නුඹේ ප්‍රේමය හිතින් අතහැර දමන එක ගේමක් ය ! ගුරුගොඩ `අහස් ඉම` ගැන සහෝදර සටහනක් !!

නුඹේ ප්‍රේමය හිතින් අතහැර දමන එක ගේමක් ය ! ගුරුගොඩ `අහස් ඉම` ගැන සහෝදර සටහනක් !!
බණ නම් කොතෙක් දෙසුවත් රට ගොඩගන්න බැරි වග පැහැදිලි ය. උදේ - හවස කොපමණ පිරිත් ඇසුවත් වෙනස් නොවන සිරිත් අපමණ තිබේ. ඒ නිසා ගෞතම බුද්ධ නම් දාර්ශනිකයා ගේ සමානාත්මතාවයට පයින් ගසා උස් පුටු සොයන චීවරධාරීන් දෙසන බණ - පිරිත් වෙනුවට ආදරය සොයා යන ඇත්ත භික්ෂූන් අපට උවමනා ය. එබඳු ඇත්තන් ලියන - කියන දෑ අපට වැදගත් ය.

ආදරය - ප්‍රේමය - ලිංගිකත්වය - අනුරාගය ආදී වදන් ඇසෙන විට ම කිපෙන හෝ සසැලෙන උදවිය සිටිති. එය ආගමික සංස්ථාව සමඟ බැඳුණු කාරණයක් වුවහොත් තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙයි. ඇතැම් ඊනියා සදාචාරවාදීන්ට මේ වචන විෂඝෝර සර්පයන් බඳු ය. කොන්ඩමයක් දුටු විට බියෙන් මර හඬ තලන්නේ එවැන්නන් ය. බොහෝ වාමාංශික සහ විමුක්ති ව්‍යාපාරවලට ද ආදරය සහ විවාහය ආදී කාරණා ආසාදිත ය. එවිට ඒවායේ සාමාජිකයන්ට ආදරය කරන්නටත්, විවාහ වන්නටත් නොහැකි වන පරිදි නීති පැනවෙයි; සම්ප්‍රදායන් ගොඩ නැඟෙයි. ඉතිහාසය ඊට සාක්ෂි ය. ඉතිං තත්ත්වය ඔන්න ඔහොම ය.

ගුරුගොඩ සිරිවිමල නමින් තරුණ භික්ෂුවක් 'අහස් ඉම සිපගනිමි' නම් කවි ගොන්නක් අපට සංග්‍රහ කරන්නේ එහෙව් පසුබිමක ඉඳගෙන ය. විසෙන් විස නසන්නට නොහැකි වග මේ තරුණ කවි නම වටහා ගෙන ඇති සෙයකි. එබැවින් උන්වහන්සේ අණ ස්වරයෙන් නැඟෙන බණ පසෙකට දමා ආදරය අතට ගෙන ඇති වගක් පෙනෙන්නට තිබේ. DSC 0238

"බොහෝ දෑ අහවර ව ඇත 
මිතුරන් පලා ගිය 
වල් වැදුණු විසිත්ත කාමරය

දුහුවිලි බැඳී අසුන් අතර 
හිඳ ගනිමි 
සිනා වත්සුණු සැළු 
පොප් හඬින් හඬ නැඟී 
මීවිත බඳුන් දැන් හිස් ය

ඉඳුදුන්න වන් දෙබැම 
තාරුකා කැට වන් දෙඇස 
දෙස බලමි 
සිනාසෙන්නීය ඇය 
මා දැන් තනි නැත"

(දැවෙමි තැවෙමි විඳිමි - 22 පිටුව)

මෙය මතුපිට අර්ථය ඉක්මවූ වෙසෙස් ධ්වනිතාර්ථ සහිත කවියකි. බොහෝ දෑ අහවර කර පලා යන මිතුරන් දුලබ නැත. පසුගිය තීරණාත්මක සමයේ එසේ අප අතැර දමා වෙනත් මඟක් ගත් මිතුරන් බොහොමයකි. මතවාදී වෙනස්කම්වලට ජාති සහ ආගම් ආලය පදමට මිශ්‍ර වූ පසු එබඳු ඇතැම් මිතුරෝ විසිත්ත කාමර පමණක් නොව සමාජය ම වල් වැදුණු තැනක් බවට පත් කරති. එවිට දුහුවිලි බැඳෙන්නේ අසුන් මත පමණක් නොවේ. ඇත්ත මනුස්ස සම්බන්ධතා ද දූවිල්ලෙන් වැකී මළ බැඳී ජරාපත් ව දිරාපත් වී යයි. ඉදින් තව දුරටත් මිත්‍රත්වයේ මීවිත බඳුන් පිරවෙන්නට, පිරවී එසවෙන්නට ඉඩක් නැත. ඒවා හිස් බඳුන් පමණකි. නමුත් කවියා මෙකී තීරණාත්මක අවස්ථාවේ පවා විශ්වාසය තබන්නේ ආදරය ගැන ය. එය හුදු තරුණියක් කෙරෙහි දක්වන කේවල ආදරයක් නොවේ. ඔහු මේ දරුණු සමාජීය තනිකමට සහ හුදෙකලාවට එදිරි පොදු ආදරයක් ගැන බලාපොරොත්තුසහගත වෙයි. 'සිනාසෙන්නීය ඇය - මා දැන් තනි නැත' ලෙස ලියා අවසන් කෙරෙන්නේ ඒ පොදු බලාපොරොත්තුවයි. කඩුවක් අතට ගෙන අනෙකා පෙති ගසන්නට මාන බලනවාට වඩා මේ ආදරය අතිශය සුන්දර සහ විචිත්‍රවත් නැද්ද? සිරිවිමල හිමි ගේ පොත පුරා විසිරී ඇත්තේ මෙන්න මේ ජීව ගුණයයි.

"...සවනත වැකෙන බොදු බැති ගීයක වුව 
බුදුන් ලෙස හැඳින්වෙන්නේ 
නුඹ ම යැයි සිතෙන එක 
ප්‍රේමය ය

ප්‍රේමිය,
සම් මස් නහර ඇට ඉරා 
ලේවලට පවා උණුහුම දැනෙන 
නුඹේ ප්‍රේමය හිතින් අතහැර දමන එක ගේමක් ය..."

(විශ්වය ම නුඹ වූ නුඹේ ප්‍රේමය විස්මිත ය - 29 පිටුව)

දැන් බොහෝ දෙනාට අමතක - බොහෝ දෙනා නොදකින ප්‍රේමය කවියා බුදුන් තුළින් දකියි. ගෞතම බුද්ධ ගේ සියලු වචනවල පදනම ප්‍රේමය බව හේ පසක් කර ගනියි. එවිට ලෞකික ස්ත්‍රී - පුරුෂ ආදරයකට එහා ගිය යමක් කවිය අතරින් ජනිත වෙයි. එමෙන් ම සිවුරට මුවා වී මුලුගැන්වෙන්නේ නැතිව උන්වහන්සේ 'ගේමක්' ආදී නූතන පද කවිය තුළ නිර්භීතව ස්ථානගත කරයි. ගල් වදින්නට ඉඩ ඇති නමුත් මල් පිපෙන විට දැනෙන හැගීම සුළු පටු එකක් නොවේ. ආදරයෙන් මිස වෛරයෙන් ලොවක් ගොඩ නැංවිය නොහැකි ය.

"ගිරි කුළක හති දදා දළුලන 
හරිතවත් තුරු ලතාවකි අපේ ප්‍රේමය 
නාය යාමක් 
පිපිර යාමක් 
කිනම් මොහොතක ඒවිදැයි සිත සිත 
මේ වැඩෙන්නේ දළු දමා 
අපේ ප්‍රේමය"

(අපේ ප්‍රේමය - 51 පිටුව)

කෙසේ වුව 'අහස් ඉම සිපගනිමි' යනු ගුරුගොඩ සිරිවිමල හිමි ගේ හොඳම කවි පොතයැයි කීමට අපි ඉක්මන් නොවෙමු. තව දුරටත් සංස්කරණය කළ යුතුව තිබූ කවි මෙන් ම දෘෂ්ටිවාදීව වඩාත් තියුණු විය යුතු කවි ද පිටු අතර දැකගන්නට ලැබෙයි. නිදර්ශන ලෙස 'සුසුම, දැනගත යුතු කරුණු, මහලු බෝධිය' ආදී හිසින් යුත් කවි කීපයක් නම් කළ හැකිය. නමුත් උන්වහන්සේ ගේ 'පැතිරුණු අඳුරු පතනෙහි' නම් පළමු කාව්‍යමය ප්‍රයන්තයට වඩා සෑහෙන්න තරම් ඉදිරි පියවර කීපයක් 'අහස් ඉම' හරහා සලකුණු කර ඇති වග පැහැදිලි ය. අනාගතයේ දී වඩාත් දියුණු සහ තියුණු විය යුතු - විය හැකි උන්වහන්සේ ගේ කවිය රාහුල - රඹුකන පරාසයේ ගුරුගොඩ සලකුණ තීරණය කරනවා ඇත.

කහ පාට සිවුරු හැඳ වෛරය දේශනා කරන බහුතරයක් මැද ගුරු පාට සිවුරකින් සැරසී ආදරය දෙසන - ලියන - පිළිපදින ගුරුගොඩ සිරිවිමල හිමිට සහෝදරාත්මක ව හිස නමමින් අපි නතර වෙමු !

"දහර කල සිලිටි වී 
තුරුණු කල සුවඳ දී 
මහලු කල මිය යන එක 
සතුටක් ය අපට..."

(අවසන් හුස්ම - 62 පිටුව)


| කසුන් සමරතුංග | 2019.07.21 දා ඇත්ත - අලංකාරයෙහි පළවූ සටහනකි |