සදාතන සිහිනයේ ප්‍රේමවන්තයා ; කමල්

සදාතන සිහිනයේ ප්‍රේමවන්තයා ; කමල්

යෞවනය බෙහෙවින්ම චමත්කාරය..., එමෙන්ම ඒ යෞවනය තුල ආවේගශීලි නොපසුබසිනා නොනැමෙන බවක් ඇත. විවිධ හා විෂම වූ අවට ලෝකය හා ගණුදෙණු කිරීමේදී යෞවනය බොහෝවිට අන්දමන්ද වේ. අත්දැකීම් අඩු බව ඊට හේතුවයි. සමහරෙකුගේ ජීවිත මේ හේතුවෙන් විනාශය කරා යොමුවනු අප දැක ඇත. වේදිකාව සහ සිනමා නිර්මාණ තුළින්ද මෙවැනි චරිත නිරූපනයන් අප හමුවට පැමිණෙයි.

අද මා පවසන්නේ අප රටේ සිටිනා දක්ෂතම රංගනවේදියෙක් පිළිබඳවය. ඉහත කී කරුණු පෙළගැස්වීම ඔහුගේ රංගනයට බෙහෙවින්ම සමීප ය. පාසැල් විය අතරේදීම වේදිකාව සහ සිනමා රංගනය කරා යොමුවන ඔහු හට හිමිවන්නේ ඉහත කී යෞවනයාගේ භූමිකාව නිරූපණය කිරීමට යි. මෙම අභියෝගය ඔහු මැනැවින් ජයගනී. මුල්කාලයේ වේදිකාවේ අත්දැකීම් ලබන්නට පාසැලේ ගුරුවරයෙක් වූ දක්ෂ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් ඔහුට උපකාර කළ බව මම පුවත්පතක තිබූ ලිපියක් ඔස්සේ දැනගත්තෙමි. කොළඹ වෙස්ලි විද්‍යාලය ඔහු ඉගෙනුම ලැබූ පාසැලයි. ඔහු විද්‍යාලයේ ඉගෙනීම අතින්ද දීප්තිමත් ශිෂ්‍යයෙකි.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ නෙත මේ හිරිමල් යෞවනයා කෙරෙහි යොමුවන්නේ මේ අතරතුරේදී ය. ඔහුගේ ආන්දෝලනාත්මක සිනමා නිර්මාණයක් වන 'සාගරයක් මැද' හී හිතුවක්කාර තරුණයාගේ භූමිකාව සඳහා ඔහුව තෝරාගැනිණි. ඔහු එම චරිතය මැනැවින් ග්‍රහණය කරගැනීමට සමත් විය. චිත්‍රපටය නරඹන අපට ආවේගයක්, කම්පනයක් ගෙන එන තරමටම ඒ චරිත නිරූපණය සාර්ථක බව කිව යුතුය. එහිදී ඔහු ආධුනික රංගන ශිල්පියෙක් කියා අපට හැඟෙන්නේ නැත. මෙහිදී චිත්‍රපටයේ අධ්‍යක්ෂ ගාමිණී ෆොන්සේකා මහතාගේ දක්ෂ මෙහෙයවීම ගැනද සඳහන් කළ යුතුම ය.

මේ අනුව 1977 වේදිකා නාට්‍යය තුළින් නළුවෙකු බවට පත්වෙන ඔහු 1981 වර්ෂයේ තිරගත වූ 'සාගරයක් මැද' චිත්‍රපටයත් සමඟ සිනමා නළුවන් අතරට එක්වන්නේ ය. තවම මා ඔහුගේ නම සඳහන් නොකලත් අද මා පවසන්නේ කවුරුන් ගැනද යන්න මේ වනවිටත් ඔබ හොඳින්ම දන්නා බව සහතික ය. එය තහවුරු කරන්නට පසුකාලෙකදී ඔහු ගැයූ මියුරුතම යුග ගීත දෙකක අන්තරා කොටස් දෙකක් ඔබ හමුවේ තබමි. ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ සහ දමයන්තී ජයසූරිය ඔහුට මෙහිදී ගායනයෙන් සහාය විය. මා බොහෝවිට ගීතවල අන්තරා කොටස් එක්කරන්නේ මන්දැයි ඔබ සිතනවා ඇති. පෞද්ගලිකව බොහෝ ගීතවල අන්තරා කොටසට මගේ සිත ඇදී යාම, වඩාත් ඇල්මක් දැක්වීම මීට හේතුවයි.

* නෙතකට කඳුළ ගෙන දෙනා...
නරඹන සිතද හඬවනා...
දුක්බර ප්‍රේම රැගුම්
සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා....
තනිකම සිතට කැඳවනා...
තනිවම සිතින් වැලපෙනා...
දුක්බර විරහ ගැයුම්
සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා...

තුන්සිත දැහැන් ගත වෙලා...
සිතුවිලි සසල කරවනා....
පදවැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා.....

 

* රළ පෙළ කැළඹේ හසගන විලසේ...
ලවනට සුදු මුදු පහස ලැබේදෝ...
ඔබ හදවත මා හඳුනාගත් සේ...
මා හදවත ඔබ හැඳින ගනීදෝ....
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉඳුනිල දෙනයන සටහන් වේ...
උන්මාද වූ ප්‍රේමාදරේ...
සමනල වසන්ත යෞවනයේ.....

දැන් සක්සුදක් සේ මේ කවුරුන්ද යන්න පැහැදිළි ය.
අද්දරආරච්චිගේ ගුනේන්ද්‍ර කමල්.., (ගුනේන්ද්‍ර යන නම ඔහු වෙනුවෙන් 'වෙද හාමිනේ' ටෙලිනාට්‍ය තුල භාවිතා කෙරුන බවක් මතකය.)
අප කාටත් හුරුපුරුදු ලෙසින් ඔහු කමල් අද්දරආරච්චි වේ.

'සාගරයක් මැද' චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟ සිංහල සිනමාවට දක්ෂතාවයෙන් සපිරි යොවුන් නළුවෙකු එක්විය. එසේ වුවද ජනප්‍රිය තලයේ සිනමා නළුවෙකු වීම පසෙක තබා ඔහු වඩාත් යොමුවූයේ රඟපෑමෙන් යමක් කළ හැකි චරිතයන් සොයා යාමයි. ඔහුව වැඩිවශයෙන් තෝරා ගැණුනේද එවැනි නිර්මාණ කළ අධ්‍යක්ෂවරුන් වීම විශේෂත්වයකි.

80 දශකයේ මුල් කාලයේදී මගේ මිතුරෙකුගේ මාර්ගයෙන් කමල් සැබෑවටම රඟපෑමේ අභ්‍යාසයන් කරන අවස්ථාවක් දැක බලාගැනීමට මට හැකි විය. හයේන්ද්‍ර නවරත්න නම් මිතුරා ඒ දිනවල ආචාර්ය සාලමන් ෆොන්සේකා මෙහෙය වූ රඟපෑමේ වැඩමුළුවකට සහභාගිවී සිටියේ ය. දිනක් ඔහුගේ ඇරයුම මත මම එම වැඩමුළුව පැවැත්වූ ස්ථානය වෙත ගියෙමි. එය පැවැත්වූයේ නගර ශාලාවට මුහුණ ලා එවකට 193 බස් රථ ගාල අසල තිබූ පැරණි නිවසක ය. වර්තමානයේ ඒ නිවස නවීකරණය කර කිසියම් ආයතනයක් බවට පත්ව ඇත. කෙසේ නමුදු එහිදී චරිතයකට ප්‍රවිෂ්ඨ වීමට අභ්‍යාසයන් කරමින් සිටි කමල් අද්දරආරච්චි දැක මා විමතියට පත්වුණි. එදා දිනයේ මා එහි කැඳවාගෙන ගිය මිතුරා දැන් විදේශගතව සිටියි. ඔහු 'වෙද හාමිනේ' ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයක රඟපෑමෙන් එක් විය.

සාගරයක් මැද චිත්‍රපටයෙන් පසු පාරමිතා, කලියුගය, ගෙදර බුදුන් අම්මා, පාරාදීසේ, සප්ත කන්‍යා, හිතවතිය, එකදා වැහි, මාරුතය, අවරගිර, ලොකු දුව, බිතු සිතුවම්, මහමෙර උසට, බව කර්ම, ජුලියට්ගේ භුමිකාව, සතුටයි කිරුළ අපේ, කිණිහිරියා මල්, සීතල ගිනි කඳු, කළු සුදු මල්, It's a matter of time, සළෙලු වරම, අග්නිදාහය, මිල්ලෙ සොයා, පූජා, රන් දිය දහර, ගරිල්ලා මාර්කටිං, සමාරා, සෙව්වන්දි, අසනි වර්ෂා, රණ හංසි, මාතා, කලර්, දෝනී, තන්හා රතී රගා, ඇඩ්‍රස් නෑ, ඝර සර්ප යන චිත්‍රපට ගණනාවක ඔහු රඟපෑවේය. මේ චිත්‍රපට සෑම එකකම පාහේ ඔහුගේ රඟපෑමේ කොටස උපරිමයෙන් ඉටුකල බව කිව යුතුමය. හැඟීම් ප්‍රකාශණය සහ දෙබස් උච්චාරණය තුළදී ඔහු සුවිශේෂී හැකියාවක් පෙන්වන නළුවෙකි. මේ චිත්‍රපට බොහෝමයක් ඉතා ජනප්‍රියත්වයට පත්වූවා සේම ආර්ථිකමය වශයෙන්ද සාර්ථක විය. 'සප්ත කන්‍යා' චිත්‍රපටය එසේ ඉහළින්ම සාර්ථකත්වයට පත්වූ අතර ඒ තුළින් ඔහු ජනප්‍රිය ගායකයෙක් බවට ද පත්වුණි. එම යුග ගීතය කාගෙත් මුවග රැඳී ගීතයක් බවට පත්වුණේය. ඊට අමතරව අග්නිදාහය, එකදා වැහි, සළෙලු වරම, බිතු සිතුවම්, රන් දිය දහර වැනි චිත්‍රපටවල ඔහුගේ රඟපෑම සුවිශේෂී බව පැවසිය යුතුම ය.මේ සැම අතරේ සිනමා රංගනයට සමගාමිව වේදිකා රංගනය ද පවත්වාගැනීමට ඔහු සමත්විය. 'මෝරා' සහ 'අත් ' ඒ අතර විශේෂයෙන් සඳහන් කළ හැකිය. මෑත කාලයේදී 'හංකිති දහ තුන' දක්වා ඒ ගමන දිගු එකක් විය.

රූපවාහිනීය මගින් ටෙලිනාට්‍ය විකාශනය වීමේ ආරම්භයත් සමඟ කමල්, එහිද අත්‍යවශ්‍යම නළුවෙක් බවට පත්විය. තෝරා බේරාගත් අපූරු නිර්මාණ කිහිපයකට ඔහු දායක විය. ටෙලිනාට්‍ය 20 ක් වැනි ප්‍රමාණයක රඟපෑ බව සඳහන්ය. ඒ අතර රන් කහවුණු, වෙද හාමිනේ, දඬුබස්නාමානය, රැජින, හිරුට මුවාවෙන් ( ඉඳියාප්ප කතාව) වැනි ටෙලිනාට්‍ය බෙහෙවින්ම නරඹන්නන්ගේ ප්‍රසාදය දිනාගැනීමට සමත්විය. ඒ ටෙලිනාට්‍ය නැවත නැවතත් විකාශනය වීම තුළින්ම එය සනාථ වෙයි. මා මෙහි සඳහන් නොකළ, නම් මතකයේ නොමැති ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක් ඇති බව ද පැවසිය යුතුයි.  ඔහුගේ සාර්ථකත්වය පිටුපස කරුණු ගණනාවක් ඇත. මූලිකව ඔහු හොඳ රසවතෙකි. නිරන්තර අභ්‍යාසය, පොත පත පරිශීලනය මෙන්ම දෙස් විදෙස් උසස් නිර්මාණ ඇසුරෙන් එය ඔහු වඩවාගෙන ඇතිබව පැහැදිළිය. ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු 'ජැක් නිකල්සන්' ගේ රඟපෑම ඉහළින් අගයකරමින් කතා කරන අයුරු මම රූපවාහිනී සාකච්ඡාවන් වලදී දැක ඇත්තෙමි.

විහිදුන හැකියාවන් ඇති කමල් 'සිරස සුපර් ස්ටාර්' සහ 'හිරු මෙගා ස්ටාර්' යන ගායන තරඟයන්හි නිවේදන කටයුතු මැනවින් ඉටුකළේ ය. සිත්ගන්නාසුළු ඔහුගේ නිවේදන විලාසය සැමගේ ප්‍රශංසාවට ලක්විය. ඒ තුළින් එම වැඩසටහන් වෙත විශේෂ ආකර්ෂණීය බවක් ද එකතු විය.
එදා සිට මේ දක්වා තම රඟපෑමේ කුසලතාවය වෙනුවෙන් ඔහු සම්මාන සහ ඇගයුම් ගණනාවකට හිමිකම් කීවේය. 1995 - සුමති සම්මාන උලෙළ (හොඳම සහාය නළුවා), 1995 - සුමති සම්මාන උලෙළ (ජනප්‍රිය නළුවා), 1996 - ජනාධිපති සම්මානය (හොඳම සහාය නළුවා), 2002 - සරසවිය සම්මාන උලෙළ ( හොඳම නළුවා) වැනි සම්මාන රැසක් ඔහු හිමිකරගත්තේ ය.

කමල් අද්දරආරච්චි නම් ඔහු අද ආදරණීය සැමියෙකි. ඔහුගේ බිරිඳ අනුරාගී සහ පුතණුවන් සමග යහපත් පවුල් ජීවිතයක් ගතකරන බව අපි දකින්නෙමු. පනස්විය ඉක්මවා සිටින ඔහු අද දවසේ මුහුකුරා ගිය ජීවිත අත්දැකීම් වලින් පෝෂණය වූ චරිතයකි. එය රංගන ශිල්පියෙකුට වැදගත් වන්නේය. එහෙයින් මේ ඔහුගේ රංගන ජීවිතයේ හොඳම කාලය ලෙසින් පෞද්ගලිකව මම දකිමි. 'ගින්නෙන් උපන් සීතල' (The Frozen Fire) ඊට හොඳ නිදසුනකි.

දයාබර කමල් අද්දරආරච්චි රංගවේදියාණෙනි., ඔබේ රඟපෑමේ කූටප්‍රාප්තිය දකින රිසියෙන් තවදුරටත් සැදී පැහැදී අපි බලාසිටින්නෙමු.
ඔබට ඊට ශක්තිය ධෛර්යය ලැබේවා. එමෙන්ම සුදුසු වටපිටාව සැලසේවා.

සිතුවම සහ සටහන
| ජානක ඉලුක්කුඹුර |