ඔයාගෙ ඇතුලෙත් දේවානි කෙනෙක් ඉන්නවා කියල ඔයා දන්නවද ?

ඔයාගෙ ඇතුලෙත් දේවානි කෙනෙක් ඉන්නවා කියල ඔයා දන්නවද ?
පහුගිය දවස්වල ලංකාවේ ප්‍රසිද්ධ වුණු දේවානි ගැන ඔබ දැනටමත් දන්නවා ඇතිනේ. දේවානි රාජ්‍ය නිලධාරිණියක්. අපි දන්නා විදිහට `තවමත්` එයා කිසිම දේශපාලන පක්ෂයක පාක්ෂිකාවක් හෝ විරුද්ධවාදිනියක් නෙමෙයි. එයා කතාකරපු රැස්වීමේ මොන පක්ෂයක දේශපාලනඥයෙක් හිටියත් එයා ඒ ටික කියන බව විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා, දේවානිව තමන්ගේ සාක්කුවට දාගන්න එක එක දේශපාලනඥයෝ උත්සාහ කළාට `තවමත්` දේවානි කාගෙවත් සාක්කුවට වැටිලා නැහැ. `තවමත්` කියන වචනය පාවිච්චි කෙරුවේ, හෙට දවසේ දේවානි මොන විදිහේ ස්ථාවරයක් ගනියි ද කියලා අපි දන්නැති නිසයි. මොකද අද දවසේ වීරයෝ වීරවරියෝ වෙන උදවිය හෙට දවසේ ඒ වීරත්වය මුදලට උකස් කරන රටකනේ අපි ඉන්නේ. දේවානිට එසේ නොවේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් අපි මේ කතාව පටන් ගනිමු.

දේවානි කතාකළේ එයාගේ හෘදය සාක්ෂියට එකඟව. එයා දන්නවා කඩොලාන විනාශ කළොත් පරිසරයට සිද්ධ වෙන හානිය. කඩොලාන කියන්නේ වෙරළබඩ බිම් තීරුවලට ආරක්ෂාව ගේන ශාඛයක්. සුනාමි රැල්ලක් ආවත් කඩොලාන තීරුව ඒ රැල්ලේ සැර බාල කරනවා. ළමයින්ට සෙල්ලම් කරන්න සෙල්ලම් පිට්ටනි ඕනේ තමයි. දේවානි ඒ බව දන්නවා. ඒත් ඇය කිව්වේ, කඩොලාන විනාශ කරලා සෙල්ලම් පිට්ටනි හදන්න එපා කියලයි. ඇය ඉතාම පැහැදිලිව කිව්වා, හුස්මගන්න ඔක්සිජන් ඕන නම් මේ වන රක්ෂිත රැකගන්න ඕන කියලා. ඔක්සිජන් තිබුණොත් විතරයි අනාගත පරම්පරාව රැකෙන්නේ. දේවානි කිව්වේ එච්චරයි. ඉතින්, දේවානි මේ වෙනකොට ලංකාවේ ගොඩාක් ජනප්‍රියයි. ප්‍රසිද්ධයි. හැබැයි, දේවානිට ආදරය කරන අතරතුරේ දේවානි කිව්ව දේත් අපි හිතට ගන්න ඕනේ. නැත්නම් ඉතින් දේවානිට දෙන ආදරය, තේරුමක් නැති ආදරයක් වෙනවා. දේවානිට වගේ ම පරිසරයටත් ආදරය කරන්න කියලා, ඔබගෙන් අපි ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ඒ විතරක් නෙමෙයි, දේවානිගෙන් අපට ගන්න තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි හෘදය සාක්ෂිය. දේවානිගේ හෘදය සාක්ෂිය එයා පෙන්නුවා. අපි හොයාගන්න ඕන අපේ හෘදය සාක්ෂිය. වැරැද්ද වැරැද්ද හැටියට පේනවා නම්, ඒ වැරැද්දට එරෙහි වෙන්න බයවෙන්න අවශ්‍ය නැහැ. එහෙම කිරීමෙන් අපිව කොන් වෙන්නේ නැහැ. බස්රියේදී, මහමගේදී, වැඩපොලේදී, කාර්යාලයේදී මෙකී නොකී ඕනෑම තැනකදී වැරද්දක් වෙනවනම්, හෘදය සාක්ෂියට එකඟව කතාකරන්න - හෘදය සාක්ෂියට එකඟව වැඩකරන්න කියන පණිවිඩය තමයි, දේවානි අපට දුන්නේ. විශේෂයෙන් ම ගැහැණුන් වීම නිසා වැරැද්දක් දැක්කත් කට වහගෙන ඉන්න ඕන කියල සමහරු හිතනවා. ගෑණු, ගෑණු විදිහට, කියන ඕනෑම දෙයක් පිළි අරගෙන සද්ද නැතුව බිම බලාගෙන ඉන්න ඕන කියල සමහරු හිතනවා. හිතනවා විතරක් නෙමෙයි, සමහරු එවැනි මතවාද කෙලින් ම කියනවා. හැබැයි, ඒ මතවාද කිසි වැඩකට නැති පරණ අදහස් කියල දේවානි අපට පෙන්නලා දුන්නා. ගැහැණුකම කියන්නේ දීනකම නෙමෙයි කියල දේවානි අපට පෙන්නලා දුන්නා.

ඉතින් ආදරයට ආදරය කරන ඔබෙන් අපි ඉල්ලන්නේ මෙච්චරයි. ඔබ තුලත් දේවානි කෙනෙක් ඉන්නවා. ඒදේවානි අවදිකරන්න. ඔබ තුල දේවානි කෙනෙක් ඉන්න බව මෙච්චර කල් දැනගෙන හිටියේ නැත්නම්, හෙමින් සීරුවේ ඔබ ඇතුලේ ඉන්න දේවානිට කතාකරන්න. වැරැද්ද දැක දැක ඉවසගෙන කරබාගෙන හිටපු කාලේ දැන් ඉතින් අවසන් කරන්න කියලා, ඔබ තුල ඉන්න දේවානි ඔබට කියනවාට කිසිදු සැකයක් නැහැ. ඔබට, ඇත්ත ඔබ හමුවෙයි. අන්න ඒ ඇත්ත ඔබ, දේවානිටත් වඩා දස දහස් ගුණයකින් ශක්තිමත් මනුෂ්‍යයෙක් බව ඔබ තේරුම් ගනියි. එදාට මේ ලෝකය මීට වඩා ගොඩක් ලස්සන වෙයි.

|  විශ්වජිත් වීරසූරිය | ලංකා පුවත්පතේ ආදරය අතිරේකයෙන් උපුටා ගන්නා ලදී |