සාරා 05 කොටස - ``ඇයි මිස්, මගේ වයිෆ්ට කරදරයක්ද ?``

සාරා 05 කොටස - ``ඇයි මිස්, මගේ වයිෆ්ට කරදරයක්ද ?``

මෙතෙක් කතාව..

විහංගාගේ කුසේ සිටින දරුවාගේ ජීව විද්‍යාත්මක පියා සංදේශ් ය. ඔහු විහංගාගේ සමීපතම මිතුරිය වන තරුෂි හා විවාහ වී විදෙස්ගතව සිටියි. තරුෂිගේ එකම සොයුරා වන තිවංක, ඒ සියල්ල ගැන දැනුවත්ව දැන් විහංගාව විවාහ කරගෙන ඇත. තමන්ව බලන්නට ලංකාවට එන්නැයි විහංගා තරුෂිට යැවූ ඊ මේල් එකට තරුෂි පිළිතුරු එව්වා ය. එහෙත් මේ කිසිවක් තිවංක සමග නොකියන්නැයි ඊ මේල් එකකින් ම තරුෂි ඉල්ලා සිටියා ය. මේ අතර සේවා ස්ථානයේ ගැටුමක් ඇති කරගෙන ගෙදර ආ තිවංකව පොලීසිය පැමිණ අත්අඩංගුවට ගනියි. විහංගා සිහි මුර්ඡා වී ඇදවැටෙයි. විහංගා රෝහල්ගත කරද්දී තිවංක රිමාන්ඩ් කෙරෙයි. එහෙත් පොලිසියේ හැසිරීම වෙනස් වී පැය කීපයක් තුළ තිවංකව මුදා හරියි.

****

 

Screenshot 20200609 101042

පොලීසිය භාරේ තිබ්බ මොබයිල් ෆෝන් එක අතට ගත්ත තිවංක, පොලීසියෙන් එළියට බැස්සා නෙමෙයි පැන්නා.

``සර් පොඩ්ඩක් ඉන්න..`` පොලිස් රියැදුරා වාහනේ ගන්න ගමන් කෑ ගැහුවා.

ඒත් ඒ වෙනකොට තිවංක හිටියෙ මීටර් ටැක්සියක් ඇතුළෙ. `වැඩ මීටරේට - හිත ආදරේට !` කියල ත්‍රී වීල් එක පිටිපස්සෙ ගහල තිබ්බා. ඒ අතරේ පොලිස් වාහනේ රිවස් කරලා තිබ්බ තැනට ම ආපහු ගාල් වුණේ කුණුහරුප දෙකකින් සමන්විත වාක්‍යයක් එක්ක.

``පොලීසියේ ඉඳල ඉස්පිරිතාලෙට මේ රෑ යන්නෙ මොකක්හරි කේස් එකක්ද සර් ?`` ත්‍රී වීල් එක සුදු ඉරි කපා නොකපා ඉගිල්ලෙන අතරවාරේ රියැදුරා වග විස්තර විභාගය පටන් ගත්තා.

``ඔව් සහෝදරයා, මාව පොඩි කේස් එකකට ගෙනාව.. මගේ නෝනා ප්‍රෙග්නන්ට්.. එයා හොස්පිට්ල් එකේ..``

ඊට පස්සෙ තිවංක කල්පනාවට වැටුණා. ඒ කල්පනාවට ඉඩ දීලා රියැදුරු සහෝදරයා නිශ්ශබ්ද වුණා. රීවීල් රෝද අස්සෙන් මහපාරේ වැතිරිලා හිටිය දූවිලි සේල ටර්නාඩෝ මවමින් තිබුණා. කල්පනා විරාමය දිගේ තිවංක එහෙට මෙහෙට කරක් ගැහුවා. විහංගා ගැන ආදරයෙන් තිවංකගෙ පපුවත් හිසත් පිරුණා. හිස් පිරි ආලය මැද්දෙන් ඉස්පිරිතාලය ළඟට ත්‍රී වීල් එක ආවා.

``රුපියල් සීයක් දෙන්න !`` මීටරේ ඉලක්කම් තුනේ පළමු ඉලක්කම තුන වුණත්, රියැදුරා එහෙම කිව්වා.

රුපියල් සීයක් එක්ක මිලියනයක මඳ සිනහවක් දුන්නු තිවංක, රියැදුරාගේ උරහිසට තට්ටුවක් දාල ඉස්පිරිතාලෙ ඇතුළට දිව්වා. කොරිඩෝ දිගේ තිවංක දුවනකොට ආරක්ෂක නිලධාරියෙක් තිවංකව නැවැත්තුවා. තිවංක දුවන ගමන් ම උත්තර දුන්නා. ආරක්ෂක නිලධාරියා ගල්ගැහිලා වගේ බලාගෙන ඉන්නකොට තිවංක ලිෆ්ට් එකක දොරවල් දෙකක් මැද්දෙන් සිහින් වෙලා ගියා.

දුවගෙන ආව තිවංකව ඇන්ටියි අන්කලුයි දැනුම්වත් කළා.

``තාම ඩොක්ටර්ස්ලා මුකුත් කිව්වෙ නැහැ පුතා. ඒක නෙමෙයි පුතා කොහොමද ආවෙ ? නිදහස් කෙරුවද ? එහෙමත් නැත්නම්..`` ඇන්ටිටයි අන්කල්ටයි ප්‍රශ්න ගොඩක් තිබුණා.

``මාත් දන්නෙ නැහැ ඒක කොහොමද වුණේ කියල..``

``මම පුතා දුන්නු නොම්මරවලට කතා කෙරුවා.. එකක් වැඩකරේ නැහැ.. අනික් නොම්මරේ.. සාගර කියන එක්කෙනා කතා කෙරුවා..  එයා මොකක්හරි කරන්නැති මගෙ හිතේ..``

``ඔව් එහෙම වෙන්නැති අන්කල්.. අනේ අපි වෙනුවෙන් මේ කරපු දේට පුදුම තරම් ඇන්ටිටයි අන්කල්ටයි ස්තූතියි.. ඒ වගේම සමාවෙන්න මේ අනවශ්‍ය කරදර ගෙදරට ගේනවට..``

``අපි ඔය ළමයින්ව විශ්වාස කෙරුවා.. ඒක රකින්න බැරි නං..`` ඇන්ටි නෝක්කාඩුවක් පටන් ගන්න හැදුවා.

``මේ..ඕවා පස්සෙ කතාකරමු.`` අන්කල් ඇන්ටිව ලත් තැනම ලොප් කෙරුවා.

``දැන් මම ඉන්නවනේ.. මම විහංගාව බලාගන්නම්. ඇන්ටිලා ගෙදර යන්න. ආයෙත් කියනව සමාවෙන්න කියල..``

ඇන්ටිලා පිටත් වුණා. තිවංකට ෆෝන් එක ඔන් කරන්න මතක් වුණේ එතකොට. සාගර මිස්ඩ් කෝල් සීයක් විතර ගහලා තිබ්බා.

``උඹ කොහෙද ?``

``මම මේ හොස්පිට්ල් එකට එන ගමන්.. උඹව අරුන් එළියට දැම්මනේ..``

``යකෝ.. බලාගෙන ගියාම උඹටත් මාර බල පරාක්‍රමයක්නෙ තියෙන්නෙ..``

``නැතුව.. නැතුව.. උඹල අපි ගැන නිකං දෙකයි පණහට හිතාගෙන හිටියට අපිටත් හතරයි හැත්තෑ පහේ වැඩක් කරගන්න පුළුවන් හරිද ?``

``හා හා වරෙන් වරෙන් ඉක්මනට..``

gsygshs

සාගරගේ වචන තිවංකට පොඩි සැනසීමක් ගෙනාවා. සාගර එනතුරු හෙදියක් ළඟට ගිය තිවංක, විහංගා ගැන තව විස්තර ටිකක් හොයාගත්තා. බය නොවී ඉන්නකෝ කියල හෙදිය තිවංකට කිව්වා. එතකොට පොඩි සැනසීම ටිකක් ලොකු සැනසීමක් වුණා. එකමත් එක දවසක එකසිය පණස් හතර බස් එකක ඇවිත් මැලිබන් හන්දියෙන් බැස්ස, සුදු පාට මල් වැටිච්ච දම්පාට දිග ගවුමක් ඇඳගෙන ආව චාම් කෙල්ලව තිවංක මතක් කෙරුවා. එදා දෙන්න එක්ක ඇවිදගෙන ගිය හැටි. මගදී හම්බවෙච්ච නීල් බාප්පා, `ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් එක්කගෙන වාහනේට නැගපන්`` කියපු හැටි, ඒ වෙලාවේ නංගිගේ යාළුවගේ මූණ රතු වෙච්ච හැටි තිවංක මතක් කෙරුවා. විහංගාව දැක්ක ඒ පළමු දවසෙම කුමක්දෝ දෙයක් පපුව යට තැනක සිද්ද වෙච්ච බව මතක් කරනකොට, ඒ හැඟීම ආයෙමත් පාරක් තිවංකට දැනුණා. ඊට පස්සෙ එදා රෑ සිද්ද වෙච්ච අනෙක් සිදුවීම් මතක් වෙනකොට සංදේශ් ඒ අතරට එනවා. තිවංකගේ පිරිමි හිත තරහකින් සහ ඊර්ෂ්‍යාවකින් පෙළෙන්න පටන් ගත්තා. තිවංක වෙන දෙයක් ගැන කල්පනා කරන්න උත්සාහ කරමින් හිටියා. සාගර ආවා.

``කොහොමද විහංගාට?``

``බයවෙන්න එපා කියලනං කිව්වා.``

``එහෙනං උඹ කලබල නොවී හිටපං..``

``මේ, මොකද්ද උඹ පොලීසියට ගහපු ගැටේ ?``

``මම ගහපු ගැටයක් නැහැ බං..``

``එහෙනං කොහොමද යකෝ උන් මාව නිදහස් කෙරුවේ.. උඹ ඉස්සෙල්ල කිව්වේ හතරයි හැත්තෑ පහේ වික්‍රමයක් ගැන..``

``ඒ වික්‍රමය කරේ මම නෙමෙයි මිස්ට වික්‍රමසූරිය..``

``එහෙනං කවුද බං ?``

``ඒකනේ මම දැන් කිව්වේ, මිස්ට වික්‍රමසූරිය..``

``මොකක්? උඹ අපේ තාත්තට කතා කෙරුවද ?``

``ඔව්.. හතර අතේ කල්පනා කරලා වෙන කරන්නම දෙයක් නැති තැන මම ඒක කෙරුවා..! වෙන මොනා කරන්නද මම ?``

``උඹ කාගෙන් අහලද ඒ පණ්ඩිත වැඩේ කෙරුවේ..?``

``උඹ කාගෙන් අහලද වැඩපොළේ එකෙක්ට නෙළුවේ ? අනේ මේ.. රෙද්දක් කියන්නැතුව හිටපං.. මෙතන මේ විහංගා ඉස්පිරිතාලෙ.. උඹව කූඩුවෙන් එළියට ගන්න මම උඹලගෙ තාත්තට නෙමෙයි සීයට හරි කතාකරනවා.. හොඳ වෙලාවට ඌ මැරිලා..``

``එතකොටතාත්තද පොලීසියට..?``

``මම කිව්වා, අන්කල් පුතා වෙනුවෙන් මොනවහරි කරන්න ඕන නං මේ වෙලාවෙ කරන්න කියල.. පොර කිව්වා, ඌ මගේ එකෙක් නෙමෙයි කියල.. ඊට පස්සෙ මං කිව්වා, විහංගා ඉස්පිරිතාලෙ කියල.. මොනාවුනත් ඒ ඉපදෙන්නෙ අන්කල්ගෙ මිනිබිරී කියල.. අන්න ඒ ඉන්ජෙක්ෂන් එක මචං බුවාට වැදුණා කියල මට තේරුණා. පොඩ්ඩක් ඉන්නවකෝ කියල ෆෝන් එක තිබ්බා.. මම වෙන ක්‍රමයකින් උඹ නිදහස් කියල කන්ෆර්ම් කරගත්තා.. මොනා වුණත් ලොක්කට පැය භාගයක්වත් ගියෙ නැහැ බං වැඩේට.. අන්න පවර්ස්`` 

``ඔව් දැන් ඉතින් මම එයාගෙ කකුල් දෙක ගාව වැටෙන්න එපැයි..``

``ඉතින් වැටියන්.. ඒ උඹේ මහ එකානේ..උඹලගෙත් ගොන් ඊගෝ ප්‍රශ්න බං.. රෙද්දෙ කොමියුනිස්ට්වාදියො.. මහපට ඇඟිල්ලෙ ඉඳන් උද්දච්චකම``

හෙදියක් ආව. තිවංක නැගිට්ටා.

``මිස්ට වික්‍රමසූරිය පොඩ්ඩක් එන්න. ඩොක්ට කතාකරනවා..``

``ඇයි මිස්, මගේ වයිෆ්ට කරදරයක්ද ?``

හෙදිය මුකුත් ම නොකිය අසරණ බැල්මක් ඇස්වල රඳවාගෙන හිටියා. තිවංකගෙ පපුව ගිනිගත්තා.


| විමල් කැටිපෙආරච්චි ලියයි
අරවින්ද සේනාධීර අඳියි |

මතු සම්බන්ධයි