මිහිර සැඟවුණ නිම්නයක සිට ඔබේ විත මම පුරවමි !

මිහිර සැඟවුණ නිම්නයක සිට ඔබේ විත මම පුරවමි !

අපේ රටේ ලියන - කියවන අවකාශය කියන්නෙ මේ මොහොතෙ පරිපූර්ණ වශයෙන් අර්බුදයට ගිය කලාපයක්. එහෙම කියන කොට ම කෙනෙක් ක්‍ෂණිකව පෙරළා අහන්න පුළුවන් 'ඇයි ඒ කලාපය විතරද, අනෙක් හැමදේම හරියට සිද්ධ වෙනවද?' කියල. ඇත්ත! ලංකාවෙ අර්බුදයට ගිය බහුතරයක් තැන්, දේවල් සහ පුද්ගලයො අතරෙ කලා - සාහිත්‍යය අවකාශය කියන්නෙත් 'මල් පොකුරක' එකක්. මේ ලියන මමත් කියවන ඔබත් සෘජුව හෝ වක්‍රව ඒකෙ හවුල්කාරයන්. 

(මේ ලියන මොහොත වන විට) ශක්තික සත්කුමාර අසාධාරණ ලෙස සිරගත කරල මාස තුනක් ඉක්මවා ගිහින්. ඒ අතරෙ තවත් ජනමාධ්‍යවේදීන් සහ ලේඛකයන් වටා සූක්ෂ්ම විදියට ආගමික සංස්ථාවෙත් තක්කඩි බල අධිකාරිත්වයෙත් දැල වියන්න පටං අරං වග පෙනෙන්න තියෙනව. ප්‍රකාශනයෙ නිදහස අප්‍රකාශිත වරදක් බවට පෙරළමින් නැඟෙන සාදුවර සහ සාන්තුවර බස් බොහොමයි.

එහෙව් රටක, මෙහෙව් පසුබිමක ලියනවා කියන ඒක සෑහෙන්න තරමක අභියෝගයක්. විශේෂයෙන් අධිපතිවාදී මතවාදවලට යටත් නොවී තමන් නිවැරදියි සහ සාධාරණයි කියල විශ්වාස කරන මතවාද වෙනුවෙන් පෙනී සිටිමින් ලිවීම ඇත්තට ම අභියෝගයක්. ඉඩක් ලැබෙන තැන් ගොඩක් අඩු වුණත් එහෙම අපේක්‍ෂා සුං නොකරගත් සුළුතරමය මැදිහත්වීම් පවා මේ මොහොතෙ අනාගතය පිළිබඳ සුබදායි බලාපොරොත්තුවෙ සිහින දල්වනව. මේ කෙටි සටහන අන්න එහෙම 'සුළු' කාව්‍යමය මැදිහත් වීමක් ගැන.

'මිහිර සැඟවුණ නිම්නයක සිට' කියන්නෙ වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි කවියාගෙ දෙවන කාව්‍යමය ප්‍රයත්නය. 2016 අවුරුද්දෙදි අපි අතට පත්වුණ 'මට ඔබ ව දැනෙන තැන' කවි එකතුව තමයි ඔහුගෙ පළමු කාව්‍යමය උත්සාහය. පොත් දෙක අතර සාහිත්‍යමය අභ්‍යාස කාලය ආසන්න වශයෙන් අවුරුදු තුනක්. අපේ පළමු වන නිරීක්ෂණය ඒ තෙවසරක අභ්‍යාස කාලය ඇතුළත වසන්ත 'මට ඔබ ව දැනෙන තැන' ඉඳන් සැලකිව යුතු පියවර කීපයක් ඉදිරියට ඇවිත් තියෙනව. vasa 2

ඒ පියවර කීපය ඇතුළෙ ඔහුගෙ කාව්‍යාත්මක භාවිතය පමණක් නෙවෙයි සමාජ - දේශපාලන - සංස්කෘතික දෘෂ්ටිවාදය පවා සෑහෙන්න මුවහත් වෙලා වග නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ මොහොතට වුණත් අදාළ කර ගත හැකි 'ඉරිතළා ඒ මහා දාගැබ' හිසින් යුතු කවිය ඒ සඳහා හොඳ නිදර්ශනයක්. වසන්ත මෙන්න මෙහෙම ලියනවා.

"සැදෙයි රජ මහ වෙහෙර බිම 
ආවාස, වාහල් ද මලසුන් 
සැදැහැවත් දන පිය නඟයි 
බේරමින් වැලි, ගල්, ගඩොල්

නගරාධිපති, මැති ඇමැත්තන් 
එසේ වන්නට මඟ බලන්නන් 
ගෙනත් දැමුවේ එවන් වූ දෑ 
සිහි කරවනා පමාවෙන්..."

(ඉරිතළා ඒ මහා දාගැබ - 24 පිටුව)

මෙතැන 'නගරාධිපති, මැති ඇමැත්තන් - එසේ වන්නට මඟ බලන්නන් - ගෙනත් දැමුවේ එවන් වූ දෑ - සිහි කරවනා පමාවෙන්' කියන ප්‍රකාශයෙන් කවියා මතු කරන දේශපාලන උත්ප්‍රාසය අපූරුයි. වර්තමානයෙ කොහොමටත් ආගම කියන්නෙ බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය උපකරණයක් පමණයි. බලය ඇති පිරිස ඒක රැකගන්නත්, බලය ලබා ගන්න මඟ බලන්නන් ඒක ගන්නත් ආගම කියන උපකරණය විවිධ ආකාරයට පාවිච්චි කරනව. එහෙව් අයට පන්සලක කරන මොකක් හරි ඉදිකිරීමකට ගල් - වැලි - ගඩොල් ටිකක් ලබා දෙන එක කිසිසේත් ම අවාසිදායක අනාගත ආයෝජනයක් නෙවෙයි. සැදැහැවතුන් පවා ඒ ගල් - වැලි - ගඩොල් තමන්ගෙ පයට පෑගී 'අපවිත්‍ර' වෙන්න ඉඩ නොදී ඒව බේරමින් සීරුවෙන් ගමන් කරන්නෙ බොහොම බැතිබර ව. ඒ බොහෝ දෙනෙකුට 'ආගමික පය' වැදීමෙන් අපවිත්‍ර වුණු බොහොමයක් දේවල් ගැන කිසිම වැටහීමක් නැහැ. නැත්නම් වැටහීමක් තිබුණත් එහෙම නැහැ වගේ ඉන්න උත්සහ කරනව. වසන්ත ඔන්න ඔය කතන්දර සියල්ල ම බොහොම සියුම්ව තමන්ගෙ කවිය ඇතුළෙ ස්ථානගත කරනව, නිකං ම නෙවෙයි කාව්‍යත්මකව.

"...දමා බඳපටි ගනැති යකඩින් 
තවරමින් ඔසු වෙළුම් ලෑ මුත් 
වැඩිපුර ම ඉරිතැළුම් නැඟුණේ 
නිධන් කුටියට මෙපිටහින්

බෝ පත්හි සිල් පද නිවීගිය 
පාළු රෑ දාගැබ තුළින් 
ඇසෙයි සීරෙන නදක් ඉඳහිට 
පීරී ගානා කලෙක මෙන්..."

(එම)

තමන්ගෙ ප්‍රතිවිරෝධය සෘජුව ප්‍රකාශ කරන්නෙ නැතුව වසන්ත ඒ සඳහා යොදාගන්න ව්‍යංගාර්ථවත් කවි බස පැසසුම් කටයුතුයි. 'දමා බඳපටි ගනැති යකඩින්, තවරමින් ඔසු වෙළුම්, වැඩිපුර ම ඉරිතැළුම්, බෝ පත්හි සිල් පද' ආදී වදන් භාවිතය ඇතුළෙ ඒ කාව්‍යාත්මක ගුණය කැපී පේනව. කොහොමටත් නීතිමය බැරියර්වලින් රිංගල යන්න නම් අපිට සාහිත්‍යාත්මක වෙට්ටු දාන්න ම වෙනව. 'හුදෙකලාව නම් වූ බෝධි මූලය' කියන කවියත් ඒ සඳහා හොඳ නිදසුනක්.

"...රැයේ සීතල විනිවිද 
විතක් පුරවා ගන්නට 
ගීතයක් මුමුණන්නට 
කාත් කවුරුත් නොඑන ශෝකය 
පළ කරයි සිලි සිලි නද

නිවන් සොයමින් පොළොව මතු පිට 
සෑම අතට ම දුව ගිය 
මහත් මුල් රැස අතරමැද 
දැකිය හැකි වන එක ම දෙය 
සිරස, අත් පා ගිලිහුණ 
වැඩවසන මැටි පිළිම පමණ ය"

(හුදෙකලාව නම් වූ බෝධි මූලය - 37 පිටුව)

කවන්ධ රැසක් සංකේතය විදියට යොදාගෙන වසන්ත මේ නිස්සාර බව මතු කරන හැටි කදිමයි. බෝ පත් සිලි සිලි සද්දෙන් පළ කරන්නෙ වෙන මොකුත් නෙවෙයි විතක් පුරවා ගන්න, පුරවාගෙන ගීතයක් මුමුණන්න කවුරුවත් එන්නෙ නැති හුදෙකලාවෙ ශෝකය කියල ඔහු කියනව. ඒ අතරෙ ඊනියා සදාචාරවාදීන් සාහිත්‍යය පරිකල්පන කොටු කරන්න පුළුවන් නීති, කෙටුම්පත්, සීමා හොය හොයා පුස්කොළ පොත් වගේ පොත් පෙරළනව. කවියෙ දෙකොන එකිනෙක ගැටිල මේ මොහොත පිළිබඳ බොහොම යථාර්ථවාදී චිත්‍රයක් අපේ හිත් ඇතුළෙ මැවෙනව.

ඔන්න ඔය වගේ නූතන සමාජ - දේශපාලන - සංස්කෘතික කියැවීම් කීපයක් අපිට 'මිහිර සැඟවුණ නිම්නයක සිට' අතපත ගාල අහුලගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රේමය, විරහව, අහිමිවීම, මරණය ආදී රිදුම් - විඳවුම් බොහොමයක් ප්‍රස්තුත කරගත් කවි ගණනක් පොත ඇතුළෙ අපිට සම්මුඛ වෙනව. සැඟවුණ - සඟවපු - සඟවන්න නියමිත මිහිර සොයමින් නිම්නයක වුණත් කරක් ගහන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. වෙහෙස දැනෙනවා තමයි. නමුත් ඒ වෙහෙසට වැටෙන හීං හුස්ම නිසා අපි තව ම ජීවත් වෙනව කියල දැනෙනව. ඉතිං ඔව් මිත්‍රවරුනි, ඉදිරියටත් අපි ජීවත් වෙන්න ඕනෙ!

"විත් පුරා සිත් සතුටු වන 
සැම මොහොතක ම පැමිණෙමි 
ගයන ගීයට හිනැහෙමි 
ඔබේ විත මම පුරවමි!"

(අතුරුදන් වෙමි දවසක - 32 පිටුව)

| කසුන් සමරතුංග |  2019.06.30 දා ඇත්ත - අලංකාරයෙහි පළවූ සටහනකි |