" මේ ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයයි " ලියනගේ හඬ නිහඬ වෙයි !

" මේ ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයයි " ලියනගේ හඬ නිහඬ වෙයි !

70 දශකයේ ගුවන් විදුලියේ ‌වෙළඳ ‌සේවය රසවත් ගුණතුංග ‌කේ ලියනගේ අභාවප්‍රාප්ත වී ඇති බව comrade.lk වෙත වාර්තා වෙයි. ‌වෙළඳ ‌සේවයේ හින්දි ගී වැඩ සටහන් ඉදිරිපත් කරමින් අසන්නන්ගේ ‌දෙසවන් රසවත් කළ ‌ඔහු ‌වෙළඳ වැඩ සටහන් රැසක් ඉදිරිපත් කර තිබේ. වැඩ සටහන් ඉදිරිපත් කිරීම අතරදී සජීවී ‌ලෙස දුරකතන සම්බන්ධතා පැවැත්වීම ආරම්භ කළේ ඔහු විසිනි. එම මහතා මියයනවිට 87 වැනි වියෙහි පසුවිය.

මේ ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයයි. පනහ දශකයේ මුල් භාගයේ සිට ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් එසේ ශ්‍රාවකයන් ඇමතූ ඒ හඬ එදා ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ නිවේදක ගුණතුංග කේ. ලියනගේ මහතාගේය. මේ වන විට ඔහු එම සේවයෙන් විශ්‍රාම ගොසිනි. ඔහු විශ්‍රාම ගන්නා විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවේ ස්‌වදේශීය හා වෙළෙඳ සේවයෙහි වැඩසටහන් ඉදිරිපත් කරන ඒකක භාර, අංශ ප්‍රධානී තනතුර හෙබවීය. ස්‌වකීය දිවි මඟෙහි හැත්තෑනව වැනි ජයටැඹ පසුකරන ලියනගේ මහතා නියත වශයෙන්ම පෙරකී යුගයේ කැපී පෙනෙන සංධිස්‌ථානයක්‌ වනු නොඅනුමානය. තවත් පසෙකින් ඔහු යුග දෙකක්‌ ඈඳන පුරුකක්‌ ලෙසද හැඳින්විය හැකිය.

1933 නොවැම්බර් මස 08 දින කළුතර දිස්‌ත්‍රික්‌කයේ බෝඹුවල නම් අති සුන්දර ගම්පියසේ ජන්ම ලාභය ලද ලියනගේ මහතා, කොළඹ කොටහේන කුමාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේ සිට ගුවන්විදුලියට සම්බන්ධ වූ අයෙකි. එවකට ගුවන් විදුලියේ ස්‌වදේශීය සේවයෙන් පැවැත්වූ පාඨශාලාන්තර "පැන පොඩි" ප්‍රශ්න විචාරාත්මක වැඩසහටනට එම විද්‍යාලයේ ළමුන් කණ්‌ඩායමක්‌ සමග ඔහුද සහභාගි විය. ඉදිරි වැඩසටහන් පැවැත්වෙන වේලාවට ඒවා නැරැඹීම සඳහා ගුවන්විදුලි මැදිරියට යැම පුරුද්දක්‌ කරගෙන තිබිණි. අවසාන වැඩසටහන පැවැත්වූ දිනයේ එදා මහ වැස්‌සේ තෙමි තෙමී ගුවන්විදුලියට පැමිණ එදා තරගකරුවන්ට උත්තර දෙන්නට නොහැකි වූ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නරඹන්නෙක්‌ විදියටය. එවකට ගුවන් විදුලියේ සිංහල අංශයේ ප්‍රධානියාව සිටි චිත්‍රපට නළු ලැඩී රණසිංහ සහ බලධාරියාව සිටි ක්ලියුඩ් ආර් ඩොටි යන මහතුන් ඔහුගේ දැනුම ගැන පැහැදී දිගටම ගුවන්විදුලියට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

පැන පොඩි දැනුම මිනුම කණ්‌ඩායමට එකතුවෙන ගමන් ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදනය කරන හැටි නිවේදන කටයුතු කෙරෙන හැටි, ප්‍රවෘත්ති තොරතුරු රැස්‌කර ගන්නා හැටි වැනි බොහෝ දේවල් ඉගෙන ගෙන ඒ අතර පාසලෙන් අස්‌වූ පසු ගුවන් විදුලියට නොයෙක්‌ අයුරින් සම්බන්ධ විය. ඒ අතර කටහඬ පරීක්‌ෂණ ඇතුළු අනෙකුත් විවිධ වැඩසටහන් හා පරීක්‌ෂණවලට මුහුණදී 1956 පෙබරවාරි 06 වැනි දින එහි මුල්ම සහන නිවේදක තනතුරට පත්විය. වසර තුනකටවත් වැඩි කාලයක්‌ එම තනතුර හොබවා තිබිණි.

එතෙක්‌ සිටි සහන නිවේදකයන් වෙනුවට පසු කලෙක ස්‌ථිර නිවේදකයකු සිටීමේ අවශ්‍යතාව පැන නැගුණි. ඒ පිළිබඳව ගුවන්විදුලියෙන් පුවත්පත්වලින් "තරංගනී" ගුවන්විදුලි සඟරාවෙන් දුන් ප්‍රචාරය අනුව ඉල්ලුම්පත් දහස්‌ ගණනකින් වරින් වර පැවැත්වූ ලිත හා වාචික පරීක්‌ෂණවලින් පසුව අවසාන පරීක්‌ෂණයෙන් සමත් වී 1959 මැයි 18 වැනිදා වෙළෙඳ සේවයේ ස්‌ථිර නිවේදකයා වීමේ භාග්‍ය ලියනගේ මහතාට ලැබිණි.

1950/60/70 දශක ලංකා ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ ස්‌වර්ණමය යුගය ලෙසින් හැඳින්වීමෙහි කිසිදු වරදක්‌ නැත. ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ ආරම්භය හා ගුණතුංග කේ. ලියනගේ මහතාගේ මාධ්‍ය දිවියේ ආරම්භයද එකවර සිදු වූවකි. එබැවින් වෙළෙඳ සේවය හා ගුණතුංග කේ. යන්න දෙකක්‌ නොව එකක්‌ ලෙස ශ්‍රාවකයන්ට දැනෙන්නට විය.

එවකට වෙළෙඳ සේවය මුහුණපෑ ප්‍රධානතම ගැටලුව වූයේ අවශ්‍ය පමණ සිංහල ගීත තැටි නොතිබීමයි. ඒ වන විට මෙතුමා කළේ අවශ්‍ය ගී තැටි ස්‌වදේශීය සේවයෙන් ණය පදනම මත ලබාගෙන ප්‍රචාරය කිරීමය. ක්‍රම ක්‍රමයෙන් ඒ සම්බන්ධයෙන් ගැටලු මතුවන්නට වූ නිසා ස්‌වදේශීය සේවය ඒවා ලබාදීම කැමැත්තෙන් නොකරන නිසා එම තත්ත්වය මත හින්දි ගීත වැඩියෙන් ප්‍රචාරය කිරීමට නැඹුරු විය. ස්‌වදේශීය සේවයෙන් අවශ්‍ය වේලාවට අවශ්‍ය පමණ ගීත තැටි ලබාගැනීමේ දුෂ්කරතා පිළිබඳව අංශ ප්‍රධානියා වූ ශ්‍රීපාලි වයමන් මහතාට දැනුම් දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධ්‍යක්‌ෂතුමා හමුවී යෝජනා කිරීමෙන් පසු අපේම ගී තැටි හඳුන්වාදීමට පියවර ගත්තේය.

වෙළෙඳ සේවයේ ජනප්‍රියත්වයට පත්වූ මුල්ම වැඩසටහන වූ "කෝපි කඩේ" කොටස්‌ 200 ක්‌ පමණ ලියා එහි ප්‍රධාන චරිතය වන ගබ්රියෙල් ගේ චරිතයට පණ දුන්නේ ලියනගේ මහතායි. වෙළෙඳ සේවා විකාශනය ඔස්‌සේ ප්‍රචාරය කෙරුණු "සිව් දිගින් - සත් මුහුදින්", "අපේ කතා", "ගමේ විත්ති" වැනි නාට්‍ය නිෂ්පාදනය කොට ඉදිරිපත් කිරීමේ භාග්‍යය ලියනගේ මහතාට හිමිවිය.

මෙතුමා නිෂ්පාදනය කොට ඉදිරිපත් කරන ලද "ප්‍රසන්න ලංකා" වැඩසටහන එංගලන්තය, යුරෝපය, දකුණු ආසියාව, මැදපෙරදිග, රුසියාව යන රටවල විකාශනය කෙරුණ ප්‍රථම සිංහල ගුවන්විදුලි වැඩසටහනය. ප්‍රවෘත්ති, සිංහල ගීත, සුබපැතුම් ඇතුළත් එම වැඩසටහන ඉරිදා දිනවල රාත්‍රී 9.00 සිට 9.30 දක්‌වා විකාශනය කෙරිණි. මෙම වැඩසටහන ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය බව ලතා මංගේශ්කර් නමැති භාරත ගීත කෝකිලාවිය හමුවේදී පවසා ඇත. මෙම වැඩසටහනින් ශ්‍රී ලංකාවෙන් පිට සිටි අසන්නන්ට මෙරට තොරතුරු දැන ගැනීමට කදිම මාර්ගයක්‌ විය. මෙම වැඩසටහනේ සාර්ථක බව නිසාම වසර 15 ක්‌ පමණ නොකඩවා ප්‍රචාරය විය.

සමස්‌තයක්‌ වශයෙන් බලන කල මෙම අය වැඩියෙන්ම සම්බන්ධව කටයුතු කළේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වලටය. සංඛ්‍යාව අනුව එය දෙදහසකට අධික සංඛ්‍යාවක්‌ විය. "තරග කවය", "බී.සී.සී. පවුල් හවුල් පැන විසඳුම්", "පාඨශාලාන්තර දැනුම මිනුම", "විසිපැන", "වාසනා උදාව", "වාසනාවෙන් වාසනාව"ආදී වැඩසටහන් මේ අතර විය.

1972 වසරේ දී පාලක ඉදිරිපත් කිරීමේ තනතුර ලැබීම, 1978 වසරේ දී ස්‌වදේශීය හා වෙළඳ සේවා යන අංශ දෙකෙහිම වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ඒකකයේ කටයුතු භාර අංශ ප්‍රධානි තනතුර ලැබීම ලියනගේ මහතාගේ මාධ්‍ය ජීවිතයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ වේ. 1979 වසරේ දී ගුවන් විදුලියෙන් සමුගත් ලියනගේ මහතා 1996 දක්‌වා ගුවන්විදුලි වැඩසටහන්වලටද සම්බන්ධ විය. ඉන්පසුව වුවද ඔහුගේ ජීවිතයේ ඇති අවිවේකී ස්‌වභාවයේ වෙනස්‌ වීමක්‌ පෙනෙන්නට නැත. ඒ ඔහු දැනට ඔහුගේම "සැන්සු" වෙළෙඳ ප්‍රචාරක ආයතනයේ සභාපති වශයෙන් අතිවිශාල වගකීම් සමුදායක බැඳී සිටින බැවිනි. ලියනගේ මහතාගේ එකම පුතු වන සම්පත් ලියනගේ සහ ලේලිය ලක්‌මිණි ලියනගේ එම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරුන් වෙයි. ගුණතුංගයන්ගේ ආදර බිරිඳ මාලි සෙනෙවිරත්න එදා මෙන්ම අදත් ඔහුගේ සෙවණැල්ල සේ සියලු කාර්යයන්හිදී ඔහුට ශක්‌තිය, ධෛර්යය හා අනුබල දෙන්නීය. ඇය මෝස්‌තර නිර්මාණ ලොවේ ප්‍රමුඛ ශිල්පිනියකි. එකම දියණිය සුභානී ලියනගේ දැනට ඇමෙරිකාවේ පදිංවිව සිටියි.

| දිවයින |