රැජින නුඹයි අපේ රාජ්ජේ ; ලතා

රැජින නුඹයි අපේ රාජ්ජේ ; ලතා

සතුට සෝකේ ජය පරාජේ
අපටමයි මේ ලෝකයේ
එයට පිටුපා මෙලොව මිනිසා
කිසි තැනාකදී නෑ ගියේ.....

මේ හැඟුම්බර ගීතයත් සමග අතීතයට මා සිත නිතැතින්ම දිවයයි. 'ධීවරයෝ' චිත්‍රපටයේ උද්වේගකරම අවස්ථාවක මේ ගීතය දිග හැරේ. චරිතයට පණ පොවන්නේ සුරූපී නිළි සන්ධ්‍යා කුමාරී රංගන ශිල්පිනියයි. සිත් ඇදගන්නා සුලු මිහිරි ගැයුමෙන් 'සුන්දර සන්ධ්‍යා මේ' ගීතයත් සමග ප්‍රේක්ෂකයාගේ සම්පූර්ණ ආදරය දිනා ගනී. ඇය තිරයට ගැලපෙනම කටහඬක් හිමි විශේෂිත ගායිකාවකි.

එදා කාන්ති ගුණතුංග, රීටා රත්නායක, ශාන්ති ලේඛා, ජීවරාණී, ක්ලැරිස්, විජිතා, සන්ධ්‍යා, නීටා වැනි නිළියන් හට ඇයගේ කට හඬින් ලැබුනේ ඉමහත් ආලෝකයකි. ඊටපසු මාලනී ෆොන්සෙකාගේ සිට ගීතා, ශ්‍රියානි, වීනා, සබීතා, වසන්ති, අනෝජා, දක්වා ද අනතුරුව මැණික්, දිල්හානී, ඩිලානී වැනි නිළියන් ද ඇයගේ මියුරු හඬින් ආදරණීයත්වය උරුම කරගත්තාය. එයින් නොනැවතී චතුරිකා පීරිස් දක්වා ආ ගමන සැබැවින්ම විශ්මය ජනකය.

ක්‍රිස්තියානි දහම අදහන පවුලක උපත ලද ඇයගේ මුල් නම රීටා ජෙනවි ප්‍රනාන්දු ය. පල්ලියේ ගීතිකා ගැයීම ඇයගේ ගායනයේ මුල්ම අත්තිවාරම යැයි කිව යුතුයි. සුසිල් ප්‍රේමරත්නයන් මුණගැසීමෙන් පසු රීටා ජෙනවි ප්‍රනාන්දු යන නම ලතා ප්‍රනාන්දු බවට පත් විය. 'රන්වන් දුන් කරලින් පැසිලා' ඔවුන් දෙදෙනා එක්ව ගැයූ මිහිරිතම යුග ගීතයකි. ඇය ගැයූ මුල්ම ගීතය ලෙස සඳහන් වන්නේ 'කඳුළ දෙනෙතේ වෑහෙනා' යන ගීතයයි. ඇය ගී ගැයූ ප්‍රථම චිත්‍රපටය 'එදා රෑ' බව මා අසා තිබේ.

1953 වර්ෂයේ තිරයට ආ 'ප්‍රේම තරඟය' චිත්‍රපටය ඇයගේ චිත්‍රපටි ගී ගායන දිවියේ සංධිස්ථානයක් බව කිව හැකිය. මෙහි ගීත පටිගත කිරීමේ දී ඇයට ඇයගේ අනාගත සහකරුවා මුණ ගැසෙයි. ඒ ධර්මදාස වල්පොල නම් තරුණ ගායකයායි. 'හොඳ හොඳම වේ ය ලොව' ගීතයත් සමග ඔවුන් පෙම්වතුන් බවට පත්වෙයි. පසුව ඔවුන් විවාහ දිවියට ඇතුලත් වෙයි. එයින් අනතුරුව ඇරඹෙන්නේ ලතා - ධර්මදාස යුගයයි.

මාතලන්, වන මෝහිණී, කුරුළු බැද්ද, සසරක හැටි, ඉපදුනේ ඇයි, සුරතලී, සුන්දර බිරිඳ, උතුම් ස්ත්‍රීය, නයනා, සඳ නැග එද්දී, සුදෝ සුදු, වීර විජය, යට ගිය දවස, වැනි චිත්‍රපට ඔවුන් දෙදෙනා එක්ව ගැයූ යුග ගීතයෙන් විචිත්‍රවත් වුණි. මීට තව බොහෝ නම් එක්විය යුතුව ඇත. ඒ ඇරෙන්න ඔවුන් වෙන් වෙන්ව ගැයූ ගීත ද බොහෝ ය. චිත්‍රපට ක්ෂේත්‍රයට ඇය නැතුවම බැරි ගායිකාවක් විය. එකල ඇය සංදේශය, මාතලන් චිත්‍රපට යුගලයට ගැයූ ගීත සදානුස්මරණීය ගීත ලෙසින් සැලකිය හැකිය. රේඛාව චිත්‍රපටයේ එන දරු නැළවිලි ගීතය, ගැටවරයො හී සිහින හතක් මැද, සසරක හැටි හී එන මා මැව්ව පෙම් කෙත සිඳීලා, සැනසුම කොතනද චිත්‍රපටයේ ආදරයේ රන් විමනේ යන ගීත බෙහෙවින්ම සුන්දරය.

ඊට සමගාමිව ගුවන් විදුලියට සී.ටී.ප්‍රනාන්දු හා එක්ව ගැයූ 'සැලළිහිණි කොවුල්' මා සිත් ඇද බැඳ ගත් ගීතයකි.

පසුකාලෙක එච්. ආර්. ජෝතිපාලයන් හා එක්ව ජනප්‍රිය ගී ගණනාවක් ඇය ගැයුවා ය. ඒ අතර විල හා පියුම ලෙසේ, සාගර ලවැල්ලේ (ඔබටයි ප්‍රියේ ආදරේ), වෙන් වෙන්න වත්දෝ (රන් දම් වැල්), සිහින විලේ නිලුපුලී (අනූපමා),මල් මන්ද හාසේ ( යුක්තියද ශක්තියද), පියුම් දහසක් (නැව ගිලුනත් බෑන් චූන්), මල් බර වසන්තේ (රජ වැඩකාරයෝ) විශේෂිතයි. ටී.එම්., වික්ටර්, සනත්, ග්‍රේෂන්, මිල්ටන් සමග ගැයූ චිත්‍රපට ගීත ද බොහෝ සේ ජනප්‍රිය විය. ඇය ජනාධිපති, සරසවි, දීපශිකා, O.C.I.C. සම්මාන රැසකින් සහ වෙනත් ගරු බුහුමන් වලින් පිදුම් ලැබුවාය.

මේ සටහන අවසන් කරන්නට පෙර මම මෙසේ කියමි.
දයාබර ලතා වල්පොල මැතිණියනි.,
ඔබ අදහන දහමට අනුව මේ සියල්ල දෙවියන්ගෙන් ඔබ ලැබූ දායාදයි.
සෑම නත්තලකටම ඇසෙන ඔබේ 'නමෝ මරියනී' ගීතය ඊට හොඳම උදාහරණයයි..!!
තවමත් අඛණ්ඩවම ගීත ගායනයෙන් අපව පිනවන ඔබට නිදුක් නිරෝගීබාවය උදාවේවා..!! දිර්ඝායුෂ පතමි.! මේ චිත්‍රය ඔබට භාර කරමි.!

සිතුවම සහ සටහන
| ජානක ඉලුක්කුඹුර |