සාරා 03 කොටස - මම අද එකෙක්ට ගැහුවා !

සාරා 03 කොටස - මම අද එකෙක්ට ගැහුවා !

මෙතෙක් කතාව..

විහංගා දරු උපතක් බලාපොරොත්තුවෙන් කල් ගෙවයි. ඇගේ කුසේ සිටින දරුවාගේ ජීව විද්‍යාත්මක පියා සංදේශ් ය. ඔහු විහංගාගේ සමීපතම මිතුරිය වන තරුෂි හා විවාහ වී විදෙස්ගතව සිටියි. තරුෂිගේ එකම සොයුරා වන තිවංක, ඒ සියල්ල ගැන දැනුවත්ව විහංගාව විවාහ කරගෙන ඇත. තමන්ව බලන්නට ලංකාවට එන්නැයි විහංගා තරුෂිට යැවූ ඊ මේල් එකට තරුෂි පිළිතුරු එව්වා ය. එහෙත් මේ කිසිවක් තිවංක සමග නොකියන්නැයි ඊ මේල් එකකින් ම තරුෂි ඉල්ලා සිටියා ය. මේ සංවාදය අතර තිවංක ගෙට ගොඩ වෙයි. ඔහු යම්කිසි අවුලකින් බව විහංගාට වැටහෙයි.

****

saraa

| සාරා
විමල් කැටිපෙආරච්චි ලියයි
අරවින්ද සේනාධීර අඳියි
තුන්වැනි කොටස |

 

තිවංක කියන්නට සැරසෙන වැදගත් දෙය දැනගන්නට කැමැත්තෙන් විහංගා ඇස් දල්වා ගත්තා. තිවංක කතාකරන්නට පටන් ගත්තා.

``මම අද එකෙක්ට ගැහුවා..``

අතුරු ප්‍රශ්න කිසිවක් ම අහන්නේ නැතුව, විහංගා, තිවංක ගාවින් ඉඳගත්තා. ඉඳගෙන තිවංකගේ වම් අත අල්ලාගත්තා. තිවංක මේ දිනවල තාවකාලිකව රැකියාව කරන ෆැක්ටරියේ ස්වභාවය ගැන විහංගා ටිකක් දන්නවා. ඒ ටික කිව්වෙත් තිවංක ම තමයි. ඒ ටික අනුව, මේ පුවත විහංගාට අරුමයකුත් නෙමෙයි. ඒත් තිවංක ලේසියෙන් මිනිහෙකුට අත උස්සන්නෙ නැති බව විහංගා දන්නවා.

``සුපවයිසර් කෙනෙක්. කාලකණ්නියෙක් කියල මට දවස් ගාණක් හිතිලා තිබ්බේ. . මාත්තෙක්ක වැඩකරන කොල්ලෙකුට මන්දබුද්ධිකයා කියල සතෙකුට වගේ බැන්නා. දවස් ගාණක් ආරක්ෂා කරගෙන හිටපු මගේ ඉවසීමේ සීමාව පැන්නා. උගේ නහයෙන් ලේ ආවා. උගේ යාළුවො එකතුවෙලා ඌව ඉස්පිරිතාලේ ගෙනිච්චා, මේක ලොකු දෙයක් කියල පෙන්නන්නත් එක්ක වෙන්නැති.. මම ගෙදර ආවා..``

ඒ රස්සාවේ වර්තමානය හා අනාගතය ගැන දැන් කතාකර පළක් නැති බව විහංගාට තේරුණා.

``තිවංක අයියේ, අපි බලමු ඉස්සරහට මොනවා හරි කරන්න.. දැන් ඕක අමතක කරන්න.. මම ඉන්නවනේ ඔයාට.. ඔයාට බඩගිනිද ? දවල් බත් තියෙනවා..``

``මට බඩගිනි නැහැ විහංගා.. මගේ හිතට අමාරුයි..``

``කියන්න.. හිතේ අමාරුව මට කියන්න..``

``මාව බොසාගේ කාමරේට ගෙන්නලා කිව්වා, තිවංකගේ සේවය තව දුරටත් මේ ආයතනයට අවශ්‍ය නැහැ කියලා.. ඌ කියපුවා නම් මට ගාණක්වත් නැහැ.. ඒත් එතකොටම මගෙන් ගුටි කෑව මිනිහගෙ වයිෆුයි ළමයයි එතෙන්ට ආවා... තව කවුද නෑයෙක් එක්ක..``

``ඒ මිනිස්සු ඔයාට දොස් කිව්වද ? හිරිහැර කරන්න ආවද ?``

``එහෙම කෙරුවනම් දුක නැහැ.. ඉතාම අහිංසක මිනිස්සු.. ඔළුව පාත් කරගෙන ඒ ගෑනු කෙනා අඬනකොට මට ඔයාව මතක් වුණා. ළමයා අවරුදු පහක් විතර ඇති.. ඒත් වඩාගෙන හිටියේ.. මම දැක්ක විදිහට... මොළේ වර්ධනයේ අවුලක් තියෙන දරුවෙක්.. මගේ පපුවේ පදාසයක් ගැලවුණා වගේ වුණා. මගේ මාස තුනක පඩිය හම්බවුණා.. මම ඒක ඒ ගෑනු මනුස්සයට දීලා එන්න ආව විහංගා..`` තිවංක ඉකියක් හංගගෙන කතා කෙරුවා.

``කමක් නැහැ.. අපි බලමු මොනවම හරි කරන්න..``

``නරුම විදිහට හැසිරෙන හැම එකෙක් පිටිපස්සෙමත් උන්ගෙම කියල කතාවක් තියෙනවා.. මගේ ඔළුව රිදෙනවා..``

``කාල ටිකක් නිදාගන්න !``

තිවංක නිදාසිටින අතරතුරේ විහංගා පොඩි ගිණුමක් හැදුවා. ඒකට අනුව තව මාසයක් ජීවත් වෙන්න අතේ සල්ලි තියෙනවා. තව මාසයක් ඇතුලත තිවංක අලුත් ජොබ් එකක් හොයාගන්න ඕන. දරුවා හම්බවෙන්න, එන්න එන්න දින ළං වෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට යන්න විහංගා හිත හදාගෙන කොහොමත් හිටියේ. බැරිවෙලාවත් හදිස්සියක් වුණොත් ගන්න කියල සල්ලි ටිකක් පොතක දාලත් තියෙනවා. මහ ගාණක් නෙමෙයි. සාමාන්‍ය ගාණක්. ඒකත් මදිවුණොත් කාගෙන්ද ඉල්ලන්නේ..? විහංගා කුස අතගාමින් කල්පනා කෙරුවා.

සාරා, ඔයා මොකද සද්ද නැත්තේ ? මම ඉස්සෙල්ලා කෑ ගහපු එකට හිත රිදුණද පැටියෝ.. හරි හරි ඕව ගණන් ගන්න එපා අනේ.. කෝ එන්න ආයෙමත් චූටි පාරක් ගහන්න ඔය මල්පෙති යටි පතුලෙන්.. විහංගා එහෙම කිව්වට සාරා මුකුත් ම කෙරුවෙත් නැහැ. මුකුත් ම කිව්වෙත් නැහැ. එයා කවදාවත් නැතුව, මහා නිශ්ශබ්දතාවක ගිලිලා හිටියා. පැය දෙකකින් විතර කුස ඇතුලෙන් මුකුත් ම ප්‍රතිචාරයක් නැහැ. සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ නැහැ නේද කියල විහංගාට හිතුණා. පොඩි බයකුත් හිත ඇතුළෙ තියාගෙන විහංගා ඉස්තෝප්පුවට ආවා.

තවත් විනාඩි දහයක් ඕන නම් ගෙවෙන්න ඇති. ඇනෙක්ස් අයිති ගෙදර, ලොකු ගේට්ටුව ඉස්සරහ තද නිල් පාට වාහනයක් නැවැත්තුවා. ඒකෙන් බැස්ස නිල ඇඳුම් ඇඳගත්ත නිලධාරීන්ව හඳුනගන්න විහංගාට අමාරු වුණේ නැහැ. නිල ඇඳුම් ඇඳගත්ත පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් වත්ත ඇතුලට ආවා. සිවිල් ඇඳුමෙන් සැරසුණු තව දෙන්නෙක් ගේට්ටුව ගාව හිටියා. ඒ වෙලාවේ මිදුලට ආව `ගෙදර ඇන්ටි` කියපු දේ ඇහුණේ නැති වුණාට, ඒ එක නිලධාරියෙක් කිව්ව දේ විහංගාට හොඳට ඇහුණා.

``තිවංක ජීවන්ත කියල කෙනෙක් ඉන්නවද මෙහෙ ?``

වෙලාව රෑ අටට අටහමාරට විතර ඇති. අහල පහළ ටෙලිවිෂන්වල යන ටෙලි නාට්‍යවල දෙබස් සද්ද අතරෙන් ඇහිච්ච ඒ හඬට, විහංගාගේ කකුල් දෙක පණ නැති වුණා. ඇන්ටිගෙ පිටිපස්සෙන් අන්කලුත් ඇවිල්ලා හිටගත්තා. ඒ ගොල්ලෝ පොලීසියට ඇනෙක්ස් එක පෙන්නුවා. විහංගා තිවංකව එක්කන් එන්න ඇතුලට යන්න හදනකොට ම තිවංක එතැනට ඇවිත්. අර ඉස්සර චිත්‍රකතා වීරයෙක් වගේ.

rfgd

``ඔයා ඇතුලට යන්න..`` තිවංක ස්ථිර හඬින් කිව්වා.

``බැහැ.. ඔයාව දාල මට යන්න බැහැ.. ඔයාව එක්කන් යන්න දෙන්නත් බැහැ..`` විහංගා බිඳුණු හඬින් කිව්වා.

``තිවංක කියන්නෙ කවුද ? තමුන්ද ?`` කණ්ඩායමේ ප්‍රධානියා තිවංක ඉස්සරහ හිටගත්තා.

``ඔව් සර් ඌ තමයි..`` සිවිල් ඇඳුමෙන් හිටපු එක හාදයෙක් දැන් වත්ත ඇතුලට ඇවිත්. ප්‍රධානියා ඒ හාදයා දිහා රවලා බැලුවා.

``මහත්තයා පහරදීපු පුද්ගලයව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරලා. රෝහල් පොලිසියට කරපු පැමිණිල්ලක් මත අපට මහත්තයව ඇරස්ට් කරන්න සිද්ද වෙනවා.. `` ප්‍රධානියා වඩාත් ආචාරශීලී ස්වරයක් මවාගන්න උත්සාහ කරමින් හිටියා.

විහංගා කෑ ගැහුවා. ``බැහැ බැහැ තිවංක අයියව එක්කං යන්න දෙන්න බැහැ..``

``මිස් අපට කරදර කරන එපා..``

``ප්ලීස් මම ඉන්න සිටුවේෂන් එක ගැනවත් ඕගොල්ලො හිතන්න..`` විහංගා ආයාචනා කෙරුවා.

``අපට ඒක අදාළ නැහැ.. මේක නීතිය..``

ඒ වචන විහංගාට ඇහුණේ වෙන ලෝකෙකින් වගේ. අහල පහළ මිනිස්සු එකා දෙන්නා වටේ පිටේ පිරෙමින් හිටියා. ඇනෙක්ස් එක අයිති ගෙදර ඇන්ටිට තරහ ගිහින් හිටියත්, ඒ තරහ යටකරගෙන ඇන්ටි විහංගාගෙ ළඟට ඇවිත් ඔළුව අතගෑව. අන්කල් ඔහේ බලාගෙන හිටියා. තිවංක කතාකෙරුවා.

``විහංගා.. ඔයා කලබල නොවී ඉන්න. ඔයා ගාව අසංකගෙ නම්බර් එක තියෙනවනේ.. ඌට විස්තරේ කියන්න.. මම ගිහින් ඉක්මනට එන්නම්.. අපි යමු ඔෆිසර්``

අන්න එතකොට ම සාරා ඇහැරුණා. එයා පුංචි යටි පතුලෙන් විහංගාගෙ කුසට ඇනගෙන ඇනගෙන ගියා. තාත්තට යන්න දෙන්න එපා අම්මේ.. තාත්තට යන්න දෙන්න එපා.. ඔයා මොනවා කිව්වත් - වෙන කවුරුවත් නෙමෙයි මේ තමයි මගේ තාත්තා.. එයාට යන්න දෙන්න එපා.. ඔයාගෙ තාත්තවත් පොලීසියෙන් අරගෙන ගියා ගියාමයි.. අද මේ වෙනකං ආවෙ නැහැ නේද ? ඔයා මට මගේ තාත්තවත් නැතිකරන්නද හදන්නෙ අම්මේ..?

සාරාගේ ප්‍රහාරය විහංගාට දරාගන්න බැරිවුණා. විහංගාගේ ඇස්දෙක පියවෙන්න වගේ ආවා. මුළු ලෝකය ම පොලිස් වාහනේ පාට වුණා. මේක පොලිස් ලෝකයක්. ආදරේ නොහඳුනන නීතියක්. සීතල ටයිල් එක උඩ විහංගාගෙ නළල ඩග් ගාල වදිනවා තිවංකටත් ඇහුණා.

 

| මතු සම්බන්ධයි |