නිදහස කොච්චර ඈත ද ජීවිතේට ?

නිදහස කොච්චර ඈත ද ජීවිතේට ?

මේ දවස්වල හැමෝම කතාකරන මාතෘකාව තමයි නිදහස. දේශපාලනඥයෝ කලාකරුවෝ ක්‍රීඩකයෝ නිවේදකයෝ හැමෝම කතාකරන්නේ නිදහස ගැන. ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ ඇඩ්වල පවා යන්නේ නිදහස සම්බන්ධ දේවල්.

ඇත්තටම අපි නිදහස්ද ?

ලොකු ලොකු දේශපාලන කතන්දර පැත්තකින් තිබ්බත් අපි හැමෝම පිටරටට ණයයි කියල පොඩි ළමයෙක් වුණත් දන්නවා. ගමේ ගොඩේ මනුස්සයෙකුට රුපියල් සීයක් දෙසීයක් ණය වුණත්, හිතේ නිදහස නැතිවෙනවා කියල අපි හැමෝම දන්නවා. එහෙව් එකේ ඩොලර් මිලියන බිලියන ට්‍රිලියන ගණන් පිටරටවල්වලට ණය වුණා ම කෝ රටක් හැටියට අපට නිදහසක් ?

ඒ ණය ගෙවන්න තව ණය ගන්නවා. පක්ෂ විපක්ෂ ලොකු ලොක්කන් සැප විඳිනකොට අපි දහදුක් විඳිනවා. හාල් පොල් සීනි පරිප්පු මස් මාළු කරවල එළවළුවල මිළ දන්නේ කුස්සියත් එක්ක අරගල කරන අම්මලා. කඩේට ගිහින් බඩු ගේනකොට පර්ස් එකේ තුට්ටු දෙක පරිස්සම් කරගන්න හෙට්ටු කරන අපිට හිතේ නිදහස ගැන බයිලා කියාදෙන්න දේශපාලනඥයන් අවශ්‍ය නැහැ.

ඒ එක පැත්තක්.

අනෙක් පැත්තෙන්, හිතේ හැටියට විනෝද චාරිකාවක් යන්න - චිත්‍රපටියක් බලන්න යන්න නිදහසක් වෙලාවක් කලාවක් අපිට නැහැ. එහෙම දේකට සල්ලි වෙන් කෙරුවොත් මාසේ ජීවත්වෙන්න සල්ලි මදි වෙනවා. සංගීත ප්‍රසංගයක් බලන්න - නාට්‍යයක් චිත්‍රපටයක් නරඹන්න තියෙන වෙලාව අපි දන්නෙත් නැතුවම අපෙන් හොරකම් කරලා.

වැඩිහිටියෙක්ගෙන් ඇහුවොත් කියයි, ``නාට්‍ය චිත්‍රපටි බලන්න වෙලාව කොහෙද ළමයෝ`` කියල. තරුණයක්ගෙන් තරුණියකගෙන් ඇහුවොත් කියයි, ``වැඩ වැඩියි වෙලාවක් නැහැ`` කියල. එක්කෝ අපට සල්ලි නැහැ. නැත්නම් අපට වෙලාව නැහැ. නිදහස සීමා කරන බාධා දෙක තමයි සල්ලි සහ වෙලාව. කලාව වෙනුවෙන් ඔළුව නිදහස් කර ගැනීම අපේ අයිතියක්. එතකොට තමයි අපි නියම මිනිස්සු වෙන්නේ.

එහෙම නොවුණොත් අපි මිනිස්සු නෙමෙයි තිරිසන්නු වගේ වෙනවා. එකිනෙකා රුස්සන්නේ නැතුව යනවා. ඉවසීම නැතුව යනවා. සංයමය නැතුව යනවා. මහපාරේදී කුණුහරුප කියන රියැදුරන් පදිකයන් අපට මුණගැහෙන්නේ අන්න ඒ නිසයි.

වැඩ වැඩ වැඩ. අපි වැඩවලින් මිරිකිලා ඉන්නේ. ලක්ශාන්ත අතුකෝරාල කියල කවියෙක් ඉන්නවා. ඔහු එකපාරක් ලිව්වා, ``වැඩ ඇරී වැඩට යති ගැහැණු`` කියල. හුඟක් පිරිමි වැඩ ඇරිලා ගිහිල්ලා ටිකක් විවේකයෙන් ඉන්නවා. ඒත් අම්මලා නංගිලා අක්කලා ගෙදර හිටියත් වැඩ. වැඩට ගියත් වැඩ. අපි කවදාවත් එයාලගෙන් අහල තියෙනවද ඔයාල නිදහසේද ඉන්නේ කියල.

අපි හිතනවා අපි නිදහසේ ඉන්නේ කියල. ඒත් හොඳට කල්පනා කරලා බැලුවම අපේ නිදහස වෙන කවුරුහරි හොරකම් කරලා. ඊට අමතරව අපේ නිදහස අපිම හොරකම් කරගන්න අවස්ථාත් නැතුවා නෙමෙයි. කසාද බඳින්න ඉන්න අලුත් පරම්පරාවේ කෙල්ලෝ කොල්ලෝ පවා බඳින්න කළින් කේන්දර බලන්න පෙළඹෙනවා අපි දැකලා තියෙනවා. ආදරේද වැදගත් කේන්දරද ?

කාලයත් එක්ක යල්පැනගිය විශ්වාසවල එල්ලිලා අපේ නිදහස අපිම නැතිකරගෙන කියල ඔබට හිතෙන්නෙ නැද්ද ? නිදහස ගැන කට්ටිය කියන සුරංගනා කතා පැත්තකින් තියල ඔබේ නිදහස ගැන අලුතෙන් හිතන්න ඕන කියල ඔබට හිතෙන්නෙ නැද්ද ? සමහර දේවල් එකපාර වෙනස් කරන්න බැරි වෙයි, ඒත් අපි උත්සාහ කළොත් හෙමින් හෙමින් වෙනස් වෙන්න පුළුවන් වෙනවා. ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන්. අපේ ජීවිතත් එහෙමයි.

ඈත් වෙච්ච නිදහස ආයෙමත් ජීවිතයට ළංකර ගන්න. කොට්ට උරයක් කණපිට ගහනවා වගේ ජීවිතේ වෙනස් කරගන්න හිත හදාගන්න.



|  විශ්වජිත් වීරසූරිය | ලංකා පුවත්පතේ `ආදරය` අතිරේකයෙන් උපුටා ගන්නා ලදී |