සාරා 01 කොටස - දැන් පරක්කු වැඩියි !

සාරා 01 කොටස - දැන් පරක්කු වැඩියි !

ආදරණීය තරු,

saraaමම ඔයාට ඊ මේල් එව්වට ඔයා රිප්ලයි කරන්නෙ නැති බව මම දන්නවා. ඒත් තරු, මේ ඊ මේල් එක නොඑවා බැහැ. ඔයා ගොඩක් ආදරේ කරපු, ඔයාටත් මට තරම්ම වගේ ආදරේ කරපු, අපේ අම්මා අපිව දාල යන්නම යන්න ගිය බව ඔයාට නොකියා කොහොමද ? කාලයක් තිස්සේ ඉඳන් අපි කාටවත් නොදැනෙන්න එයාගෙ ශරීරය ඇතුළෙ හැංගිලා හිටපු පිළිකා සෛල, මීට මාසෙකට විතර කළින් ඉඳන් වේගයෙන් වැඩ කරන්න පටන් ගත්තා. අපි දොස්තරලා හොයාගෙන යනකොට පිළිකාව දිනුම් කණුව පහුකරලා ඉවරයි තරු.

ඔයා දන්නවනෙ අපේ අම්මා ගැන. එයා පරණ පරම්පරාවේ කෙනෙක් වුණාට, ස්මාට් ෆෝන් පාවිච්චි කළේ නැතිවුණාට, මම දැකපු ස්මාට්ම ගෑනි අපේ අම්මා. ඩොක්ටර් කිව්වා අම්මට මේක හෙමින් කියන්න කියල. දවස් එකහමාරක් විතර මම නිරුත්තර වෙලා ඉන්නකොට, අම්මම ළඟට ඇවිත් ඇහුව, පුතේ මට පිළිකාවක් නේද කියල. මම අම්මව බදාගෙන ඇඬුවට එයා එක කඳුළක්වත් බිම දැම්මෙ නැහැ. එයාගෙ ජීවිතේ එයා ඕන තරම් අඬල තිබ්බ ගෑණියෙක්. එයාගෙ ධෛර්යය ඉස්සරහ මම කූඹියෙක් තරු.

ඔයාට මතකනේ. අම්මා මට කතාකරන්නෙ පුතේ කියල. දුවටයි පුතාටයි දෙන්නටම ඉතින් මමනේ. තාත්තා නැති මට තාත්තටයි අම්මටයි දෙන්නටම හිටියෙ අම්මා. අම්මා මට අම්මෙක් වගේම තාත්තෙක්. මම අම්මට දුවෙක් වගේම පුතෙක්. තිවංක අයියා මාව බැන්දට පස්සෙ අම්මට එයාව පුතෙක් වුණා. තිවංක අයියා තාත්තෙක් වගේ මාවත් බලාගත්තා. ඇත්තටම තරු, ඔයාගෙ අයියා හරිම හොඳ මිනිහෙක්. ඔයා වගේම හරිම හොඳ කෙනෙක් තරු. අපේ අම්මත් ඒ බව හොඳින්ම දැනගෙන හිටියා.

අම්මා ඇස්දෙක පියාගන්න දවස කිට්ටු වෙනකම්ම වගේ දවසට එකපාරක් හරි ඔයාව මතක් කළා තරු. තරුෂිට කතාකරන්න පුතේ, ආපහු ඔය දෙන්න යාළුවෙන්න පුතේ, දාස් පෙතිය මල් පාත්තිය මැද බංකුව උඩ ඉඳන් ඉස්සර වගේ දෙන්නත් එක්ක හිනාවෙන්න පුතේ කියල එයා හැමවෙලේම වගේ කිව්වා.
මම දන්නෙ නැහැ අපේ අම්මට කොහොම එහෙම මුණිවරකමක් ආවද කියල. මම ගාව නැති දහස් ගුණයක් හොඳ ගති අම්මා ගාව තිබ්බා. සමහරවිට භීෂණ කාලෙ අතුරුදන් වෙච්ච තාත්තගෙ ආදරේ අම්ම ඇතුළෙ ශේෂ වෙන්න ඇත්තෙ ඒ විදිහට වෙන්නැති.

ඉතින් තරු, මට ඔයාට කියන්න දෙයක් තියෙනව. මට සමාවෙන්න. ඔයාට අයිති වස්තුව ඔයාගෙන් උදුරගන්න හැදුවට මට සමාවෙන්න.

දැන් මගේ හිතේ සංදේශ් කෙනෙක් නැහැ. මගේ මුළුමහත් ආදරේ මම තිවංක අයියට දීලා ඉවරයි. මට උපදින දරුවා අයිති අයිති සංදේශ්ට නෙමෙයි. තිවංකට. මේ දරුවගෙ ජීව විද්‍යාත්මක තාත්තා කවුද කියල අපි හතරදෙනා හැර කවුරුවත් කවදාවත් දැනගන්න අවශ්‍ය නැහැ. මාත් තිවංක අයියත් අතේ සතේ නැතත් හිතේ සතුටෙන් ඉන්නවා. ඒත් එයා, මමයි මේ බඩේ ඉන්න දරුවයි වෙනුවෙන් පුදුම තරම් මහන්සි වෙනව. ඔයත් සන්දේශුත් ඒ වගේ ඉන්නවනම් මට ඒ ඇති. ඔයා ටිකක් අසනීප වුණා කියල මට ආරංචි වුණා. ඔයා ඉක්මනට සනීප වෙන්න. සංදේශ් එක්ක හොඳින් ඉන්න.

මටත් දැන් තනියම වැඩකරගන්න අමාරුයි. අම්මා නැති අඩුව මට දැනෙනවා. දරු පැටියා හම්බවෙන්න දැන් ළඟයි. අපේ අම්මා කොච්චර ආසාවෙන්ද හිටියේ මගේ දරුවව බලන්න. ඊට කළින් එයාට යන්න සිද්ද වුණා. ජීවිතේ එහෙම තමයි තරු. අනේ ඔයාවත් ළඟ හිටියනම් මේ වෙලාවේ මට චුට්ටක් අඬන්න තිබ්බා. මම තිවංක අයියා ඉස්සරහ අඬන්නෙ නැහැ තරු. ඒ මනුස්සය මහපොළොවක බරක් දරාගෙන ඉන්නකොට මගේ වේදනා මම එයාට දෙන එක හොඳ නැහැ නේද ?

පුළුවන් නම් මේ ඊ මේල් එකට රිප්ලයි එකක් එවන්න තරු. හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න කළින් ඔයා මට අකුරක් හරි ලියල එව්වොත් මට ඒක ශක්තියක් වෙයි. එක අතකට කවුද දන්නෙ මට මොනවහරි වෙයිද කියල. මම මැරුණොත් ඔයා එවන උත්තරේ මට සැනසීමක් වෙයි නේද ? ඒක නෙමෙයි තරු, ඔයා දන්නවද ? අපට හම්බවෙන්නෙ දුවෙක්. මම දැනටමත් එයාට නමක් දාල ඉවරයි. මට ඒක ඔයාට කියන්න ඕන. දුවගෙ නම සාරා. බැරිවෙලාවත් විහංගා ප්‍රභාෂ්වරී සේනාරත්න ජීවත් නොවුණත්, සාරා වික්‍රමසූරිය බලන්න තරු නැන්දා එන්න ඕන හරිද ?

ආදරෙයි.

මේ ඔයාගේ

විහා කෙල්ල.  

84349278 1061211344225200 8849329373770153984 n
තරුෂිවික්ඇට්ජීමේල්ඩොට්කොම් කියන ඊ ලිපිනයට මේ ලියමන පා කරලා යවන්න කළින්, විහංගා ප්‍රභාෂ්වරී සේනාරත්න, ඒක එහෙම යවන එක හරිද වැරදිද කියල එක්දහස් එක්වෙනි වතාවටත් කල්පනා කරලා බැලුවා. තීරණයක් ගන්න බැරුව විහංගා තාවර වෙවී ඉන්නකොට, කුස තුළ ඉන්න සාරා, සිඟිති යටි පතුළෙන් හෙමින් ඇනල කිව්වා, ``ඊ මේල් එක යවන්න අම්මෙ`` කියල. වම් අතේ ඇඟිලි තුඩු කුස මතින් තියල ඒ සොඳුරු ආඥාව පිළිගත්ත විහංගා, දකුණතේ දබරැඟිල්ලෙන්, කාලෙකට කළින් දබර වෙලා ගිය ප්‍රාණ සම මිතුරියගේ ඊ මේල් ලිපිනයට ලියුම යා වෙන විදිහට, නිල් පාට සෙන්ඩ් කොටුවට බර දුන්නා.  

ඊළඟ තත්පර දෙක තුන ගෙවුණේ මේ විශ්වයෙන් එපිට විශ්වයක ඔරලෝසුවක අණසකට යටත්ව වගේ. ඒ හීන තත්පර ඉක්මනින් ගෙවා දැම්ම විහංගා, ඇඳෙන් බැස්සේ, කෝපි එකක් බොන්න ඕන කියල හිතාගෙන. කෝපි එක හදාගෙන ඉස්තෝප්පුවට එනකොට අම්මයි තාත්තයි විහංගා දිහා බලාගෙන හිටියා. රාමු කරපු පින්තූර ඇතුළට ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට යන්න පුළුවන් නම්, විහංගා ඒ දෙන්නව දිවා රෑ සිපගන්නවා. මේ ඉස්තෝප්පුව විහංගා ඉස්සර හිටපු කිරිබත්ගොඩ ගෙදර ඉස්තෝප්පුව තරම් ලොකු එකක් නෙමෙයි. මේ මිදුලේ දාස්පෙතිය මල් නැහැ. පරණ ක්‍රෝටන් ගස් දෙකතුනක් එලොවටත් නැති මෙලොවටත් නැති හැඟීමකින් ඉර අව්වට පිට දීගෙන හිටියෙ, ඒ අව්වට පත්‍ර ලස්සන වෙයි කියල යටි හිතින් හිතාගෙන වගේ.

කිරිබත්ගොඩ ගෙදරින් නුගේගොඩ ඇඹුල්දෙණියේ ඇනෙක්ස් එකකට එන්න විහංගයි තිවංකයි තීරණය කෙරුවේ, අම්මට බේත් හේත් ගන්න මහරගම අපේක්ෂා රෝහලට යන්න කිට්ටු නිසා ම නෙමෙයි. කිරිබත්ගොඩ ගෙදර අයිතිය තිබ්බේ විහංගගේ නැන්දා කෙනෙකුට. කුහකකම පිළිකා සෛලවලට වඩා විසකුරුයි. ``තිවංක සල්ලිකාරයෙක්ගෙ පුතෙක් නිසා, දැන් මොනවටද මේ පරණ ගෙවල්`` කියලයි ඒ නැන්දා කතාව පටන් ගත්තේ. ``අවුරුදු ගාණක් කුලියක් ගෙවන්නෙ නැතුව හිටියනේ.. දැන් ඉතින් අපටත් මේවා නිදහස් කරගන්න ඕනේ`` කියල ඒ කතාව අවසන් වුණා. විහංගාවත් අම්මවත් විහංගාගේ තාත්තගේ ඉඩකඩම් උරුමය වෙනුවෙන් සටන් කරන්න ගියේ නැහැ. ``පස් ගොඩක් වෙනුවෙන් අරගල කරලා වැඩක් නැහැ`` තාත්තා හිටියනම් එහෙම කියාවි.

තිවංකගේ තාත්තා තිවංකව ගෙදරින් පිටුවහල් කරන්න කළින් තිවංක ගෙදරින් එළියට බැස්සා. ``තමන්ගෙ නංගිගෙ මිනිහගෙ ඇඟේ එල්ලෙන්න ගිය එෆ් එම් හිඟන්නියෙක්ව කරේ එල්ලගන්න උඹට ලැජ්ජ නැද්ද`` කියල තිවංකගේ තාත්තා ඇහුවේ ටෙලිෆෝන් එකෙන්. ``නෑ`` කියල තනි වචනෙන් උත්තර දීපු තිවංක ෆෝන් එක තිබ්බා. තාත්තා තිවංකව එයාගේ පවුලෙන් පැත්තකට කරලා තිබ්බා. දේශපාලන විද්‍යාවට එරෙහිව ආර්ථික විද්‍යාව හිටගත්තා. තිවංක පක්ෂෙත් එක්ක ප්‍රශ්නය සාකච්ඡා කෙරුවා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට පූර්ණකාලීන දේශපාලන ක්‍රියාධරයා අර්ධකාලීන ක්‍රියාධරයෙක් බවට පත්වුණා. තමන්ගේ ප්‍රශ්නය තමන් ම විසඳගන්න ඕන කියල තිවංක කල්පනා කෙරුවා. තිවංක, පුංචි පුංචි රස්සාවල් ගොඩක් කරන්න පටන් ගන්නකොට, විහංගා සඳු එෆ් එම් එකට සමු දුන්නා.

කෝපි එක ඉවර වුණා.

අහල පහළ ගෙදරක මොකක්දෝ රේඩියෝ නාලිකාවක් ඇහෙනවා. කෝපි මන්ඩි අතරින් තවත් උගුරක් හොයාගන්න විහංගා උත්සාහ කරමින් හිටියා. සිඟිති යටි පතුළෙන් ආයෙමත් ආඥාවක් නිකුත් වුණා. ``දැන් ටිකක් ඇලවෙන්න අම්මෙ.`` රාමුකරපු ෆොටෝ දෙක පහුකරගෙන ආපහු යනකොට, ``දැන් ටිකක් ඇලවෙන්න පුතේ`` කියල අම්මා ඇස්වලින් කිව්වා. හුස්ම ගැනීම නතර කරපු අම්මා කෙනෙකුයි හුස්ම ගන්න පටන් ගත්තෙවත් නැති දුවෙකුයි එක ම දේ කියන අතරේ, තවමත් හුස්ම ගන්න ගැබ්බර ගැහැණිය, ඒ සියලු ප්‍රකාශවලට කීකරු වෙමින් සිටියා. විහංගා ඇඳට වැටුණා.

මම අර විදිහේ ඊ මේල් එකක් තරුෂිට යවපු එක හරිද ? අසනීපෙන් ඉන්න තරුෂිගේ හිත තවත් රිදෙන වැඩක්ද මම ඒ කෙරුවේ. මම ආයෙමත් සැරයක් සංදේශ් එක්ක පැටලෙන්න පොටක් පාදගන්න හදනවා කියල තරුෂි හිතයිද ? එයාට දරුවව බලන්න එන්න කියල මම කිව්වේ, මට සංදේශ්ව බලන්න තියෙන උවමනාවට කියල එයා හිතයිද ? නැහැ. එහෙම හිතන එකක් නැහැ. මට සංදේශ්ව දෑහින් දකින්න කිසිම උවමනාවක් නැහැ. ඔව්, කිසිම උවමනාවක් නැහැ. ඒත් තරුෂි මේක සංදේශ්ට කියයි. මම මොකද්ද මේ කෙරුවේ..? යාන්තම් ලෙහීගෙන ලෙහීගෙන යන නූල් බෝලයක් ආපහු සැරයක් පටලැවිච්ච එක නෙමෙයිද මේ වුණේ.. අපරාදේ මම ඒ ඊ මේල් එක දැම්මේ. ඒක අමතක කරලා දාන්න තරු, ඔයා ආයෙමත් මාව බලන්නවත් දරුවා බලන්නවත් එන්න අවශ්‍ය නැහැ කියල තව ඊ මේල් එකක් යැවුවනම් හරි. එපා එපා මෝඩ විහංගා, උඹ මොකද්ද ඔය කරන්න හදන්නෙ? උඹ පැටලෙන පඹ ගාලේ අනෙක් හැමදෙනාවම පටලවන්න එපා මෝඩියේ.

නින්දත් නොනින්දත් අතර විහංගා, විහංගා එක්ක ම සිතුවිලි හප්ප හප්ප ඇස් පියාගෙන ඔට්ටු වුණා. විනාඩියක් හෝ දෙකක් ඈට නින්ද යන්න ඇති. විහංගා හීනෙන් බයවෙලා වගේ එකපාරට නැගිට්ටා. ඔව්, මම කියනව එයාට මේ පැත්ත පළාතේ එන්න එපා කියල. එහෙම හිතාගෙන විහංගා ඊ මේල් ඕපන් කෙරුව.

ඔහ්හ්.. දැන් පරක්කු වැඩියි. තරුෂි උත්තරයක් එවලා. මොනවද එයා මේ කියල තියෙන්නෙ ?


විමල් කැටිපෙආරච්චි ලියයි
සිතුවම් - අරවින්ද සේනාධීර

මතු සම්බන්ධයි

| ලංකා පුවත්පතේ `ආදරය` අතිරේකයෙන් උපුටා ගන්නා ලදී |