ස්ත්‍රී පෞරුෂයක නොමියෙන මතක ! ජයන්තා රුක්මණී !!

ස්ත්‍රී පෞරුෂයක නොමියෙන මතක ! ජයන්තා රුක්මණී !!

 

මරණයේ හෝරාව නිමාවූ පසු මෙකල ඇති
ලෝකයම වෙනස් වී ඇතැයි නුඹ සිතනු ඇති
රිදෙන්නට පාඩමක් සොබා දම කියා ඇති
සමාවී පුරුදු ලෙස ලබනවර එන්න සකි

 | 2020 අප්‍රේල් 10 - ඇගේ ෆේස්බුක් ගිණුමෙන් |

මෙසේ, එරබදු වසන්තයට අඬ ගසා වසන්තයට පෙර නික්ම ගිය ජයන්තා රුක්මණී සිරිවර්ධන හැඩැති සාහිත්‍යවේදිනිය සිංහල සාහිත්‍යකරණයේ විවිධ ලියැවිලිවල අයිතිකාරිනියක්. කාව්‍ය කෘති පහක්, නවකතා දෙකක් , කෙටිකතා දෙකක් ළමා කෘති තුනක් ඈ සතු සාහිත්‍ය වත්කම් වනවා. සිනමා , රූපවාහිනී හා නිර්මාණාත්මක සාහිත්‍ය මණ්ඩල ජූරි සභිකාවක ලෙස ද ඈ ඇගේ නොනිම් සහාය ලබා දී තිබෙනවා. වෘත්තියෙන් රාජ්‍ය පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වශයෙන් වගකීම්සහගත කාර්‍යාවලියක නිරත වූ ඇය නික්ම යන විය අවුරුදු හැත්තෑඑකක ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්.

නිදහස් මාධ්‍යවේදිනියක ලෙස තීරු ලිපි රචිකාවක්ව ඇය ලියූ සංචාරක ලිපි පාඨකයා වැඳල ගත්තා. එ'ලිපි 1984 - 85 කාලවල 'ඉරිදා දිවයින' වර්ණිත කළා. දිවයිනට' මෙන්ම 'නවලිය', ' ඉරිදා ලංකාදීප' පුවත්පත්වලද තීරු ලිපි ඈ අතින් රචනා වුණා. ' සිතක සිතුම්' ඉන් එකක්. දයාසේන ගුණසිංහයන්ගේ උනන්දු කිරීම මත කවිය අත්හදා බලන්නට පියවර තබන ඇය, ' හරස්කඩ' නමින් පළමු කාව්‍ය කෘතිය සම්පාදනය කරනවා.

කොළඹ සරසවියෙන් ප්‍රථම උපාධිය ලබා ගන්නා ජයන්තා රුක්මණී සිරිවර්ධන කැලණිය සරසවියෙන් ජනමාධ්‍යවේදය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරනවා. එහිදී ආචාර්ය තිස්ස අබේසේකර හා ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ යන ප්‍රවීණයන්ගෙන් අධ්‍යාපනය ලබා ගැනීමේ මහරු අවස්ථාව ඇයට හිමිවනවා. සිනමාව ගැන ඇගේ කියවීමේ හා හැදෑරීමේ ආරම්භක පියවර එයයි.

සිනමා හා ටෙලි නාට්‍ය විචාරිකාවක ලෙස ලියන්න, කියන්න ඒ හැදෑරීම් නොමඳ රුකුලක් වනවා.

වෘත්තීය අංශයේදී ඇගේ ප්‍රථම පිවිසීම ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවාදායිකාවක ලෙසයි. සරසවි අධ්‍යාපනයෙන් පසුව ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිස විදේශ ශිෂ්‍යත්වයක් ලබා ඉතාලිය වෙත යනවා. මෙසේ පියවරෙන් පියවර ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක ලෙස උසස්වීම් ලබනවා. වරෙක කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ සමයේ රැකියා නැති තරුණියන් සඳහා ඈ කළ ' උවතැනිය' ව්‍යාපෘතිය , වෘත්තීය ජීවිතයේ විශේෂ මෙන් ම විශිෂ්ට අදියරක්. දීර්ඝ වෘත්තීය සටහනක මහා අත්දැකීම් සම්භාරයක් ලද ඈ විශ්‍රාම ලබන්නේ, වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙසයි.

සාහිත්‍ය අංශයේදී ඇය අධිවේගී රචිකාවක නොවේ. 'හරස්කඩ' කාව්‍ය කෘතියෙන් ලිවිසැරිය අරඹන ඇය 'බඹර සුසුම', 'අවසන් හෝරාව' , 'කැලණි ගඟ හඬයි' සහ අවසන් වරට පළ කළ 'සමනල මරණය' ඇතුළුව කාව්‍ය කෘති පහක් ලියා ඇත . 'මාරියාව' ඈ ලියූ නවකතා දෙකෙන් එකකි. 'සහතික කළ බිරිඳ' හා 'නිරුවත් පුෂ්පය' කෙටිකතා ද්විත්වයයි . 'කුරුල්ලෝ ඇවිල්ලා' , 'තිළිණිගේ යාළුවෝ' කෘති පුංචි දරුවන් වෙනුවෙන් ඇගේ දායකත්වයයි.

මේ සියලු දේ තනි ගැහැනික විසින් දරා සිටීම ඇගයිය යුතු සහ සතුටු විය හැකි දෙයක්. කේවල් නොවූ ඇගේ ස්ත්‍රී පෞරුෂය සදාකාලික මතකයක්. රාජ්‍ය අංශයේ උසස් තනතුරු හෙබ වූ ඇය විසින් මෙසේ ලිවීම අවංක මෙන්ම අව්‍යාජ කාර්‍යයක්.

සංවර්ධනය

"ගෙරෙව්වා මහහඬින්
තෙමෙයි කොළ අතු
බේරෙයි වැහි බිඳු
ඉරිතැළුණු ගස මුල
වියළිය තවමත්"

සමනල මරණය කෘතියෙන්

මහත්මිය, ඔබට සුබ ගමන් !

 

| සසංකා විතානගේ | ලංකා පුවත්පතෙහි රෝස් අතිරේකයෙන් උපුටා ගන්නා ලදි |