ගාල්ලෙන් පැමිණි කොළඹ හාදයා !

ගාල්ලෙන් පැමිණි කොළඹ හාදයා !

“කැලෑහඳ” චිත්‍රපටය තිරගත වූ පසු ජෝන් ජයපාල වීමට පෙරුම් පිරූ තරුණයන් චිත්‍රපට රඟපෑමේ ආසාවෙන් පසු වූ බව අපට නොයෙක් විට අසන්නට ලැබී ඇත. ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හිසකේ රැළි වැටුණු ශිෂ්‍යයෙකුට මිතුරන් විහිළු කළේ “ස්ටැන්ලි පෙරේරා” කියාය. එහෙත් ඔහුට නම් නළුවෙකු වීමට කිසිම කැමැත්තක් නොතිබුණි. එහෙත් පාසල් වේදිකාවේ නම් සුළු සුළු චරිත රඟපා තිබුණි. වයස අවුරුදු 20 ක පමණ තරුණයෙකු වූ ඔහු දෙස චිත්‍රපට නළුවෙකුගේ කඩවසම් පෙනුම දුටු තරුණියන් නම් දෙතුන් විටක්වත් නොබැලුවා නම් පුදුමයකි.

එකල වයසට වඩා තරුණ පෙනුමත් උසේ හැටියට මහතත් උරුම කරගෙන තිබූ ඔහුට අපූරු මිතුරෙකු විය. අඹ යහළුවන් වූ මේ දෙදෙනා සිනමාව ගැන නිතර කතා කරමින් සිටියහ.

“මචං, මමත් නළුවෙක් වෙන්න ආසයි. මට කලින් උඹව චිත්‍රපට නළුවෙක් කරන්න මම ආසයි. මොකද? උඹ වයසට වඩා හොඳට වැඩිලා තියෙන්නේ. ඒකට පාර කැපිලා තියෙනවා. මාත් එක්ක මීගමුවට යන්න වරෙන්” මිතුරා යෝජනා කළේය.

“මොකටද මීගමු යන්නේ ඉස්සෝ, පොකිරිස්සෝ බිස්නස් එකක් පටන් ගත්තද?”

“ඉස්සෝ පොකිරිස්සෝ ඕනෙ නෑ. අපි යන්නේ උඹව “ෆිල්ම් ස්ටාර්” කෙනෙක් කරන්න.”

“මේ පිස්සු කතා කරන්න එපා සේනක. මට ඕව ගැන කිසිම හැඟීමක් නෑ.”

සේනක නම් මිතුරාගේ වද කිරීමට ඔහු ද මීගමුවට ගියේය. ඒ කාලයේ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න “කැලෑහඳ” චිත්‍රපටයට සූදානම් වී ජෝන් ජයපාලගේ චරිතය සඳහා ළාබාල තරුණයකු සොයමින් සිටියේය. සේනක විසින් තම මිතුරා ජයමාන්නයන්ට හඳුන්වා දුන්නත් එයට බලපෑවේ වයසය. එවිට ඔහුගේ වයස දහහතරක් පමණ විය. වයස කී විට ජයමාන්න උඩ ගියේය.

“හොඳයි, මේ ඉස්කෝලේ යන කොල්ලෙක්නේ. කවදාවත් රඟපෑම සඳහා ඉගෙනීම කඩාකප්පපල් කරගන්න එපා. තමුසෙට තව කල් තියෙනවා. මහින්දෙ කියන්නේ හොඳ ඉස්කෝලයක්. ඉගෙන ගෙන ඉවර වෙලා මාව හම්බ වෙනවා.”

සේනකගේ මිතුරා ඔහුට දොස් කියමින් ආපසු ආවේය.

“සේනක මම දන්නවා උඹ මට ආදරේට මේවා කරනවා කියලා. මට නළුකම ගැළපෙන්නේ නෑ”

“මම නං කවද හරි නළුවෙක් වෙනවා”

කාලය ගත විය. මේ කඩවසම් තරුණයා දැන් වයස 20 කි. ඉගෙනීම හමාර කළ ඔහු කොළඹ පැමිණියේ රැකියාවක් සොයා ගෙනය. 1960 වසරේදී මේ තරුණයාට ගිල්බට් හේවාවිතාරණ විසින් නිපදවන මුල්ම චිත්‍රපටය වූ “එකොළොස් ගින්න” හි ප්‍රධාන චරිතයට තෝරා ගත්තේය.

“ලයනල් ඔයාගේ නම අපි වෙනස් කරමු. ලයනල් දන්තනාරායන නම වෙනුවට ලයනල් දැරණියගල නම යොදමු”

ගිල්බට් හේවාවිතාරණගේ යෝජනාවට ලයනල් එකඟ විය. චිත්‍රපටය නිෂ්පාදනය නොවුණත් ලයනල්ට ඉතිරි වූයේ “දැරණියගල” නම පමණි.

ලයනල් සිලෝන් තියටර්ස් සමාගමේ බුකිං ලිපිකරුවෙකු ලෙස සේවය කරද්දී චිත්‍රපට නිෂ්්පාදක අධ්‍යක්ෂ රෝලන්ඩ් අමරසිංහ හඳුනා ගැනීමට හැකි විය. එහෙත් එදා ලයනල්ව චිත්‍රපට නළුවකු කිරීමට ආසාවෙන් සිටි අඹ යහළුවා සේනක පෙරේරාය. සේනක ද පසු කලෙක චිත්‍රපට නළුවෙකු විය. ඔහු “කොටි වලිගය” චිත්‍රපටයේ රඟපෑ සුළු චරිතය සඳහා සරසවිය සම්මාන උලෙළේදී කුසලතා සම්මානයක් ද හිමි කර ගත්තේය.

ලයනල් දැරණියගලට චිත්‍රපට අධ්‍යක්ෂ රෝලන්ඩ් අමරසිංහ හමුවීම ද චිත්‍රපටයක කතාවක් බඳුය. චිත්‍රපටයක ප්‍රධාන චරිත රඟපෑමට නම පමණක් මාරු කර ගත් ලයනල් කිසිවකු චිත්‍රපටයක රඟපෑමට තෝරා ගැනීම අප්‍රියව සිටියේය. ගාල්්ලේ මහින්ද විද්‍යාලයේ ඉගෙනීමෙන් පසු සිලෝන් තියටර්ස් සමාගමේ රැකියාව කරන ලයනල්ට අහම්බෙන් ජාතික ඇඳුමෙන් සැරසුණ මහත්මයෙක් හමු වෙයි.

“මහත්තයා සිංහලද?”

“මහත්තයට මොටද මගේ ජාතිය”

“මගේ නම රෝලන්ඩ් අමරසිංහ. මට ඇම්රෝස් මුදලාලි කියලත් කියනවා. මම චිත්‍රපටයක් කරන්න සූදානමින් ඉන්නේ. මගේ චිත්‍රපටයට ගැළපෙන මුහුණක් මහත්තයට තියෙන්නෙ. මහත්තයාගේ නම මොකක්ද?”

“ලයනල් දැරණියගල”

“මහත්තයට පුළුවන්ද කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට එන්න”

ඒ අවස්ථාව ලයනල් විස්තර කළේ මෙසේය. ඒ හැත්තෑවේ දසකයේ නීල් රූපසිංහගේ නිවසේදීය.

“එදා නවජීවන චිත්‍රාගාරයේ නළු වරම් බලාගෙන බොහෝ දෙනෙක් ඇවිත් හිටියා. මාව දැක්ක ගමන් අමරසිංහ මහත්තයා අත වනල ළඟට කතා කළා.

“මොක මහත්තයා ප්‍රමාද වුණේ?”

මම සිනාවෙන්ම පිළිතුරු දුන්නා.

“ඔන්න ඔය හිනාව මට මගේ චිත්‍රපට පුරාම තියෙන්න ඕනෑ”

ඊළඟට කැමරා ශිල්පී ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා මහත්තයට කිව්වා ‘ස්ක්‍රීන් ටෙස්ට්’ එකක් කරන්න. කැමරාවෙන් බැලූ ඒ මහත්තයා අනුමැතිය දුන්නා. මම “කොළඹ හාදයෝ” චිත්‍රපටයේ උදේනි කියන මිනුම්දෝරුවාගේ ප්‍රධාන චරිතය රඟපෑවේ ශිරාණි ගුණතිලක නම් නවක නිළිය සමඟ. ඇය සමඟ ගයන මේ යුග ගීතය මුලින්ම රූප ගත වුණේ.

“සුහද ලීලාව - සෝභාව - පිපෙන නාමලේ

දුටුවෙ සිහිනෙන්ද - හැබහින් ද නොදනිමි ප්‍රියේ

ගමනෙදි මේ සංසාරේ - සිටියදෝ මා ආ පාරේ”

(කරුණාරත්න අබේසේකර රචනා කළ මේ ගීතය ධර්මදාස හා ලතා වල්පොල ගායනා කර තිබූ අතර සංගීත අධ්‍යක්ෂණය ආර්. ඒ. චන්ද්‍රසේනගෙනි)

ඒ 1966 වසෙර්ය. මේ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ශිරාණි ගුණතිලක, සේනාධීර රූපසිංහ, ශාන්ති අබේසේකර, කුමාරි ලක්ෂ්මි සමඟය. මේඅතර සුදාස් මාසකෝරාළගේ “අභිමානය” නාට්‍යයේ රජ කෙනෙකුගේ චරිතයක් වේදිකවේ රඟපෑමට ලැබිණ. “මීමැස්සෝ” චිත්‍රපටයේ ගාමිණී “රූං රූං රූං මීමැස්සෝ” ගීතය ගයන විට පියානෝව වාදනය කරමින් සෝනියා දිසා සමඟ රඟපෑවේය.

ලයනල් දැරණියගල දුෂ්ට චරිතයකින් මතු වූයේ නීල් රූපසිංහගේ “හතර දෙනාම සූරයෝ” චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා හා ලයනල් අතර තිබූ සටන් දර්ශනය අමතක නොවන අවස්ථාවකි. මේ දර්ශනය රූපගත වූ අවස්ථාවේ එය නැරැඹීමට මට ද අවස්ථාවක් ලැබිණ. මා “සරසවිය” පත්‍රයට බැඳී දෙවසරකින් පමණ 1971 දී නීල් රූපසිංහගේ වත්තල හැඳල පාරේ තිබූ මහ ගෙදර ආලින්දයේ තිබූ සැටි, ලෑම්ප් ෂෙඩ්, විසිතුරු භාණ්ඩ පොඩි පට්ටම් කරමින් මේ සටන ඇත්ත ලෙසම සිදු වූයේ ගාමිණී හා ලයනල්ට තුවාල සිදු කරමිනි. කැමරා ශිල්පී ලෙනින් මොරායස් විවිධ කෝණවලින් රූගත කළේය. එදා දර්ශන තලයේ සිටි චිත්‍රපටයේ නිෂ්පාදන අංශයේ සහකරු පද්මසිරි කොඩිකාර (අද චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක) මා මුල්වරට හඳුනාගත්තේ එදාය. නීල්ගේ ගෙදර සියලු ගෘහ භාණ්ඩ හැම එකකටම බරපතල හානි සිදු විය. ගාමිණී සටන් දර්ශනයෙන් පසු ලයනල්ට අතට අත දී “වෙල්ඩන් ලයනල්” කියා තම සිගරට් පැකැට්ටුව දික් කළේය. සිගරට් බීම අහිතකර වුවත් එදා සිගරට් එකක් පානය කරමින් ස්ටයිල් එකට ගාමිණී හා ලයනල් දුම් උරමින්ම රඟපෑම බටහිර චිත්‍රපටවලට නෙදෙවෙනිය. එදා ලයනල් සරසවිය පුවත්පතට කීවේ ගාමිණී මේ සටන් දර්ශන සඳහා දුන් සහාය කිසිදා අමතක නොවන බවය.

වරක් ලයනල් හැඳල විජය චිත්‍රාගාරයේ දුෂ්ට චරිතයක් රඟපෑ දර්ශනයක් දුටු චිත්‍රාගාරයේ සාමාන්‍යාධිකාරී එඩී ජයමාන්න (ප්‍රවීණ චිත්‍රපට නළු) ප්‍රශංසනාත්මකව මෙසේ පැවසුවේය.

“අයිසේ ලයනල් එක්ස්ලන්ට් ඇක්ටින්. ඩොමී ජයවර්ධනගෙන් පස්සේ මම දැක්ක හොඳම විලන් තමුසේ”

එඩී එසේ කීව ද මාක් සමරනායක, ලැඩී රණසිංහ, පියදාස ගුණස්කර, එච්. ඩී. කුලතුංග, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න ආදී විශිෂ්ට රංගවේදීන් ද අමතක නොකළ යුතු බව ද කිව යුතුය.

ලයනල් දැරණියගල ඉන් පසු රෑනගිරව්, රන් ඔන්චිල්ලා, හරිමඟ, නයනා, රජ ගෙදර පරෙවියෝ, එදත් සූරයා අදත් සූරයා, ගිජු ලිහිණියෝ, කේසර සිංහයෝ, රජ කොල්ලෝ, සිනාවයි ඉනාවයි චිත්‍රපටවල රඟපෑවේය.

1973. 6. 15 සරසවිය පුවත්පතට ‘හද බැඳි චරිත’ විශේෂාංගයෙන් මං ලයනල් දැරණියගල සමඟ “කස්තුරි සුවඳ” චිත්‍රපටයේ බණ්ඩාර නම් දුෂ්ට චරිතය ගැන කතා කළෙමි. එදා ඔහු මෙසේ කීවේය.

“රඟපෑම ගැන තවත් යමක් ඉගෙනීමට උත්සාහ කරන, තවම දණ ගාන නළුවෙකු වූ මට “කස්තුරි සුවඳ” චිත්‍රපටයේ රඟපෑමේදී ගාමිණී ෆොන්සේකාගෙන් ලත් උපදෙස් නිසා මගේ රංග විලාස මුවහත් කර ගැනීමට හැකි වුණා. අධ්‍යක්ෂ සේන සමරසිංහ රඟපෑමට දුන් නිදහස නිසා මගේ චරිතය සාර්ථක වුණා. මෙහිදී මාලිනී ෆොන්සේකාත් ඇය රඟපෑ කාංචනාගේ චරිතය සමඟ බද්ධව කළ රඟපෑම මට බෙහෙවින් සහායක් ලැබුණා.”

තුවක්කුවක් අරං ජීප් එකක නැඟී ගම පුරා ගමන් යන බණ්ඩාර වලව්වේ හාමු කෙනෙක්. මේ චරිතය ලයනල් තම රංග කුසලතා ප්‍රකට කරන්නේ ගාමිණී හා මාලිනී වැනි ප්‍රතිභාන්විත නළු නිළියන් දෙදෙනා සමඟය.

‘සව්දන් ජෙමා’ චිත්‍රපටයේ ඔහු ප්‍රධාන චරිතය රඟපෑවේ හාස්‍ය රසය මතු කරමිනි. “සිනාවයි ඉනාවයි” චිත්‍රපටයේ ද ඔහු විකට චරිතයක් රඟපාන අතර “අප්සරා” චිත්‍රපටයේ ඔහු ගාමිණී ෆොන්සේකාගේ සොහොයුරා ලෙස වෙනස් චරිතයක් රඟපායි. “රිදී තැල්ල” චිත්‍රපටයේ ද ඔහු දුෂ්ටයෙකි.

ලයනල් කොතරම් දුෂ්ට, නපුරු චරිත රඟපෑවත් ඔහු අහිංසක ගති ගුණවලින් පෝෂිත මානව දයාවකින් පෝෂිත හුදෙකලාවට ප්‍රිය කෙනෙකි. මම ඔහු අවසන් වරට හමු වූයේ 1983 බොරලැස්ගමුවේ ඇඹිල්ලවත්ත පාරේ නිවසේදීය. ඒ වන විට වසර දෙකක් මැද පෙරදිග රැකියාවක යෙදී පෙරළා පැමිණි අලුතය. ඔහු ඒ වන විට ව්‍යාපාර කටයුතුවල යෙදී සිටියේය. 1975 දී මා ඔහු හමුවන විට සිය බිරිඳ තිලකා සමඟ බතික් කර්මාන්තයේ යෙදෙමින් සිටියේය. 1983 දී ඔහු තිලකා හමු වන විට ඔහු සුමිතුරෝ, ලොකු තාත්තා, මව් බිම නැතිනම් මරණය, බදුලු කෝච්චිය චිත්‍රපටවල රඟපා තිබිණි.

1940 අගෝස්තු 24 ගාල්ලේ එලියට් පාරේ නිවෙසක ලයනල් දැරණියගල උපදින්නේ තුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා හැටියටය. ඔහුගේ බිරිඳ තිලකා පෙරේරා ද විවාහ වූ මුල් කාලයේ චිත්‍රපට නිළියක් වූවාය.

“මම සැඟවුණ මැණික, පුංචි බබා, මනමාලයෝ චිත්‍රපටවල රඟපාලා තියෙනවා. ලයනල් එක්ක මම රඟපෑවේ ගිජු ලිහිණියෝ සහ වානරයෝ, රජ කොල්ලෝ චිත්‍රපටවල. දරුවෝ ලැබුණට පස්සේ මම රඟපෑමෙන් ඉවත් වුණා” තිලකා මට කීවාය.

එදා ලයනල් හා තිලකාගේ වැඩිමහල් දියණිය ප්‍රියන්ති ශ්‍යාමලී පසළොස්වැනි වියේ දෙහිවල ප්‍රෙස්බෙටීරියන් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ ද, පුතා චූලානන්ද කොළඹ නාලන්දා විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනීම ලබමින් සිටියහ. ඒ මීට වසර 37 කට එපිටය. එදා ලයනල් තිලකා, ප්‍රියන්ති හා චූලානන්දගේ ඡායාරූප සරසවිය පත්‍රයට ගත්තේ කර්තෘ මාණ්ඩලික මුදිත කාරියකරවන විසිනි. තිලකා මේ ලිපිය ලිවීමේදී සම්බන්ධ කර ගැනීමට සිටියත් සිරි කහවලයන් හා මා ගත් වෑයම නිශ්ඵල විය.

හුදකලාවේ සිටීමට කැමති ලයනල් ගෙදර බුදුන් වැඳීමට අමතක කර නැත. බෙල්ලන්විල පන්සලට ගොස් නිසංසලේ ගත කිරීමට කැමති ඔහු කතරගම ඉඩමක් ගෙන හෝටලයක් ඉදි කිරීමට සැලසුම් කර තිබුණි.

සුළි සුළං, රැල්ල ආදී වේදිකා නාට්‍යවල රඟපෑ ලයනල් “නීතිය ද ශක්තිය ද” (පසුව ඉන්ස්පෙක්ටර් ගීතා) චිත්‍රපටය නිෂ්පාදනය කළේය. 1990 සරසවිය චිත්‍රපට උලෙළේදී “රන්දෙණිගල සිංහයා” චිත්‍රපටයට කුසලතා සම්මානයකින් පුද ලැබූ ලයනල් 1994 පෙබරවාරි 4 වෙනිදා රිය අනතුරකින් රෝගාතුරව රාගම පුනරුත්ථාපන රෝහලේ කාලයක් සිහිසුන්ව සිටියේය. බැතිමත් ක්‍රිස්තියානි ආගම අදහන්නියක් වූ බිරිඳ තිලකා දෙවියන්ට යාඥා කරමින් තම සැමියා සුව වන ලෙස ඉල්ලා සිටියාය. 1994 ජූලි 30 වෙනිදා ඔහු ජීවිත සිනමාවෙන් සමු ගත්තේ චිත්‍රපට 75 ක පමණ රඟපාමින් ඒ මතක ප්‍රේක්ෂකයාට ඉතිරි කර තබමිනි.

“මම කෙළෙහි ගුණ දන්න මිනිහෙක්. සේනක පෙරේරා මගේ මිතුරා මෙන්ම මාව සිනමාවට හඳුන්වා දී හැදූ වැඩූ රෝලන්ඩ් අමරසිංහ මහතාට දෙපා නැමද ගෞරව කරනවා. “ඉන්ස්පෙක්ටර් ගීතා” චිත්‍රපටය කරද්දී ගීතා කුමාරසිංහ සහෝදර නිළිය ප්‍රමාණය ඉක්මවා කළ උපකාර මම අමතක කරන්නේ නෑ.”

මා “ලයනල් අයියා” නමින් ආදරයෙන් කතා කළ මානව දයාවෙන් යුතු වැඩිමහල් මිතුරා සදා මතකයේ රැඳී ඇත.

| ඒ.ඩී.රන්ජිත් කුමාර - සරසවිය |