'සිද්ධාර්ථ' යනු තෛලයකි. හන්දි අමාරුවට ඔසුවකි !  

'සිද්ධාර්ථ' යනු තෛලයකි.  හන්දි අමාරුවට ඔසුවකි !   

ආරම්භය හෙවත් ප්‍රවේශය

මිනී පුළුටු ගඳ මිශ්‍ර දුමාරය තවම හරි හැටි පහව නොගිය නිමේෂයකි. තැනින් තැන පස් යට ගිනි පතුරු පුපුරු නඟමින් ඇවිලෙයි; නිවෙයි; යළි ඇවිලෙයි; යළි යළිත් ඇවිලෙයි. වෙසක් මස වුව ඇසක් හැර බලා නිවෙන්නට ඉඩක් නැති භූමියකි. වසක් දෙකක් නොව මහ විසක් වැටුණු විට මෙන් මේ පොළොව ඇවිලෙන්නේ බොහෝ කාලයක සිටය. අසීරු ම තැන් පවා පසු කළ ඉක්බිති යළිඳු හමුවන්න නියමිත අසීරු ම මුණගැසීම් වග වර්තමානය අපට සීරුවෙන් කියා දෙයි. එබැවින් මිත්‍රවරුනි, පාඩම් මඟ නොහැරගන්න!

දැන් අප ඉදිරියේ පොතකි. එය කවි පොතකි. එහි දුඹුරු පැහැ පිට කවරයේ ඉහළට වන්නට 'ඌළියක්කාරි' නම් දුලබ නාමකරණයකි. ඊට පහළින් 'වජිර දීප්ති වීරකෝන්' නමින් පොතේ කතුවර කවිකාරයා ස්ථානගත වී සිටියි. ඊට ද පහළින් රතු පැහැති රවුමක් මැද සුදු පැහැති කුඩා අකුරින් '2018 ගොඩගේ අත්පිටපත් තරගයේ ජයග්‍රාහී කෘතියකි' ලෙස සඳහනකි. මේ වජිර දීප්ති වීරකෝන් ලියූ, පසුගිය ගොඩගේ අත්පිටපත් තරගයේ කාව්‍ය අංශයේ සම සම්මාන දිනූ 'ඌළියක්කාරි' කවි සරණියයි. vajira 3

පළමු ඡේදය සහ දෙවැනි ඡේදය අතර යම් නොගැළපීමක් ඔබට දැනෙයි නම් එය නොතකා හරින්න. පළමු ඡේදය රටේ මේ 'මොහොත' ගැනය. දෙවැනි ඡේදය කවි පොතක් ගැනය. කවි පොතකින් අනාවරණය කර ගත හැකි රටේ මේ මොහොත කෙබඳුද? අපේ සංවාදය ඒ ගැනය. ගැළපීම ගොඩ නැඟෙන්නේ අන්න එහෙමය.

- සිද්ධාර්ථ -

රට තැන තැන හන්දි ගිනි ගනියි. එය මීගමුවේ, කුලියාපිටියේ, මිනූවන්ගොඩ හෝ රටේ ඕනෑම තැනක හන්දියක් විය හැකිය. මේ 'හන්දි' අමාරුවට අප කුමක් කළ යුතුද? වීරකෝන් ආරම්භයේ දී ම මෙසේ යෝජනා කරයි.

" 'සිද්ධාර්ථ' යනු තෛලයකි
හන්දි අමාරුවට ඔසුවකි "

(අනේ හිමි - 13 පිටුව)

ආගම්වාදී, ජාතිවාදී, කුලවාදී ආදී බොහෝ හන්දි අමාරු නිසා වේදනාවෙන් පීඩිත වන්නන් බොහොමයකි. තැනින් තැන හන්දිවල ගින්දර දළු ලෙස අහසට නැඟෙන්නේ ඒ පීඩනයේ ඉවසිය නොහැකි අනිවාර්යතම ප්‍රතිඵලයයි. පුද්ගලික හන්දි අමාරුව 'සිද්ධාර්ථ' තෛලයෙන් සුව කර ගත නොහැක්කන් සමාජීය හන්දි අමාරු සිද්ධාර්ථ ගේ දර්ශනයෙන් සුව කරන්නේ කෙලෙසද? කෙටි වැකි දෙකක් පමණක් යොදා ගනිමින් වීරකෝන් මේ නඟන කාව්‍යාත්මක උත්ප්‍රාසය මනරම්ය. නමුත් ඒ තුළ දෝංකාර දෙන ඇත්ත බිහිසුණුය; වේදනාකාරීය.

එපා කතන්දර

ජීව විද්‍යාත්මක මිනිසා එක රැයින් බිහිවිය හැකි වුව සමාජීය මිනිසා බිහිවන්නේ අවට සමාජ ක්‍රියාවලියේ ම ප්‍රතිඵලයක් ලෙසිනි. එබැවින් කුමන හෝ අන්තවාදියෙකුගේ උපත හුදු අහම්බයක් පමණක් නොවේ. කුඩා කළ සිට කරන්නට සිදුවන ජීවන යුද්දයේ සිට මොළ සුද්දය දක්වා ඒ ඵලයට දිය - පොහොර සපයන කාරණා ගණනාවකි. එබඳු තත්ත්වයන් ගැන අවබෝධයෙන්, ඊට තදින් එරෙහි වෙමින් වීරකෝන් මෙසේ ලියයි.

"බල්ලෙක් හෝ පූසෙක් නොවෙමි
කපුටෙක් නම් කෙසේවත් නොවෙමි
ඉතින් ඇයි මට බලු කපුටු දානය

කැමතියි මමත්
අතින් අරන්
කට වටේ ගාගෙන
පෙරාගෙන කන්න

නොවෙමි මම කැමති
නිකම්ම ගිලින්න"

(කතන්දර එපා - 16 පිටුව)

මෙය කුඩා දරුවෙකු ගේ ප්‍රකාශනයකි. තමන්ට බත් අනා, ගුලිකර නිකම් ම කවන වැඩිහිටියන්ට ඔහු එරෙහි වෙයි. ඒ වෙනුවට තමාට නිදහසේ ඇඟ පුරා හලා ගනිමින් බත් කන්නට ඇති අයිතිය ඔහු ප්‍රශ්න කරයි. අන්තවාදී සමාජීය මිනිසෙකු බිහිවන්නේ ද මෙබඳු ම ක්‍රියාවලියකින් නොවේද? කුඩා කල සිට ජාතිවාදය අනා, ආගම්වාදය ගුලිකර බලෙන් උගුරෙන් පහළට ගිල්ලවන විටක ඒවා අවශෝෂණය කරගෙන බිහිවන මිනිසා කෙබඳු විය හැකිද? එවැන්නෙකු වෙනුවට වීරකෝන් මේ යෝජනා කරන්නේ ප්‍රශ්න කරන, එරෙහි වන, කැරලි ගහන සමාජීය මිනිසෙකි. එබඳු මිනිසුන්ගෙන් පිරුණු අනාගතයකි.

- නසුර්දීන් -

අප දන්නා නසුර්දීන් විහිළුකාරයෙකි. විහිළු කිරීම හොඳ වැඩකි. නමුත් විහිළුවට හෝ අන්තවාදය ඇවිලීම විහිළුවක් නොවේ. එය සිනාවෙන් ලේ පිරිසිදු කර දෙනු වෙනුවට කෝපයෙන් ලේ රත්කර පෙන්වයි. වීරකෝන් ගේ මේ කාව්‍යමය පරිකල්පනය මේ මොහොත පිළිබඳ කදිම පෙර උපකල්පනයක් වග අපට සිතෙයි.

" 'හන්දියෙ දැක්කද අලියෙක්?'
උදෙන්ම
නසුර්දීන්
අසල්වැසියන්ගෙන් ඇහුවෙ
ජොලියට...

දහයට විතර නසුර් ගියා නින්දට
දවල් වෙලා ඇහැරුනේ බඩගින්නට
මෙන්න බොලේ යනවා පෝලිමක්
අලි බලන්නට

දැන් ඔහුට අමතකය
උදේ ගත් ජොලිය

හේ ද වික්ෂිප්තව
ගියා
නැති අලියා බලන්නට "

(නසුර්දීන් ගේ ජාතිවාදය - 39 පිටුව)

අර අප කලින් කියූ හන්දි අමාරුව ඇතිවන්නේත්, පැතිරෙන්නේත්, ඇවිලෙන්නේත් මෙවැනි 'විහිළුකාරයන්' නිසාය. එබැවින් දහයට නිදාගන්නා අය ඒ පිළිබඳ තව තවත් සිය අවධානය යොමු කරලීම වැදගත් වනවා ඇත.

අණ වින බණ

බොහෝ අල්ල පනල්ල අස්සේ රටේ ජනාධිපතිවරයාට කොඩි විනයක් කර ඇති බවට කතාවක් කරළියට පැමිණියේ මීට ටික දිනකට කලිනි. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවත් කොඩි විනය කැපීමට විශේෂ ක්‍රියා මාර්ගයක් ගන්නා බවත් ප්‍රකාශ කළේ අමාත්‍ය දුමින්ද දිසානායක ය. සිනාසිය යුත්තේ කොතැනින්දැයි ඔබට සිතා ගත නොහැකි නම් වීරකෝන් ගේ කවියක එන මේ කෙටි උපුටනය කියවා බලන්නැයි අපි ඔබට යෝජනා කරමු.

"සැකේ දුරු කර
ගන්න බැරි කල
සබෙන් නික්මින
රාජ අණ වින

ආණ්ඩු එලවන්න
සන්නි, කොඩිවින කරති
රජ්ජුරුවෝ ද
යන්ත්‍ර මන්ත්‍ර පලඳිති"

(කියවන විට ලිවීම - 48 පිටුව)

කොඩි විනවලට බය, තිරුපති යන, වශී බෝල මිරිකන රජ මැති ඇමතිවරුන් ඔබට සිහිවනවා ඇත. වීරකෝන් ස්වකීය කාව්‍යමය පරිකල්පන අවකාශයේ හිඳ රටේ මේ මොහොත කියවන්නේ එහෙමය.

සමාලෝචනය හෙවත් අවසානය

තව ලිවිය යුතු බොහෝ දේ තිබුණ ද පත්තර පිටුවක ඉඩ විසින් මේ සටහන එහි තාර්කික අවසානය කරා රැගෙන විත් ඇත. අවසාන ලෙස වැඩි යමක් නොකියමු. සියල්ල අවසන් වීමට ප්‍රථම නව ආරම්භයක් උදෙසා පළමු පියවර තැබිය හැකි නම් අනාගතය මින් වඩා වෙනස් විය හැකි වග පමණක් සටහන් කරමු. අපි ඉදිරිය බලමු!

 

| කසුන් සමරතුංග | 2019.05.26 දා ඇත්ත - අලංකාරයෙහි පළවූ සටහනකි |