ඇට මැස්සන් ඕනෑ කර තිබේ !

ඇට මැස්සන් ඕනෑ කර තිබේ !

"මං හිතන්නෙ අපි ඔය වාරණ නීතිවල හැප්පෙන්නෙ නැති විදියට ජේසු නිකායකයින්ට විරුද්ධ ව සටන් කරන්න හොඳ උපාය මාර්ගයක් හොයාගන්න ඕනෑ."

"මට නම් පේ⁣න්නෙ නෑ එහෙම මාර්ගයක්."

"මං හිතන්නෙ අපි සමත් වෙන්න ඕනි අපි කියන දේ ව්‍යංගයෙන් කියන්න."

"ඔය කියන්නෙ වාරණ මණ්ඩලයට නොතේරෙන විදියට, අවබෝධ නොවන විදියට, අහුනොවන විදියට, ඒක ද? එතකොට ඔහේ ඒ එක්කම බලාපොරොත්තු වෙනවා, වාරණ මණ්ඩලයට අහුනොවෙන දේ අර නූගත් ගොවීන්ට යි, කම්කරුවන්ට යි අවබෝධ වෙයි කියල. මේක ප්‍රායෝගික දෙයක් හැටියට මට නං හිතාගන්න අමාරුයි."

 ඊ. එල්. වොයිනික් හෙවත් එතල් ලිලියන් වොයිනික් නමැති අයිරිෂ් නවකතාකාරිය විසින් 1895 වසරේ දී රචිත "the GADFLY" නවකතාව, `ඇට මැස්සා` නමින් සුගතපාල ද සිල්වා නම් වූ විස්මිත මිනිසා සිංහලයට පරිවර්තනය කළේය. ආදරය හා කුමන්ත්‍රණය පිළිබඳ ඍෂි දැක්මක් හෙලමින් ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කොටගෙන රචනා වූ මෙහි දෙවැනි කොටසේ පළමු පරිච්ඡේදයේ දී ලේගා, ගල්ලි, රිකාඩෝ, ග්‍රාසිනි, මර්තීනි, සිඤ්ඤෝරා බොල්ලා යන පිරිස අනාගත දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ හමුවකට මහාචාර්ය ෆැබ්රිසිගේ නිවසට රැස්වෙයි. එහි ඇති වන සංවාදය අතරතුර දී ය  පෙර දැක්වූ දෙබස් හටන දියත් වන්නේ. ඒ 114 වන පිටුවේ දී.

පහුගිය කාලයේ සිදු වූ සහ මේ වන විට සිදුවෙමින් පවතින ඇතැම් දේවල් නිසා, `ඇට මැස්සා` සිහි වූයේ මෙන්න මෙවැනි සිතුවිල්ලකුත් සමග ය. 

"වෙලාවට මනුස්සයා අපේ ආගමික පොලීසියට යි, සංස්කෘතික පොලීසියට යි අහුනොවන ව්‍යංගයකින් මේ පොත ලිව්වෙ. (නැත්නම් මං වගේ සාමාන්‍ය මිනිහෙක්ට කියවලා තේරුම්ගන්න පුළුවන් මේ පොත ඇහැටවත් දකින්න හම්බෙන්නෙ නෑ නොවැ.) තේරුණා නම් සුගතපාල ද සිල්වා පොත් ලියලත් හමාරයි, නාට්‍ය කරලත් හමාරයි. මොකද මෙහෙ දැන් ICCPR කියලා පනතක් තියෙනවානෙ. ඒකට අහුවුණොත් ඉතින් හිරේ දානවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ මේ වෙලාවෙ. ඊටත් වඩා මිනිහගෙ වාසනාවට (අපේ අවාසනාවට) ඒ මනුස්සයා මේ මගුලෙ පනත ගේන්න කලින් මේ ලෝකෙන් තුරන් වුණේ. නැත්නම් ඒ මනුස්ස⁣යගේ පවුලටත් සිද්ධ වෙන්නෙ හූල්ල හූල්ල ජීවත් වෙන්නයි, ඇප හම්බෙනකං. මොකද, ඒ ICCPR පනතට අහුවෙන්නෙ සාහිත්‍ය නිර්මාණයවත්, එහි යටිපෙළවත්, එහි නිර්මාණශීලිත්වයවත් නෙවෙයි ලියන කියන මිනිස්සුන්ව. (සමහර ලේඛණවල ඉතින් ඔය කියන සාහිත්‍යය, යටිපෙළ, නිර්මාණශීලීත්වය කොච්චර තියෙනව ද කියන එක වෙන ම බේරගන්න ඕන වැඩක්.) හැබැයි ඒකට අපරාධකාරයො අහුවෙන්නෑ."

මේ මොහොතේ දී මර්දනය සිදුවන්නෙ දේශපාලනයේ දී පමණක් ම නොවෙයි. එය නීතිමය ආභරණ ලා ගෙන බිල්ලන් සේ සාහිත්‍යය පසුපස ද හඹා එමින් ඇත. ලංකාවේ facebook එකේ අදහස් ප්‍රකාශනය පවා ඒ බිල්ලා විසින් මර්දනය කරමින් පවතී. මේවා අතිශය දේශපාලනික ය.


| දුලාජ් මධුශංක දේවපුර |