතලක් තාමත් මතක් වෙනවා. චන්දන ලියනාරච්චි, ප‍්‍රියනාත් රත්නායක නැවත නැවත අහපු මගේ ආදර ලෝකෙ ලොකු කොටසක් නිර්මාණය කරපු මිනිස්සු.


ප‍්‍රියනාත්ගෙ සිතුම් පොබකල සිංදුව මං කිසිම හේතුවක් නැතුව කැසට් කීපයකම රෙකෝර්ඞ් කරගත්තා. මාව දාලා සල්ලාලයෙක් එක්ක ගිහින් ආයෙමත් තේරුම් අරගෙන මාව හොයන් එන ආදරවන්තියක් ගැන ලස්සන හීන දැක්කා. ඒක මං හිතන්නෙ පිරිමියෙක් මාර විදිහට තෘප්තිමත් වෙන පරිපූර්නත්වයක් ලබන අත්දැකීමක්. කුමරායි කුමාරියි ආපහු එකතු වෙලා එකිනෙකාගෙන් සමාව ඉල්ලන ඒ පරිසමාප්ත සොඳුරු මොහොත..


මේ සිංදු ආපහු රීමේක් විදිහට අහන්න තියෙනවා නං ඒක හරිම ලස්සන අත්දැකීමක් වෙයි. අලූත් සංගීත සංයෝජන එක්ක තරුණ කරලා ඒ මතක ආපහු විඳින්න දෙනවා නං මං වගේ තවත් ගොඩක් අය එතන ඉඳී. එහෙම අමතක මතක මිටියාවත්වල ඇවිදින්න යන එක කොයිතරං සෞන්දර්යාත්මකද.. මේ හැම සිංදුවක්ම කොහෙන් හරි යූටියුබ් අප්ලෝඞ් කරපු යාලූවන්ටත් හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. මට ඒක සිංදු අප්ලෝඞ් කිරීමක් නෙමෙයි මිනිස්සුන්ගෙ මතක අප්ලෝඞ් කිරීමක්.



| චින්තන ධර්මදාස | ෆේස්බුක් සටහනකි | හෙඩිම අපෙනි |