නිදි නැති රැයක ලියැවුණු ග්‍රැෆෝන් ගීතය ‘නමෝ නමෝ මාතා’ !

නිදි නැති රැයක ලියැවුණු ග්‍රැෆෝන් ගීතය ‘නමෝ නමෝ මාතා’ !

අපේ ජාතික ගීය ගැන නිතර කතා කරන මේ ජාතික ගීයට සම්බන්ධ සැඟව ඇති තොරතුරු කිහිපයක් ලිවීමට සිත් විය. දැනට භාවිත වන ජාතික ගීය මුලින්ම 1946 දී ආනන්ද සමරකෝන් විසින් රචනා කොට තනුව යොදා සංගීතය නිර්මාණය කොට ‘නමෝ නමෝ මාතා’ නමින් H.M.V ග්‍රැෆෝන් ගීතයක් ලෙස තැටි ගත කොට තිබුණි. මේ ගීතය ඇතුළු සමරකෝන් ලියූ සෙසු ගීත සහිත ‘කුමුදිනි’ නම් ගීත පොත් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළේ මරදානේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන විසිනි.

එසේ වුවද ආනන්ද සමරකෝන් 1940 ඔක්තෝබර් 20 වැනිදා නිදි නැති රැයක ලියූ බවත් එවකට ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ගුරුවරයකුව සිටි ඔහු තම ශිෂ්‍යයන්ට ඉගැන්වූ බවත් එදා එම පන්තියේ ඉගෙනුම ලැබු ශිෂ්‍යයකු වූ කල්‍යාණ ද සිල්වා මහතා මාධ්‍යවේදී මිහිරි ෆොන්සේකාට කී කතාව ලක්බිම ඉරිදා සංග්‍රහයේ (2006 පෙබරවාරි 05) ලියා තිබුණි. එහි මෙසේද සඳහන් වී තිබුණි.

“ඉස්කෝලේ පියානෝව තිබුණේ ඕල්කට් ශාලාවේය. ඒ නිසා අපි සංගීතය ඉගෙන ගන්න ඕල්කට් ශාලාවට එනවා. එදා අපට සංගීතය උගන්වන්න ආරිය සිංහල ඇඳුම ඇඳගත් මහත්තයෙක් ආවා. ඒත් මා දැනගෙන හිටියේ නැහැ ඔහු ආනන්ද සමරකෝන් මහත්තයා කියලා. අපේ සංගීත ගුරුතුමා කළු ලෑල්ලේ ‘නමෝ නමෝ මාතා’ යන ගීතය ලිව්වා. මම මගේ ඇක්සයිස් පොතේ වම් පැත්තේ එදා දිනය සටහන් කර ගෙන කළු ලෑල්ලේ තිබුණ ගීතය ගායනා කෙරෙව්වා.”

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මැල් විසින් ලියූ ‘මහින්දෙ තමයි ඉස්කෝලේ’ කෘතියේ එදා ජාතික ගීතය ලියා ගත් කල්‍යාණ ද සිල්වාගේ ඇක්සයිස් පොතේ ඡායාරූපයක් හා ඔහුගේ ඡායාරූපයක් ද පළ කර තිබූ අතර ගාල්ලේ මහින්දයේ එදා ජාතික ගීය මුලින්ම ගැයූ ස්ථානයේ සවිකර තිබූ පුවරුවේ ඡායාරූපයක්ද ඇතුළත් කර තිබුණි.

ඒ පුවරුවේ මෙසේ සටහන් වී තිබුණි.

‘ආනන්ද සමරකෝන් මෙම විදුහලේ චිත්‍ර ශිල්පය සහ සංගීතය පිළිබඳ ආචාර්යවරයා වශයෙන් සේවය කළ කල්හි (1938-1942) පුංචි සුදා, එන්නද මැණිකේ, පොඩි මල් එතනෝ ආදී ගීත ද ශ්‍රී ලංකා ජාතික ගීයද (1940 නොවැම්බර්) ප්‍රබන්ධය කොට මුලින්ම මෙහි සිසුන් ලවා ගායනය කරවන ලදී.

ආනන්ද සමරකෝන් ජාතික ගීතයේ උපත ගැන 1951 නොවැම්බර් 25 වැනිදා ඉරිදා ලංකාදීප පත්‍රයට ලියූ ලිපියේ මෙසේ සඳහන් වී තිබුණි. ඔහු ඉන්දියාවේ සිට ලංකාවට පෙරළා පැමිණි දිනය ගැනය ඒ.

“සමනළ අඩවියෙන් පටන් ගෙන නිල්වන් වන පෙත් මැදින් සුදෝසුදු වැලිතලා පිට බස්නා ගංගා, සදහටම නිල්ල ගැහී තිබෙන ගස්වල පිපී මල් පොකුරු ඈ සෞන්දර්යය ගැන පමණක් නොව දිවයිනේ සභ්‍යත්වයත් සංස්කෘතියත් පිළිබඳ මා දන්නා හැම දෙයක්ම පෙර නොවූ විරූ අන්දමට මගේ සිතයට නැගුණේ ඉන්දියාවේ හාපුරා කියා සැරි සැරූ දිනයේදීය. ඉන්දියාවෙන් මේ රටට පා තැබූ හැටියේ පටන්ම මගේ හදවතින් බුර බුරා නැග අර හැඟීම නිසා මට කිසි සැනසිල්ලක් නොවී ස්වදේශානුරාගික හැඟීමෙන් මහජනයා පුබුදු කළ හැකි සමූහ ගීතයක අඩුපාඩුවද මගේ හිතේ තදින් බල පැවැත්වූවෙකි.

1940 ඔක්තෝබර් 20 වැනිදා සවස ගෙදර ගියෙමි. මගේ දිවයින පිළිබඳ ඇතිවූ උදාර සිතිවිලි හා සෞන්දර්ය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාත්‍රී දහයේ පමණ සිට පහන් නිවා කළුවරේම කල්පනා කළෙමි. ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවක් එයට සරිලන පද මාලාවක් සමග මේ ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විණි. පසුදා උදයේ එය ලිවීමි. මේ ජාතික ගීය ලියැවුණු හැටිය.”

සමරකෝන් හොඳටම පිස්සෙකු වූයේ පනහ දසකගේ මුල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ටී.ඩී. ජයසූරිය මහතාද දේශානුරාගය දනවන ගීතයක අවශ්‍යතාව තමාට කියූ දිනයේලු. 1951 නොවැම්බර් 24 වැනිදා අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතා විසින් ‘දිනමිණ’ පත්‍රයට කරනු ලැබූ ප්‍රකාශයක් එහි මුල් පිටුවේ පළවී තිබූ අතර ඉන් කියා සිටියේ ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීතය ලෙස කැබිනට් මණ්ඩලය අනුමත කළ බවය.

මේ පුවත එදා වාර්තා කළේ විශේෂ වාර්තාකාරිනියකි. ඇය හේමා වික්‍රමාරච්චි මෙනෙවියයි. 1949 ලේක් හවුස්හි දිනමිණ කර්තෘ මණ්ඩලයට බැඳුණු එඞ්වින් ආරියදාස මහතා (පසුව කලාකීර්ති හා ආචාර්ය) අපට පැවැසුවේ හේමා වික්‍රමාරච්චි මෙනෙවිය ආධුනික වාර්තාකාරිනියක ලෙස බැඳුණු අලුත ලියූ අපූරු ප්‍රවෘත්තිය එය බවය. පසුව දිනමිණ කර්තෘ මණ්ඩලයේ සිටි එකම කාන්තාව වූ ඇය ප්‍රේමකුමාරගේ ‘සැලළිහිණිය’ මුද්‍රා නාට්‍යයේ රඟපෑ ගායනයට හා චිත්‍ර ශිල්පයටත් බතික් කලාවටත් කුසලතා දැක්වූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් මා සමග පැවැසීය.

හේමා වික්‍රමාරච්චි එදා ආනන්ද සමරකෝන් හමුවී මෙසේ පවසා තිබුණාය.

“ඔබේ මේ ගීතය ලංකාවේ ජාතික ගීය ලෙස පිළිගෙන තිබෙනවා.”

“හැබෑවටම මම දන්නේ නැහැ”

සමරකෝන් එසේ පවසා ඇත්තේ ආඩම්බරයෙන් තොර නිහතමානී සිනාවකින් යුතුව බව වාර්තාකාරිනිය පවසා තිබුණි.

“ඔබ මේ ගීතය ගැන හිතන්නේ කුමක්ද?” ඇගේ දෙවන පැනයට පිළිතුරු දෙමින්.

“මේ ගීතය ජනකවියෙහි ඌරුවට පබැඳුණ ගීතයක්. මේ ගීතය මම මුලින්ම ගායනා කොට පෙන්නුවේ අපේ ගත්කතුවරයක වූ මාර්ටින් වික්‍රමසිංහ මහතාට”
වාර්තාකාරිනියගේ ඉල්ලීම අනුව සමරකෝනුත් මධුර ස්වරයකින් ජනකවියෙහි ඌරුවට සරල ගීතයක් ගායනා කර ඇත.

මේ තොරතුරු ආනන්ද තිස්ස ද අල්විස් විසින් පනහ දශකයේ සංස්කරණය කළ ‘දිනෙන් දින’ (පසුව එය ‘දින දින’ නමින් වෙනස් විය) සඟරාවේ පළවී ඇත. ආනන්ද තිස්ස මහතා සමරකෝනුන්ගේ ශිෂ්‍යයෙක්. තමා ඔහු හඳුනාගත්තේ 1933 වසරේදී බවත් සංස්කාරකවරයා පවසා තිබුණි. ඔහු තම ගුරුවරයා ගැන මෙසේ හැඳින්වීමක් කරයි.

“ආනන්ද සමරකෝන් අද ලක්දිව සිටින නිර්මාණ ශක්තියෙන් යුතු විචක්ෂණ කලාවේදියෙකි. එමෙන්ම මරණින් මතු අවුරුදු ගණනාවක් ගතවනතුරුම ඔහුගේ සුවඳබර නාමයද නොනැසී පවතිනු ඇත.”

(‘දිනෙන් දින’ - 1952 අගෝස්තු 01)
“මම සමරකෝන් සමග වයලීනය වාදනය කිරීමට පුරුදුවී සිටියෙමි. තව ද මගේ පියා ද වයලීනය වාදනය කළ අතර අපි තිදෙනාම පැරණි සින්දු කීමට පුරුදු වී සිටියෙමු.

මමත් සමරකෝන් සමග සංගීතය ඉගෙන ගැනීමට තාගෝර්තුමා පා සෙවනේ ශාන්ති නිකේතනයට යාමට සිතුවෙමි. අවසානයේ ඔහු පමණක් එහි ගියේය. ඔහු යන්ට සූදානම් වෙද්දී නව ප්‍රගතියට ආධාර දීමේ ශක්තිය ඇති ඔහුගේම ශිෂ්‍යාවක් සමග ඔහු විවාහ වූයේය. ඔහුගේ මංගල්‍යයේදී මම ද සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් කළෙමි.”

පසුව මේ යුවළ ඉන්දියාවේ සිට පැමිණ ගුවන් විදුලියේ දීප්තිමත් ගායක යුවළක් වූ අතර ඔවුන්ගේ ආභාසය ලබා ආනන්ද තිස්ස ද අල්විස් ද ගම්බද ගී (ජනගී) ගායනා කරමින් ඔවුන්ට එක්ව සිටියේ ආනන්දයේ ශිෂ්‍යයෙකු ලෙස උගනිද්දීය.

සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා’ ගීතය ලංකාවේ ජාතික ගීය ලෙස තෝරා ගැනීමේ නිශ්ශබ්ද වීරයා ආනන්ද තිස්ස ද අල්විස් බව අනුමාන කළ හැකිය. 1950 වසරේ මුදල් අමාත්‍යව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම සමීපතම ගෝලයා වූ ඔහුගේ සාහිත්‍යය හා කලා දැනුම හැම විට පිළිගත් නිසා ‘නමෝ නමෝ මාතා’ ගීතය ලංකාවේ ජාතික ගීතය ලෙස පිළිගැනීමට අනුබලයක් ලැබෙන්නට ඇති. ආනන්දලා දෙදෙනාම ගජ මිතුරන් වීම නිසා ආනන්ද සමරකෝන් එක්සත් ජාතික පක්ෂයේ කාව්‍යක්කාරයා වී ඇත.

නමෝ නමෝ මාතා
නමෝ නමෝ මාතා - අප ශ්‍රී ලංකා - නමෝ නමෝ මාතා
සුන්දර සිරි බරිනි සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්ති පූජා නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා - ඔබමය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති - අප හද තුළ භක්ති
ඔබ අප ආලෝකේ - අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ - අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවකගෙ දරු කැළ බැවිනා යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා - නමෝ නමෝ මාතා

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියන ලද ‘ආනන්ද සමරකෝන් අධ්‍යයනය’ නම් ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට ජාතික ගීයෙහි රචකයාට ගරු කිරීමක් වශයෙන් රු. 2500 ක ප්‍රදානයක් කිරීමට රජය තීරණය කළ අතර සමරකෝන් ඒ වන විට ‘සැඩසුළං’ චිත්‍රපටයේ ගීත රචනය කිරීමට ඉන්දියාවට ගොස් තිබුණි. 1953 පෙබරවාරි 15 වැනිදා සමරකෝන් ඉන්දියාවේ සිට එවූ ලිපියක් ඉදිරිපත් කරමින් ඔහුගේ දෙවන බිරිය කැරලයින් ද සිල්වා ඒ මුදල ලබා ගැනීමට උත්සාහ කළත් ජාතික ගීය හා සමරකෝන්ගේ සෙසු ගීතවල පද රචනා සහිත ‘කුමුදිනි’ පොත ප්‍රකාශයට පත් කළ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන එම මුදලට අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම නිසා ඇටර්නි ජනරාල්වරයා එම අයිතිවාසිකම ප්‍රකාශකයාට පවරා ඇත.

ජාතික ගීය ගැන 1956 සිටම විවිධ අදහස් මතුව ඇති බව පවසන සුනිල් ආරියරත්න ‘නමෝ නමෝ මාතා’ යන පදයෙහි සමාරම්භක අකුර එනම් න යන්න අපායක්ෂරයක් බව සහ ආරම්භක ගණය අනිෂ්ට ගණයකින් බව ජාතික ගීතයට එල්ල වූ ප්‍රධාන චෝදනා බවත්, පුරාණ කාව්‍ය නීති රීති අනුව එය සත්‍යයක් බවත් පවසා ඇත. 1960 පෙබරවාරි මාසයේ සිට ජාතික ගීයේ නමෝ නමෝ මාතා නම් මුල් පදය වෙනස් කොට ශ්‍රී ලංකා මාතා යනුවෙන් එක්කොට ඇත. මෙය සමරකෝන්ගේ අභිමතයෙන් තොරව කරන ලද්දක් බවද මහාචාර්ය ආරියරත්න කියා ඇත.

1962 අප්‍රේල් 02 වැනිදා සමරකෝන් නිදි පෙති 25ත් 30ත් අතර ප්‍රමාණයක් ගෙන සියදිවි නසා ගත් අතර ඔහු මිය යාමට මසකට කලින් මාර්තු 03 වැනිදා විපක්ෂ නායක ඩඞ්ලි සේනානායක මහතාට ලිපියක් ලියා තමා විසින් ලියන ලද ජාතික ගීයේ මුල් පදය වෙනස් කිරීම එහි ගෙල සිඳීමක් බව සඳහන් කර තිබුණි.

ජාතික ගීය ලියූ එගොඩහගේ ජෝර්ජ් විල්ප්‍රඞ් අල්විස් සමරකෝන් නොහොත් ආනන්ද සමරකෝන් 1911 ජනවාරි 11 ඉපිද 1962 දී මිය ගියේය.

පළමුවරට ලංකාවේ ජාතික ගීය වශයෙන් කෙරුණු ප්‍රබන්ධයේ රචකයා කවියකු, ලේඛකයකු, සංගීතඥයකු, විද්වතකු, අක්ෂි වෛද්‍යවරයකුව සිටි ගම්පොළ පී.බී. ඉලංගසිංහ නොතාරිස් රාළහාමිය. 1948 ජනවාරි 31 වැනිදා ලංකා ගාන්ධර්ව සභාව සංවිධාන කළ ලංකාවේ ජාතික ගී තරගයෙන් ජයග්‍රහණය කර ඇත්තේ ඉලංගසිංහ නොතාරිස් රාළහාමිය. එම ගීතය 1948 පෙබරවාරි 01 වැනිදා ජාතික ගීය වශයෙන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වී ඇත්තේ ඉලංගසිංහයන් රචනා කළ සංගීත විශාරද ලයනල් එදිරිසිංහයන් සංගීතය නිර්මාණය කළ ගීතය බව 1981 ජුනි 23 වැනිදා (Ceylon Daily News) පත්‍රයේ පළවී තිබුණි.

ඉලංගසිංහ නොතාරිස් රාළහාමි ලියූ ලංකා ජාතික ගීතය මෙසේය. මෙහි රාගය භූපාලිය. තාලය ත්‍රිතාල්ය.

‘ශ්‍රී ලංකා මාතා පාලා මහිමා ජය ජය

සිහිලස ජලධාරා - ගිරි පෙළ තුරුලිය මන හාරා’

ඒ ගීතයේ කොටසකි.

පළමු වරට ලංකාවේ ජාතික ගීය වශයෙන් තේරුණු මේ ගීතයේ රචනය දෙමළට පරිවර්තනය කරන්නට අවශ්‍ය වූ අවස්ථාවේදී සංස්කෘත මිස සිංහල නොදත් දෙමළ පරිවර්තකයාට ස්වකීය ගීතය විනාඩි දහයක් තුළදී සංස්කෘත බසට පරිවර්තනය කර දීමට ඉලංගසිංහ රාළහාමි නම් සංස්කෘත විශාරදයා සමත් වූ බව 1956 ජනවාරි 22 ‘ඉරිදා ලංකාදීපයට’ ලිපියක් ලියූ ධර්ම ශ්‍රී කුරුප්පු මාධ්‍යවේදියා ලියා තිබුණි.

1956 වන විටත් ලංකා පාබල හමුදාව විසින් භාවිත කර තිබුණේ මේ ජාතික ගීය බව කුරුප්පු මහතා කියා ඇත.

ජාතික ගීත තරගය සංවිධානය කළ ලංකා ගාන්ධර්ව සභාවේම සාමාජිකයන් දෙදෙනෙකු වූ ඉලංගසිංහ - එදිරිසිංහ නිර්මාණයට මහජන උද්ඝෝෂණ පැවැති බැවින් එය නතර කොට 1949 පෙබරවාරි 04 වෙනිදා සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය වශයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයීය ගායිකා කණ්ඩායමක් ගැයූ බව මහාචාර්ය ආරියරත්න පවසා ඇත.

ගම්පොළ පී.බී. ඉලංගසිංහ (පුංචි බණ්ඩාර ඉලංගසිංහ) නොතාරිස් රාළහාමි ඉරිදා ලංකාදීප පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ පී.බී. ඉලංගසිංහගේ හා අනුරාධපුර හිටපු මහ දිසාපති ගංගා ප්‍රසාද් ඉලංගසිංහගේ පියාය.

| ඒ. ඩී. රන්ජිත් කුමාර | ලංකාදීප |