උඹ අමදින පාර කොහොම පාගන්නද චාරුණී.. 'සිසිර සඳ` ගැන අකුරු පොකුරක් !

උඹ අමදින පාර කොහොම පාගන්නද චාරුණී.. 'සිසිර සඳ` ගැන අකුරු පොකුරක් !

මිගාර බමුණුසිංහ කී සැණින් මතකයට නැඟෙන්නේ හිටිවන කවි රූපයකි. කෙළින් හිටගෙන ඉන්නට නොහැකි තරම් මට්ටමට දිග ඇදෙන මිතුරු සාද අතරමැද හිටිවන ම ඔහු මතුවෙයි. නිශ්චිත පුද්ගල ඉලක්කයක් එල්ල කරගෙන ඔහු ගේ හිටිවන කවිය කියැවෙයි. අනතුරුව එය වටේට ම කැරකෙයි. අන්තිම පදය හාස්‍යයට බර නම් ප්‍රතිචාරය තද පොකුරු සිනහවකි. භාවාතිශය එකක් නම් තත්පර කීපයක ගැඹුරු නිහඬතාවකි. ඉතිං ඔහු කවියෙකු වගට සැකයක් නැත. අපූරු හිටිවන කවි කියන මේ හාදයා 'නිල' කවියෙකු ලෙසට රූපාන්තරණය කළ 'සිසිර සඳ ලං වූ දිනේ සිට' කාව්‍ය සංග්‍රහය නිකුත් වී දැන් ටික කාලයකි. ලං කරගන්නට තරමක් පමා වුවද මේ කෙටි වෑයම ඒ කවිය ගැන දැනෙන දේ වෙනුවෙනි. migara 3
'සිසිර සඳ ලං වූ දිනේ සිට' කවි පංති තිහකින් සුසැදි ප්‍රකාශනයකි. බහුවිධ අත්දැකීම් ප්‍රස්තුත කර ගත් එකී කවි ගොන්න තුළ බමුණුසිංහ ස්ත්‍රිය විෂයයෙහි හෙලන දයාර්දවත් බැල්ම වෙසෙසින් ම කැපී පෙනෙයි. එය අතීතයේ සිටිය මෙන් ම වර්තමානයේ ද සිටින ඇතැම් 'බමුණන්' ස්ත්‍රිය වෙත හෙළූ - හෙළන තක්කඩියැයි පැවසිය හැකි බැල්ම ඉක්මවා යන්නකි. ඔහු ගේ 'චාරුණී' නම් ලද කවිය පමණක් වුව ඒ සඳහා කදිම නිදර්ශනයකි.

"හෝඩියෙ මම තනිවුණ දා යාළු වෙච්ච චාරුණී 
අමර මමයි මල් ඇහින්ද නයන තමයි චාරුණී 
අත්තම්මයි නැන්දම්මයි කැමැති ම නැති චාරුණී 
කුණු ටැක්ටරෙ පාසල් එන කුණු ගඳ නැති චාරුණී"

(චාරුණී - 21 පිටුව)

සිංහල - දෙමළ මිශ්‍ර සම්භවයක් ඇතැයි කවියෙන් ඉඟි කෙරෙන චාරුණී, කතානායකයා සමඟ මිත්‍රත්වයෙන් බැඳෙන්නේ හෝඩියේ පන්තියේදී ය. හෝඩියෙ පංතියෙ මිත්‍රත්වය සඳහා ආගම, ජාතිය, ස්ත්‍රී - පුරුෂභාවය අදාළ නැත. ඒවා වයසින් වැඩෙන විට වැටෙන සීමා නිර්ණායක ය. එසේ වුව අප දන්නා කාලයේ සිට අමර සමඟ සල් මල් කඩන්නේ නයනා පමණකි. ඒ අවස්ථාව චාරුණියකට හෝ ෆාතිමාවකට හිමිවන්නේ නැත. නැතිනම් නයනා සමඟ මල් නෙලන්නට ගනේෂ් හෝ ඉර්ෆාන් නම් ලද්දෙකුට ඉඩක් ලැබෙන්නේ නැත. පෙළ පොතෙන් මඟ හැරුණු ඒ සියුම් තැන බමුණුසිංහ ඉතා අපූරුවට කවිය තුළ ස්ථානගත කරයි. කතානායකයා අමර ලෙස නම් කරන ඔහු මල් ඇහින්ද නයනා චාරුණී බවට පත් කරයි. කදිම උත්ප්‍රාසයකි. භෞතික මෙන් ම අධ්‍යාත්මික දුගඳ ද ආවරණය කර ගැනීමට විලවුන් බෝතලයක සිට පූජා වට්ටිය දක්වා සරණ පතන බහුතරයක් මැද ඔහු කුණු ටැක්ටරෙ පාසල් එන කුණු ගඳ නැති චාරුණියක් දකියි. නමුත් හෝඩියෙ පංතිය මෙන් ජීවිතය සදාකාලිකව සුන්දර නැත.

"ඉස්කෝලය අමතක කර කඳුළු සැලුව චාරුණී 
ලැයිම් කොනේ අවතැන් වුණ අප්ප මැරුණ චාරුණී 
අම්ම එක්ක කුලී වැඩට එහෙ මෙහෙ ගිය චාරුණී 
බුද්ධදාස මුදලාලිගෙ ගෙදර දාසි චාරුණී 

ඇයි වයසක ශිවා එක්ක දීග ගියේ චාරුණී 
එය දැනගෙන මට මං ගැන තරහ ගියා චාරුණී 
පුංචි බබා පිටේ බැඳන් බිම බලාන චාරුණී 
උඹ අමදින පාර කොහොම පාගන්නද චාරුණී"

(එම)

එදා එකට මල් ඇහිද, අද මල් - කොළ අමදින චාරුණී දෙස කවියා හෙලන්නේ දයාර්දවත් බැල්මකි. ඒ තුළ පශ්චත්තාපය ද ගැබ් වී තිබේ. 'උඹ අමදින පාර කොහොම පාගන්නද චාරුණී?' කියා අසමින් ඔහු කවිය ප්‍රබල අවසානයක් කරා රැගෙන යයි. බමුණුසිංහ ගේ බහුතරයක් කවි තුළ ඇත්තේ අප මුලින් කී ඔන්න ඔය ගුණය ය. මේ ඒ සඳහා තවත් නිදර්ශන දෙකකි.

"බඩත් උස්සන් මලක් විකුණයි 
ඉන්න බැරි දා හාමතේ 
උඹේ නංගිත් නෙලුම් විකුණයි 
දඟකාර වී මාවතේ 
මලක් ගන්නට කාසි තබනෙමි 
සිනාසී ගොස් ඈ අතේ 
උඹට වුණ දේ ඇයට කියපන් 
හදාගන්නට ජීවිතේ 

(මල් කෙල්ල - 25 පිටුව)

"මා ළඟ තිබෙන කුණු කූඩය අත ගන්නා 
මුසුනක් අරන් බිම පිරිමදිමින් යන්නා 
සුළුදිය බාන තැන මම හොඳට ම දන්නා 
දවසක් නුඹ එතැන ඔපදමමින් උන්නා"

(පිච්ච මල් මාලය - 27 පිටුව)

කෙසේ වුව ගැහැනිය කෙරෙහි දයාර්ද හෝ අනුකම්පාසහගත වීම පමණක් කිසි විටෙකත් නියම විසඳුම නොවන වග අප පිළිගත යුතුය. ඒ නිසා කවියා මෙන් ම කවියන් ද, කවියන් මෙන් ම මිනිසුන් ද ඒ පිළිබඳ වඩා පුළුල් සහ සංකීර්ණ කෝණයකින් බැලිය යුතු බව පැහැදිලි ය. මෙකී ප්‍රස්තුතය පිළිබඳ පමණක් නොව ආදරය, විරහව, මිත්‍රත්වය, අතීත මතක, ඇල්කොහොල් සැමරුම්, අහිමිවීම් ආදී තව බොහෝ අත්දැකීම් සාරයෙන් ලියැවුණු කවි බමුණුසිංහ ගේ කවිත්වය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අප ඉදිරියේ මවාපායි. එසේම 'ලීසෙල්ට ලියමි' වැනි කවියකින් ඔහු විශ්ව සාහිත්‍යයෙන් සහ කලාවෙන් ලබන ආභාසයත්, 'චුල්ල පන්ථක' වැනි කවියකින් ඔහු දේශීය පුරාතන සාහිත්‍යයෙන් ලබන ආභාසයත් හඳුනා ගත හැකිය.

එසේ වුව මිගාර බමුණුසිංහ ගේ බොහෝ හිටිවන කවිවල දකින්නට ලැබෙන ප්‍රබලත්වය ඔහු ගේ ලිඛිත කවියට තවම කාන්දු වී නැති වග අවසානයට පෙර සටහන් කළ යුතුය. ඔහු හිටිවන කවි ම ලිවිය යුතු බව එයින් අදහස් නොකෙරෙයි. නමුත් කවියා සහ කවිය යනු දෙකක් නොව එකක් වන නිසා බමුණුසිංහ ඒ පිළිබඳ තම අවධානය යොමු කිරීම වැදගත් වනවා ඇත. 

"පෝය දවසට අගේ නැතුවට 
මොන තරම් ලස්සනද තරු කැට 
දෙන්න එළියක් නැතත් ලෝකෙට 
පාර පෙන්නා නැද්ද ඉඳ හිට"

(තරුව සහ අඳුර - 47 පිටුව)

| කසුන් සමරතුංග | ඇත්ත - අලංකාරයෙහි පළවූ සටහනකි |