70 වෙනි ලෝක රූ රැජින තරගාවලිය පසුගියදා නිමාවට පත්වුණා. 2021 වසරට නියමිත රූ රැජින තේරීමේ අවසන් තරගය ලොවපුරා පැවති කොවිඩ් තත්ත්වය හේතුවෙන් කල් දමන්නට සංවිධායකයින්ට සිදුවුණා. මෙවර අවසන් මහා උළෙල පැවැත්වුණේ Puerto Rico හි සුන්දර San Juan නගරයේයි.
Miss World ලොව පැරණිතම රූ රැජින තරගයයි. මෙවර එහි කිරුළ හිමිකර ගත්තේ පෝලන්තයේ Karolina Bielawska යි. වයස අවුරුදු 22 ක් වන ඇය සිය නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතරම සිය උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙමින් සිටිනවා.
දෙවන ස්ථානය USA හි Shree Saini ත් තෙවන ස්ථානය Cote d'Ivoire හි Olivia Yace ත් හිමිකර ගත්තා.
කොවිඩ් තත්ත්වය හේතුවෙන් 2020 වසරේ ලෝක රූ රැජින තරගය අවලංගු වූ අතර එම නිසා පසුගිය ලෝක රූ රැජින වන ජැමයිකාවේ Toni-Ann Singh ලෝක රූ රැජින ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රූ කිරුළ දැරූ රූ රැජින ලෙස වාර්තාගත වනවා. ඇය 2019 වසරේ කිරුළට හිමිකම් කියනු ලැබුවා.
එසේම ලෝක රූ රැජින ඉතිහාසයේ ප්‍රථමවරට තරගකාරිනියක් හිජාබයෙන් තරගයට සහභාගී වුණා. ඒ සෝමාලියාවේ Khadija Omar තරගකාරිනියයි. ඇය පළමු 40 දෙනා අතරට තේරී පත්වුණා.
මෙවර රූ රැජින උළෙලේදී ලෝක සාමය වෙනුවෙන් ඉඩ වෙන්වී තිබුණා. යුක්රේනයට සාමය පතා ඉටිපන්දම් දැල්වීමත් තරගකාරිනියන් විසින් Andrea Bocelli ගේ The Prayer ගායනා කිරීමත් එහිදී සිදුවුණා. 2016 Miss world Ukraine වූ Oleksandra Kucherenko ගේ වීඩියෝ පණිවිඩයක්ද එම උළෙලේදී ප්‍රචාරය කරනු ලැබුවා.
ආදරයත් සුන්දරත්වයත් සාමයත් එකම වේදිකාවක සටහන් කරමින් එලෙස මෙවර ලෝක රූ රැජින උළෙල නිමාවට පත්වුණා.