සාරා 04 කොටස - මගේ බඩදරු ගෑනිව මේ මෙතන බිම දාලා..?

සාරා 04 කොටස - මගේ බඩදරු ගෑනිව මේ මෙතන බිම දාලා..?

මෙතෙක් කතාව..

විහංගා දරු උපතක් බලාපොරොත්තුවෙන් කල් ගෙවයි. ඇගේ කුසේ සිටින දරුවාගේ ජීව විද්‍යාත්මක පියා සංදේශ් ය. ඔහු විහංගාගේ සමීපතම මිතුරිය වන තරුෂි හා විවාහ වී විදෙස්ගතව සිටියි. තරුෂිගේ එකම සොයුරා වන තිවංක, ඒ සියල්ල ගැන දැනුවත්ව විහංගාව විවාහ කරගෙන ඇත. තමන්ව බලන්නට ලංකාවට එන්නැයි විහංගා තරුෂිට යැවූ ඊ මේල් එකට තරුෂි පිළිතුරු එව්වා ය. එහෙත් මේ කිසිවක් තිවංක සමග නොකියන්නැයි ඊ මේල් එකකින් ම තරුෂි ඉල්ලා සිටියා ය. මේ සංවාදය අතර තිවංක ගෙට ගොඩ වෙයි. ඔහු සේවා ස්ථානයේ ගැටුමක් ඇතිකරගෙන පැමිණ සිටියි. පැය කීපයකින් පොලීසිය පැමිණෙයි. තිවංකගෙන් පහර කෑ තැනැත්තා දැඩි සත්කාර ඒකකයේ යැයි කියමින් තිවංකව අත්අඩංගුවට ගැනීමට සැරසෙන විට විහංගා සිහි මුර්ඡා වී ඇදවැටෙයි.

****

darfsggs

 

තිවංක විහංගා ළඟට දුවගෙන ආවා. බිම ඉඳගෙන විහංගාව උස්සලා, විහංගාගෙ හිස තිවංක ඔඩොක්කුවෙන් තියාගත්තා. ඇනෙක්ස් එක අයිති ඇන්ටිත් දුවගෙන ආවා.

``ඔළුව පැළිලා.. ඉක්මනට මොනවහරි කරන්න පුතේ..``ඇන්ටිමය ගති වෙනුවට මාතෘමය ගති උඩට එමින් තිබුණා.

``වතුර එකක් ගේන්න ඇන්ටි..`` තිවංකගෙ ස්වරයේ තිබුණේ අණ කිරීමක්.

``බ්ලීඩ් වෙනවා.. වාහනේ ෆස්ට් ඒඩ් මොනවහරි තියෙනවද බලනව..`` ඒ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අණ කිරීමක්.

``මේ බලනව සර්..`` පහළ නිලධාරියා වාහනේ දිහාට දිව්වෙ ඉහළ නිලධාරියාට දෙකට නැමීගෙන.

විහංගා ලෝක දෙකක් මැද්දෙ හිර වෙලා හිටියෙ. වරින්වර කුසේ හිටිය සාරා ඉකි ගැහුවා. ඒ ඉකි ගහන වාරයක් වාරයක් පාසා විහංගා ගැස්සුණා. ගැස්සෙනකොට හයියෙන් හුස්ම ගත්තා. එහෙම හුස්ම අරගෙන තත්පරයක් දෙකක් ඇස්පිල්ලම් ගහලා ආයෙත් ලෝක දෙක මැද්දට ගියා. මේ විදිහට කීප සැරයක් ම සිද්ධ වුණා. මේ අතරවාරේ ඇන්ටි ගෙනාව වතුර වීදුරුවෙන් තිවංක ඇඟිලි තුඩුවලට ගත්ත වතුර බිංදු, විහංගාගෙ මුහුණ මත පිනි ඉස්සා. ඒත් අර ලෝක දෙක අතර යාම් ඊම් නැවතුණේ නැහැ.

``ඇම්බියුලන්ස් එකකට කතාකරන්න.`` කවුදෝ එහෙම කියනව හීනයක ඈත කෙළවරෙන් විහංගාට යාන්තමින් ඇහුණා. ඒත් ඒ හඬට ප්‍රතිචාර දක්වන්න මේ වෙලාවේ බැහැ. මොකද, ලෝක දෙක අතර අතිවිශාල සිතුවිලි ට්‍රැෆික් එකක් තිබ්බා. ඒ සිතුවිලි අතරින් ඉස්සරහට යාගන්න බැරුව විහංගාගෙ හිත ඔහේ ලත වෙවී හිටියා. සාරා මේ කිසිදෙයක් නොදැක්ක ගාණට ඇස්දෙක තදකරලා පියාගෙන උන්නේ.

විහංගාගෙ හිසෙන් ගලන ලේ නවත්තන්න ගත්ත පොලිස් ප්‍රථමාධාර උත්සාහය සෑහෙන්න සාර්ථක වුණා.

``මේ තත්වෙන් ගෙදර තියාගන්න එපා.. වහාම මේ ළමයව හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න ඕන..`` ඉහළ නිලධාරියා එහෙම කිව්වා.

``ඔබතුමා කාටද ඕක කියන්නෙ ? මේ මගේ වයිෆ්. එයාට ඉන්නෙ මම විතරයි. මාව කුදලගෙන ගියාම කවුද මෙයාව හොස්පිට්ල් ගෙනියන්නෙ ඔෆිසර් ?`` තිවංක ටිකක් සද්දෙන් කතාකෙරුවා.

දහසක් දෙනා `සර්` කියන නිලධාරීන්ට `ඔෆිසර්` කියල ආමන්ත්‍රණය කරන තරුණයා දිහා ඇනෙක්ස් එකේ ඇන්ටි බැලුවෙ තරහින්. ``මූ නං ෂුවර් එකටම ජේවීපී කාරයෙක්`` වගේ අදහසක් තියෙන බැල්මක් ඇන්ටිගෙ ඇස්වල තිබ්බා. ඒත් මෙච්චර වෙලා මිදුලට වෙලා හිටිය අන්කල්ට මේ දෙබස අල්ලලා ගියා. ඒ නිසා ම, මෙච්චර වෙලා පස්සට වෙලා හිටපු අන්කල් ඉස්සරහට ආවා.

``ඉන්ස්පෙක්ටර් මහත්තයා, අප‍ට බැරිද මේ දිහා ටිකක් සානුකම්පිතව බලන්න..?`` අන්කල් අමුතු ධෛර්යයක් අරගෙන කතාකරන විදිහ ඇන්ටි පවා පුදුමයෙන් බලාගෙන හිටියා.

``මිස්ට.. අපි ආවෙ රාජකාරියකට.. මේවා මේ අතුරු ප්‍රශ්න.`` ප්‍රථමාධාර දුන්න  මනුෂ්‍යයා යට කරගෙන නිල ඇඳුම අන්කල්ට කතා කළා. ``කරුණාකරලා ඕගොල්ලො මෙයාලට පුළුවන් උදව්වක් දෙන්න.`` ඉහළ නිලධාරියා තිවංකගෙ උරහිසට අත තිබ්බා. ``අපි යමු ඉලන්දාරියා..``

``යන්න ? සිහිය නැතිවෙලා ඔළුවත් පැළිලා ලේ ගල ගල ඉන්න මගේ බඩදරු ගෑනිව මේ මෙතන බිම දාලා..?`` තිවංක කෑ ගැහුවා.

එතකොට ම අඳුරු පාට වාහනේ ගාවින් සුදු පාට වාහනයක් ඇවිත් නැවැත්තුවා. පොලිස් අණ නොතකා ක්‍රෝටන් වැට පනින්න බැරුව හිටපු මිනිස්සු දෙපැත්තට වෙලා පාරෙ ඉඩ හැදුවා.

``සර්, ඇම්බියුලන්ස් එක ආවා..`` වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නිලධාරියාව දැනුවත් කෙරුණා.

``ජයන්ති, ඇඳුමක් දාගෙන එන්න ඉක්මනට.. මගේ ෂර්ට් එකකුත් ගේන්න.. මගේ පොකට් එකත් අරගෙන එන්න..`` අන්කල් එක දිගට මෘදු අණකිරීම් කීපයක් ම කළා. හැමදාම අන්කල්ව කීකරු කරන ඇන්ටි, අද මුවින් නොබැණ කීකරු වුණා.

සාත්තු සේවකයො දෙන්නෙක් ආව.

``පුතා යන්න.. අපි බලාගන්නම් දුවව !`` අන්කල් ස්ථිර හඬින් කිව්වා. සාත්තු සේවකයන් විහංගාව ඔසවලා ඇම්බියුලන්ස් එකට දාගන්න අතරේ තිවංක කොහෙන්දෝ කොළ කෑල්ලක් හොයාගෙන යාළුවො දෙන්නෙක්ගෙ ටෙලිෆෝන් නොම්මර ලියලා අන්කල්ගෙ අතේ තිබ්බා.

ගෙදරත් ඇනෙක්ස් එකෙත් දොරවල් දෙක වහලා, ඇන්ටිත් අන්කල් එක්ක ඇම්බියුලන්ස් එකට නැග්ගා. තිවංක පොලිස් වාහනේ. දෙකම ආණ්ඩුවෙ වාහන. තිවංක සිහියෙනුත් විහංගා අසිහියෙනුත් එකිනෙකාට සමුදුන්නා. ආණ්ඩුවෙ වාහන දෙක දෙපැත්තට යද්දී ඒ දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු මිනිස්සු, ආයෙමත් ගෙවල් ඇතුලට ගියා ටෙලි නාට්‍ය බලන්න.

ඊළඟ නෛතික රාජකාරිය මොකක්ද කියල බලාගෙන තිවංක පොලිස් කූඩුවෙ කූරු අල්ලගෙන හිටියා. මේ අතරේ විහංගා රැගත් ට්‍රොලිය වාට්ටුවක් වෙත ගෙනයමින් තිබුණා. විහංගා ගැන සිතුවිලිවලින් තිවංකගෙ පපුව පිච්චි පිච්චි තිබ්බේ. කූඩුවේ කෙළවරේ හිටපු කෙනෙක් බීඩියක් දෙන්න ද ඇහුවා. තිවංක ඔළුව වනලා එපා කිව්වා.

hsfshvsg

මේ විදිහට පැයක් විතර ඔරලෝසුවේ කටු කැරකුණා.

``එළියට එන්න..`` එක පාරට ම එතැනට ආව නිලධාරියෙක් තිවංකව එළියට ගත්තා. ඒ ස්වරයේ අමුතු මිත්‍රත්වයක් ගෑවිලා තියෙන බව තිවංකට දැනුණා. ඉහළ නිලධාරියාගේ කාමරයට තිවංකව යොමු කෙරුණා.

``වෙරි සොරි මිස්ට තිවංක වික්‍රමනායක.. ටේක් අ සීට්..``

``මොකද්ද මෙතන වෙන්නෙ ? මට මගේ වයිෆ් බලන්න ඕන..``

``ෂුවර්.. මම වාහනයක් ලැස්ති කරලා දෙන්නම්..``

``මොකක්? ඔබතුමාලගෙ රාජකාරි ඉවරද ඒ කියන්නෙ?``

``අපොයි ඔව්.. ඒක පටන්ගන්නත් කලින් ඉවර වුණා.. ඔබතුමා නිදහස්.. දැන් ගිහින් වයිෆ්ව බලන්න``

``මට පැහැදිලි මදි..``

ඉහළ නිලධාරියා හිනාවෙලා පුටුවෙන් නැගිට්ටා.

``හේමපාල, මේ මහත්තයව හොස්පිට්ල් එකට ගිහිල්ල දාන්න...  තව කොහෙටහරි යන්න ඕන කියල මේ මහත්තය කිව්වොත් ඒ ගමන් ටිකත් ගිහිල්ලම එන්න..``

``හරි සර්``

පහළින් ඉහළට සැලියුට් එකක් වැදුණා.

``අපි යමුද සර් එහෙනම්..`` තිවංක ඉස්සරහට නිල ඇඳුමක් යටහත් පහත් වුණා.

ඕන මගුලක් වෙච්චාවේ.. මට මේ වෙලාවෙ ඕන විහංගාව බලන්න. තිවංක හිතුවෙ එහෙමයි. තිවංක නැගිට්ටේ එහෙම හිතාගෙන. ඒත් ඒ වෙනකොට සාරා විහංගා එක්ක ආයෙමත් ලොකු රණ්ඩුවක් අල්ලමින් හිටියා. 

| විමල් කැටිපෙආරච්චි ලියයි
අරවින්ද සේනාධීර අඳියි |

මතු සම්බන්ධයි