අදත් ජනප්‍රිය ෆ්‍රෙඩී ගී නදීක හෙට ගයයි ජපුරේදී !

අදත් ජනප්‍රිය ෆ්‍රෙඩී ගී නදීක හෙට ගයයි ජපුරේදී !

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලබන ' ෆ්‍රෙඩී එදාට රෙඩී with නදීක ' ෆ්‍රෙඩීගේ ගීත නදීකගෙ හඬින් ගීත විචාරාත්මක වැඩසටහන ජනවාරි මස 7 වැනි අඟහරුවාදා (හෙට) සවස 3.00ට මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ ආරම්භක ප්‍රවේශයෙන් ප්‍රවීණ සංගීතඥ නදීක ගුරුගේ සහ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර යන ප්‍රවීනයන් එහිදී අදහස් දැක්වීමට නියමිතය.

ගායන ලෝකෙට ඔහු අත්පොත් තබන්නේ 1950දී එක්තරා තරඟයකට සහභාගි වීමෙනි. එදා මොහුගේ ගායනයෙන් මුසපත් වෙන ආරාධිත ජෝන් කොතලාවල මහතා අසන්නේ, " ඒයි කොල්ලො, උඹේ කකුල්වලට ස්ප්‍රිං හයි කරල ද" කියල. ඒ තරමට ම ගායනයේදී තමන්ගේ ගායනයට ගැලපෙන රිද්මයක් සහජයෙන්ම උරුම කරගත් මොහු ෆ්‍රෙඩී සිල්වායි.

පනහෙ දශකයෙන් පසු ගීත ක්ෂේත්‍රයට පියවර තබන මොහු ගුවන්විදුලි ගායකයකු වශයෙන් තම පළමු රේඩියෝ ගායන දායකත්වය ලබා දෙන්නේ, 'මොට්ටපාල' ගීතයෙනි. එතැන් පටන් ගුවන්විදුලියෙන් ශ්‍රාවකයා වෙනුවෙන් ගයන්නට පටන් ගත් ෆ්‍රෙඩී 'බොරු කකුල් කාරයෝ', 'ගිනි බෝල බෝල', 'අලුත් කලාවක්' වැනි ගීත ඇතුළු ගීත බොහොමයක් තුළින් එ දශකවල ශ්‍රාවක සිත් සතන් සිනහවෙන් පිරවූ අන්දම පිළිබඳ අදටත් ඔහුගේ ගීත ශ්‍රවණය කරන රසික ප්‍රජාව සාක්ෂියි.

ෆ්‍රෙඩීගේ ගීත කලාව සොයා බැලීමේදී ඔහු පසුපසින් පන්හිඳ මෙහෙයවමින් රසිකයා පිනවීමට හොඳම වචන තෝරාබේරා දීමේ කාර්යය සාර්ථකව සිද්ධ කළ ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාද අපට අමතක කළ නොහැකිම චරිතයකි. "ආරොං මාමා", "පාං කිරිත්තා", "නෑදෑයෝ", "හඳ මාමා", "කැකිල්ලේ රජ්ජුරුවෝ", "පරණ කෝට්" වගේ ගීතත් අපට අමතක කළ නොහැකිම තරම්. "දියරැල්ලෙ වෙරලෙ හැපී" චිත්‍රපට ගීතයට ගායනයෙන් වගේම එදා රංගනයෙන් ද එක් වූ ෆ්‍රෙඩී "ළසඳා", "සීතල වතුර", "මහදැන මුත්තා", "පාරා වළලු", "සුනේත්‍රා", "ශීලා", ඔබයි මමයි", "රජගෙදර පරෙවියෝ", "වාසනා", "කවුද රජා" වැනි සිනමා කෘති රැසකට රංගනයෙන් දායක වූ නළුවෙකි. නාට්‍ය පිටපත අනුවම යමින් එය අනුගමනය කිරීමේ කාර්යයෙන් බැහැර වූ ෆ්‍රෙඩී තමන්ට ම ආවේණික වූ හාස්‍ය උපදවන විකට චරිතයක් චිත්‍රපටය තුළ ජීවමාන කිරීමට තරම් දුර්ලභ හැකියාවකින් යුක්ත වූ විකට වැඩ්ඩෙකි.

| සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ වැඩක් |

80249314 1811849625606887 6941875913046884352 n01 large