තීරුවක සීරු මාරුව 

තීරුවක සීරු මාරුව 

 

අතීතය ඉතා හොඳින් වර්තමාන දිවි පැවැත්ම සමඟ මුසු කරන තීරු ලිපි කලාවක් කසුන් සමරතුංග ලේඛකයා සතුයැයි ඔහුගේ 'විත අස පත' තීරු සරණිය කියවන විට හැඟේ. හුදු අතීත සහ වර්තමාන ප්‍රයානයකින් නොනවතින ඔහු තම තීරු ප්‍රස්තුතයට බහුස්වරමය ආඛ්‍යානය සම්මිශ්‍රණය කරයි. ඉන් නැඟෙන ධ්වනිතාර්ථ වෙසෙස් ය. සාමාන්‍යයෙන් තීරු ලිපි රචකයා මෙන් ම රචනාවන්හි අන්තර්ගතය ද නිදහස් අවකාශයක් තුළ විස්තීර්ණ වීම බහුඅර්ථ සම්පාදනයට ඉවහල් වන්නකි. කසුන් දිස්වන්නේ සෑම අහු මුල්ලක ම සැරිසරන ලේඛකයකු ලෙස ය. ඩීමන් ආනන්දගෙන් පටන් ගෙන ළමා සහ යොවුන් සාහිත්‍යය දක්වාත් එතැන් සිට රුසියානු සාහිත්‍යය හරහා ලතින් ඇමෙරිකානු කියැවීම් අවකාශය දක්වාත් පැමිණි ගමනක් ගැන ඔහු මෙහි එන එක් තීරුවක සටහන් කරයි. එම සටහනෙහි කිසිදු ව්‍යාජයක් නැතැයි සිතෙන්නේ ලේඛකයාගේ විමසුම් ඇස එල්ල වන ලොකු කුඩා නිශ්චිතයන් ඔස්සේ ඔහු ලේඛනය මඟින් කරන පරමාර්ථ සාධනය කවර ආකාරදැයි විමසා බැලීමේදී ය. කොහොමටත් සැරිසරන මිනිසකුගේ ලිවීම අපේක්ෂා වඩවන සුළු ය.

තීරු ලිපි කලාව පවතින්නේ පුවත්පත් නිසා ය. එහෙත් කසුන්ගේ මෙම තීරුව වෙබ් මාධ්‍යයේ පළ වූවකි. කවර මාධ්‍යයකට ලිව්වත් වැදගත් ම දේ වන්නේ ප්‍රශස්ත තීරු රචකයකුගේ ආගමනයයි. තීරු රචකයකු බිහි වන්නේ කෙසේද යන ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිතුර වන්නේ ඔහු බහුවිධ අත්දැකීම් සහ ලිවීමේ අභ්‍යාසය තුළින් බිහි වනු ඇත යන්න ය. අත්දැකීම් ලද සෑම ලේඛකයකු ම තීරු ලිපි රචකයකු වන්නේ ද නැත. සාර්ථක තීරුකරුවකු විය හැක්කේ ලිවිසැරිකාය බලවත් ලේඛකයකුට ය. මා විශ්වාස කරන පරිදි තීරු රචකයාට ලිවීමේ ගාය සේ ම නොලියා සිටීමේ ඉවසීම ද තිබිය යුතුය. නොලියා සිටිය යුත්තේ පරිපූර්ණව ගොඩ නැංවිය හැකි වස්තු බීජයක් නැති අවස්ථාවකදී ය. තීරුකරුවකු අසාර්ථක වනු පෙනෙන්නේ සෑම සතියක ම කුමක් හෝ ලියනවා යන අදිටන නරක විදියට බලපාන්නටත් ඉඩ තිබෙන තත්ත්වය තුළ ය. කසුන් සමරතුංග තීරුකරුවාට ලිවීමේ උනන්දුවක් මෙන් ම දෙවනුව කියන ලද ඉවසීම ද නොඅඩුව තිබෙන බව ඔහුගේ තීරු පිරික්සීමේදී පෙනී යයි.

තීරු රචනාව යනු කෙටි ලිපියක් නොවේ. එය ගැඹුරු සාහිත්‍යාංගයකි; සංස්කෘතික කැඩපතකි. එහි දේශපාලනය සහ ඉතිහාසය තිබේ. වේදනාව, කෝපය, ලිංගිකත්වය, සංහිඳියාව, ආදරය, ඇදවැටීම මෙන් ම නැගිටීම ද එහි තිබේ. එසේ බලන විට කොලමක ජීවිතය ගැබ් වී තිබිය යුතුය. එය සංස්කෘතික පිළිබිඹුවක් වන්නේ එම අර්ථයෙනි. කොලම් ලිවීම දිගුකාලීන අභ්‍යාසයක ප්‍රථිපලයක් වන්නේ ද උක්ත විස්තීරණ තත්ත්වය නිසා ය. අභ්‍යාසයෙන් සහ ව්‍යුත්පත්ති ගුණයෙන් යුතුව කසුන් ලියන්නේ සාහිත්‍යමය තීරු ලිපියකි. සාහිත්‍යය තීරු රචකයෙක් දේශපාලන තීරු රචකයකුට වඩා අවංක යැයි සිතිය හැකිය. එසේ සිතෙන්නේ සාහිත්‍යය තීරු රචකයාට සිය තීරුව ඔස්සේ දෙවැනි අරමුණක් නැති නිසා ය. දේශපාලකයන් සහ දේශපාලනය උදෙසා ලියන ඇතැම් තීරු රචකයන්ට දෙවැනි අරමුණක් තිබේ. කසුන්ගේ තීරු රචනා විමසන කල්හි හරස් අරමුණක් නැති, සම්ප්‍රදායික දිවිය වෙනුවට විකල්ප සුභාවිත දිවියක් ඇතැයි කීමට වෑයම් කරන තීරු ලෙස ඒවා හඳුනාගත හැකිය.

'චූල සිරුරක මහා හදවත, සිදුවිය නොහැක්කක් නැත, අපි තමයි විප්ලවවාදියෝ, හික්මවීම පිණිස මේ දඬුවම ඉවසිය යුතුද, අන්දරේ ඉතින් අප සිනාසිය යුතුද, අපි දැන් ගෙදර යන්න යං' ආදී තීරු රචනාවලදී කසුන් විකල්ප සිතීමකට පාඨකයාට ඉඩ හසර සලසා දෙයි. එම රචනාවලදී නොඅඩුව ජීවිතය පිරිසිඳ දකින ඔහු කොලමකට අවශ්‍ය නාට්‍යමය උච්ඡාවචනය නිබඳ උපයුක්ත කරගන්නා අතර ම ක්ෂණික නැවැත්වීම මෙන් ම ඊට එකමානී අවසානයක් නොදීම වෙසෙසින් ම කැපී පෙනෙයි. කසුන් ගොඩනඟන තීරු ශරීරය මිනිසා පිළිබඳ යථාවබෝධයෙන් සුසැදි ය. හැමවිට ම භෞතිකය ඉක්මවා යෑමට වෙර දරා ඇති රචකයා විසල් කරගනුයේ ජීවිත පරිමාවන්හි විඳීම් පරාසයයි. තීරුවට බහුස්වරමය ලක්ෂණය එන්නත් වන්නේ එම ගැඹුරු ලක්ෂයේදී ය.

බී. ඒ. සිරිවර්ධන ගැන ලියූ 'සිරා ගැන සිරා කතන්දර', කුලසේන ෆොන්සේකා ගැන ලියූ 'කුලසේන ෆොන්සේකා නම් මඟ හැරුණු වික්‍රමය', චන්ද්‍රසිරි දොඩංගොඩ ගැන ලියූ 'ගොඩ ම බදා නොගත් දොඩං' ආදී තීරුවලදී කසුන් පුද්ගල චරිතයක සමාජීය මැදිහත්වීම ඥාන විභාත්මකවශයෙන් සමීකරණගත කරයි. එහිදී හෙතෙම සාහිත්‍යය කොලම් රචකයා ද පරයා ගොස් තමාට සාපේක්ෂව සහ තමා අනුබද්ධ මෙම චරිත හා නිර්මාණ ගැන ප්‍රතිසන්ධීය විමර්ශනාක්ෂියක් හෙළයි. එම ප්‍රතිසන්ධිය සිදුවන්නේ අලුත් පාඨක ප්‍රජාවක් විෂයෙහි ය. සිරාගේ වැකි ඔස්සේ මෙන් ම කුලසේන ෆොන්සේකා ලියූ 'රන්සිරිගේ සංග්‍රාමය, සෝමපුර වීරයෝ, තුන් යහළු වික්‍රමය' ආදී කෘති මඟින් පරපුරකට ලැබුණු සාහිත්යික ආහ්ලාදය ඒවා පුනර්කියැවීමකට ලක් කිරීම මඟින් කසුන්, නව පරපුරක් විෂයෙහි ප්‍රතිසන්ධිය සපුරනු පෙනෙයි. එය මුද්‍රිත දිගු කියැවීම්වලට මන්දෝත්සායි වන සමාජයකට ඔහු කරන මෙහෙයකි.

බහුවිධ විෂයයන් පීරා යෑම ප්‍රශස්ත තීරුකරුවකුගේ ලක්ෂණයකි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, සිසිර කුමාර මානික්කආරච්චිගේ, දයාසේන ගුණසිංහ, සුන්දර නිහතමානී ද මෙල්, තිඹිරියාගම බණ්ඩාර, බුද්ධදාස ගලප්පත්ති, ගුණසිංහ හෙට්ටිආරච්චි ආදී ප්‍රශස්ත තීරු රචකයන් ගත් බුහුටි මඟ ගත හැකි තීරුකරුවකුගේ ලකුණු කසුන් සමරතුංග 'විත අස පත' තුළින් ප්‍රතිස්ථාන කර තිබෙන බවත් අවසානවශයෙන් අවධාරණය කරමි.

| 'විත අස පත' පෙරවදන | විමලනාත් වීරරත්න | ප්‍රධාන කර්තෘ - රාවය