සාරා 02 කොටස - ඇයි මම කෝල් නොකර ආව එක අවුල්ද ?

සාරා 02 කොටස - ඇයි මම කෝල් නොකර ආව එක අවුල්ද ?

විහංගා ලැප්ටොප් තිරය දිහා විස්මයෙන් බලාගෙන හිටියා. තරු එවපු මැසේජ් එක විහංගාට තරුගෙ කටහඬින් ම ඇහුණා. මාස ගාණකට පස්සේ, තරුෂි විහංගාට උත්තරයක් බැඳලා.

saraa

``විහා කෙල්ල,

මම එනවා. ඔයාවයි සාරාවයි බලන්න මම එනවා. ඔයාටයි සාරාටයි කිසි කරදරයක් වෙන්නෙ නැහැ. තෙරුවන් සරණින් ඔය දෙන්නම සනීපෙන් ඉන්න බව මට විශ්වාසයි. බය නැතුව ඒ අද්දැකීමට මූණ දෙන්න. ළඟක පාතක හිටියා නම්, මම ඔයා ළඟ නොසෙල්වී ඉන්නවා. ඒත් මම එන්න තව මාස තුනක්වත් යයි. ඒත් සිතින් මම ඔයා ළඟ විහා කෙල්ල.

තව දෙයක්. මම හැමදේම අමතක කරන්න ලෑස්තියි. ඒත් විහා, මම මේ කිසිදෙයක් සංදේශ්ට කියන්න යන්නෙ නැහැ. මට එච්චර හිත හදාගන්න අමාරුයි. මම ඔයාව කවදාහරි බලන්න එනවනං එන්නෙත් තනියම. ආයෙමත් සැරයක් සංදේශ්ව ඔයා ඉස්සරහට ගේන්න මගේ ගෑණු හිත මට ඉඩදෙන්නෙ නැහැ. මේ ටික කිව්වෙ තරහකට නෙමෙයි කෙල්ලේ, මට ඔයාට බොරු කියන්න බැරි නිසා.

මම සංදේශ්ට මේ මුකුත් කියන්නෙ නැහැ. මට පොරොන්දු වෙන්න, තිවංක අයියටත් මේ මුකුත් කියන්නෙ නැහැ කියල. මගේම අයියා වුණත් එයා මාව කවදාවත් තේරුම් ගත්තෙ නැහැ. ඉස්සරහට තේරුම් ගන්න එකකුත් නැහැ. මට හැමතිස්සෙම ලියන්න බැරි වෙයි. මේ ටික ලියන්නෙත් සංදේශ් එළියට ගිය වෙලාවක. දැන් මට ටිකක් හොඳයි. පරණ ඇබ්බැහිවලින් ටික ටික මිදෙමින් ඉන්නේ.

එහෙමනම්, මම නවතිනවා විහා.
ඔයාටත්, හෙට අනිද්දාට මේ ලෝකේ එළිය දකින සාරාටත් බුදු සරණයි.

මේ
ආදර
තරු. ``

තරුෂිගෙ උත්තරය දැක්ක ම සතුටු වෙන්න ද දුක් වෙන්න ද කියල හිතාගන්න බැරි තරමට විහංගා කම්පනය වුණා. තරුෂි ලිව්ව අකුරු අස්සෙ මොකක්දෝ තරහක් - හරියට ම කිව්වොත් වෛරයක්, සීතල සර්පයෙක් වගේ ගුලිවෙලා ඉන්නවදෝ කියල විහංගාට හිතුණා. නැහැ, ඒ මට හිතෙන විදිහ වෙන්නැති. තරු ඇත්තටම ආදරෙන් මේ ලියල තියෙන්නෙ. අවංකව ලියල තියෙන්නෙ. ඇයි මම හැමදෙයක් දිහාම හරහට බලන්නෙ. විහංගාට එරෙහිව විහංගා හිටගත්තා. එතකොට ම තිවංක කාමරේට ආවා. විහංගා ගැස්සුණා.

``ඔයා ආව ද ? මට බයික් එකේ සද්දෙ ඇහුණෙවත් නැහැනේ.. ``

විහංගා, ලැප්ටොප් එක වහල දැම්මා. තිවංක ෂර්ට් එකේ බොත්තම් ගලවන ගමන් ඒ දිහා බැලුවත් මුකුත් කිව්වෙ නැහැ. ඒත් තිවංකගෙ හිතේ, සැකයේ සිහින් ඉරක් හීනියට ඇඳුනාදෝ කියල විහංගාට හිතුණා.

``වෙනද ඔයා කඩේ ගාවදි කෝල් එකක් දෙනවනෙ මොනවද ගේන්න ඕන කියල අහන්න..?`` විහංගා ඇහුව.

අන්න එතකොට තිවංක විහංගා දිහා බැලුවා.

``ඇයි මම කෝල් නොකර ආව එක අවුල්ද ?``

86340497 186207525956209 109503893473329152 n

කාමරේ ඇතුළෙ අකුණක් ගැහුවා. ඒ අකුණේ එළියට විහංගාගේ ඇස්දෙක නිලංකාර වුණා. තිවංක නිල් පාට තුවායත් අරං නාන කාමරේ පැත්තට යන හැටි, නිලංකාර නිල්පාට අස්සෙන් විහංගා බලාගෙන හිටියා.

මොකද්ද ඒ වුණේ? තිවංක අයියා කවදාවත් මට ඔහොම කතාකරල නැහැ. තිවංකගෙ හිස මත ෂවර් එකේ වතුර තීරු තීරු වැටෙන සද්දෙ විහංගා අහගෙන හිටියෙ ලෝදිය තීරු තීරු තමන්ගෙ හිස මත වැටෙන හැඟීමකින්. කිසිම වැරැද්දක් හීනෙකින්වත් නොකරන මට ඇයි කවදාවත් නැතුව වචනවලින් දමල ගැහුවේ ? ඔළුවට වැටුණු ලෝදිය ඇස්වලින් එළියට වැටෙන්න පටන් ගත්තා. මේ කෙහෙල්මල් ඊ මේල් එක සාපයක් බව මම දැනගෙන හිටියා. උමතු අනාවැකිකාරියක් හිස වටේ දිව්වා. ඒ ඊමේල් එක ආවේ අවතාර හුළඟක් අරගෙන. අපරාදයක් මම කරගත්තේ. හිතක් තමන්ට ම දොස් කියන්න පටන් ගනිමින් හිටියා. ඒ අතරවාරේ, විහංගාගේ කුස ඇතුළෙන් හීනි පහරක් වැදුණා.

``අඬන්න එපා අම්මේ.. යන්න ගිහින් තාත්තා එක්ක කතාකරන්න..`` සිඟිති යටි පතුළෙන් සාරා අණ දුන්නා.

කොහෙ යන්නද ? ඔයා කට වහගෙන ඉන්න. ඉපදෙන්නත් කළින්ම පණ්ඩිතකම ඔළුවට ගහලද ? අපේ ප්‍රශ්න අපි බලාගන්නම්. ඔයා මේවට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. එක අතකට ඔයා හින්දා තමයි මේ සේරම ප්‍රශ්න. අපි හැමෝම මොන ප්‍රශ්න තිබ්බත් කොහොමහරි ජීවත් වුණා. කොහොමහරි හුස්ම ගත්තා. ඔයා මේ මැද්දට ආපු වෙලාවෙ ඉඳන් තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඔයා ආවෙ නැත්නම් අපි අපේ ප්‍රශ්න වහගෙන ලෝකෙට පේන්න හරි හිනාවෙලා ජීවත් වෙනවා. දැන් අන්තිමට මොකද්ද වුණේ ? අපි කාටවත් අපේ කඳුළු හංගන්න බැරි වුණා. අනික, තාත්තා එක්ක කතාකරන්න කියල ඔයා ඔය කියන්නෙ මොනවා දැනගෙනද ? දන්නැති දේවල් කතාකරන්න දැන්ම ඉඳල පුරුදු වෙන්නෙපා සාරා.. ඒ ඔයාගෙ තාත්තා නෙමෙයි. ඔයාගෙ තාත්තා ඔයාව දාල තරුෂි නැන්දා එක්ක සීතල රටක උණුසුම් වෙනවා. මේ ඔයාව බාරගන්න කැමති වුණු මුණිවරයා.. ඔයාවයි මාවයි දෙන්නවම බාරගන්න කැමතිවුණු බෝධිසත්තයා.. එහෙම මිනිස්සු ඉන්නවද මේ ලෝකෙ කියල හැමෝම අහපු පුදුම සහගත මනුස්සයා තමයි මේ ඉන්නේ.. ඒත්.. ඒත්.. ඒ මනුස්සයත් දැන් වෙනස් වේගෙන එනවා.. බෝධිසත්ත ආත්මය ඉරාගෙන ඒ මනුස්සයා ඇතුලෙනුත් යකෙක් මතුවෙන්න පටන් අරගෙන.. ඒ ඔක්කොම ඔයා නිසා සාරා.. ඒ ඔක්කොම ඔයා නිසා !

ඒ මහා ආඩපාලිය අහගෙන හිටපු සාරා තව දුරටත් සිඟිති අණකිරීම් කරන්න ගියේ නැහැ. සාරා නිශ්ශබ්ද වුණා. තමන් සාරාට කතාකරපු විදිහ සාහසික වැඩියි කියල විහංගාට හිතුණෙ නැහැ. විහංගා හෙමින් ඇවිදගෙන නාන කාමරේ දිහාට ගියා. ඒ වෙනකොට ෂවර් එකේ සද්දෙ නතරවෙලා තිබ්බෙ. තිවංක නාන කාමරේ ගාව තිබ්බ පුටුවක ඉඳගෙන ඔළුවට අත්දෙක තියාගෙන හිටියා. තිවංකගෙ සිරුරෙන් සහ තෙත තුවායෙන් බේරෙන වතුර බිංදුවලින් ඒ හරියේ සිමෙන්තිය නෑවිලා තිබ්බා.

``ඇයි තිවංක අයියෙ මේ..? මම වැරැද්දක් කෙරුවෙ නැහැ මහත්තයො..``

විහංගා එහෙම කිව්වෙ නැහැ. ඒ වෙනුවට ගොළු වෙලා බලාගෙන හිටියා. තිවංක ඔළුව උස්සලා කතාකෙරුවා.

``මට ඔයා එක්ක දෙයක් කතාකරන්න තියෙනව.. වැදගත් දෙයක් !``

``වැදගත් දෙයක් ? ඒ මොකද්ද ?``

 

මතු සම්බන්ධයි

| විමල් කැටිපෙආරච්චි ලියයි | අරවින්ද සේනාධීර අඳියි |