දයා තෙන්නකෝන් හෙවත් තෙන්නෙ දැන් අපට නැත.
සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව‘ රූගත කරන්නට පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගිය වේලේ තෙන්නෙ ගේ ගමන් විලාසය ද, යුනිවර්සිටිය තුළ අණසක පැතිරවීමේ බලය ද දැන හැඳින රඟපෑම සඳහා තෙන්නේ තෝරා ගත්තේ ය. එහි සහය අධ්යක්ෂ වූ ධර්මසේන පතිරාජ ගේ බලපෑම ද ඊට හේතුවන්නට ඇත.
එතැන් පටන් මිය යන තෙක් ම තෙන්නෙ විවිධාකාර වූ චරිතාංග සිනමාවේත්, වේදිකාවේත්, රූපවාහිනියේත් නිරූපණය කළේ ය. බොහෝ දෙනෙක් දන්නේ අන්න ඒ තෙන්නේ ය.
ඒත් මා මේ කියන්නේ බොහෝ අය නොදන්න තෙන්නෙ ගැන ය.
ඔහු රස්සාවට එන්නේ ජාතික ගුවන් විදුලියට ය. ක්‍රියාකාරී සහකාර තනතුරට ය. ඊට අයත් රාජකාරිය ශබ්ද පරිපාලනය ය. යූ ආරියවිමල්, ගුණදාස කපුගේ, තිලක් ජයරත්න, ඩබ්ලිව් ජයසිරි, Dublive Jayasiri,විජයානන්ද ජයවීර,
Wijayananda Jayaweera ග්‍රේස් ද සිල්වා (දැන් තෙන්නකෝන්), ෆීලික්ස් ඇන්ටන්,
වසන්ත ලංකාතිලක, Vasanta Lankatilake
නිමල් ලක්ෂපතිආරච්චි ආදී බොහෝ දෙනෙක් ගුවන් විදුලියට ආයේ ක්‍රියාකාරී සහකරුවන් ලෙස ය.
ඉන් පසු තෙන්නේ ගුවන් විදුලි අධ්‍යාපන සේවයේ නිෂ්පාදකවරයෙක් ලෙස උසස් වීම් ලැබී ය. ඔහු විශිෂ්ඨ ගණයේ අධ්‍යාපන වැඩසටහන් ගණනාවක් නිර්මාණය කළේ ය.
ලෝකයේ ගුවන් විදුලි හා රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් අතරින් හොඳ ම වැඩසටහන් තෝරන තරගයක් වෙයි. එය ලොව ම පිළිගන්නා කීර්තිමත් තරගයකි. සංවිධානය කරනුයේ ජපානයේ එන්එච්කේ ආයතනය විසිනි. එය ‘ජපන් ත්‍යාගය’ හෙවත් Japan Prize යනුයෙන් හැඳින්වෙයි.
1979 වසරේ ජපන් ත්‍යාගයේ විශේෂ අගැයීම් සම්මානය හිමි වුණේ තෙන්නේ නිෂ්පාදනය කළ ‘මුහුදෙ යුද්ධෙ’ නම් වැඩසටහනට ය. එහි පිටපත සැකසූයේ අපේ තාත්තා ඒ එච් පියසේන ය. සංගීතය සැපයූයේ ඔස්ටින් මුණසිංහයන් ය. අපි දු ඒ වැඩසටහනට කටහඬින් දායක වීමු.
එවර ජපන් ත්‍යාග සමරු කලාපය හා තෙන්නෙගේ නිෂ්පාදනය පිළිබඳ එහි වූ සටහන පින්තූර අතර ඇත.
ලංකාවට රූපවාහිනිය හඳුන්වාදීමත් සමග රූපවාහිනී සංස්ථාවේ සේවය සඳහා එක්වන්න යැයි තෙන්නෙට ආරාධනා ලැබුණේ රූපවාහිනී මාධ්‍යය පිළිබඳ ඔහු තුළ තිබූ අවබෝධය හා දැනුම හේතුවෙනි. නමුත් තෙන්නේ ඒ ඇරයුම් ප්‍රතික්ෂේප කළේ ය.
ඉන් ටික කලෙකට තෙන්නෙ පසු ‘සිනෙ වීඩියෝ’ නමින් රූපවාහිනී නිෂ්පාදන ආයතනයක් ආරම්භ කිරීමට හවුල් විය. එහි අධ්යක්ෂ මණ්ඩල සභාපතිත්වය දැරූයේ මහාචාර්ය නිමල් සේනානායක ය. අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූයේ ධර්මසේන පතිරාජ, දයා තෙන්නකෝන්, ඩබ්ලිව් ජයසිරි, ලයනල් වික්‍රම, එස් ඒ ප්‍රේමරත්න, බේබි අයියා නමින් ප්‍රසිද්ධ මහනුවර සමරතුංග සහ නීතිඥ අමරතුංග ය.
සිනේ වීඩියෝ ආයතනය මෙරට රූපවාහිනී කලාවේ ප්රගමනයට බෙහෙවින් දායක වූ ද, රූපවාහිනී මාධ්‍යය පෝෂණය කළා වූ ද ආයතනයකි.
සිනෙ වීඩියෝ නිෂ්පාදන බොහොමයක පිටුපස සිටියේ තෙන්නේ ය. එවක බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ඩී එස් අයි ආදී වෙළඳ දැන්වීම් ගණනාවක නිර්මාණ කාරියට තෙන්නෙ සම්බන්ධ විණි. වාර්තා වැඩසටහන්, ටෙලි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළේ ය.
ස්වර්ණවාහිනියේ ආරම්භක වැඩසටහන් කීපයක ම නිර්මාතෘ තෙන්නේ ය. ලංකාවට ආගන්තුක පවුල් හවුල් වැඩසටහන් මෙරට රූපවාහිනී මාධ්‍යයට හඳුන්වා දීමට තෙන්නේ පුරෝගාමී විය.
බොහෝ දෙනෙක් නොදන්නවාට ලංකා රූපවාහිනියේ මුල් ම වරට ගීතයක් සඳහා රූප රචනය කළේ තෙන්නේ ය. ඒ සංකල්පය යෝජනා කළේ ද ඔහු ය.
එවක රූපවාහිනියට බඩු මුට්ටු ගෙනැවිත් තිබුණ ද නිල විකාශන ආරම්භ වී නොතිබිණි. ගුවන් විදුලියේ අධ්‍යාපන සේවය මගින් නිර්මාණය කළ ළමා ගී මාලාව රට පුරා අසන්නන් අතර ජනප්‍රිය වී තිබුණු වකවාණුවයි ඒ. මේ ගී පෙළට අයත් මිරැන්ඩා හේමලතා ලියා, ඔස්ටින් මුණසිංහ සංගීතවත් කොට, මාලිනී බුලත්සිංහල ගැයූ ‘මේ රට මගෙ රට’ ආදී ගීතය තෝරා ගත් තෙන්නේ ඒ සඳහා රූපවාහිනියේ සේවය ගොස් සිටි පියදාස රත්නසිංහයන් උනන්දු කළේ ය. මහේල ජයවර්ධන නම් කුඩා දරුවෙක් ක්‍රිකට් පිත්ත අතැතිව රූපවාහිනී මාධ්‍යයෙන් පෙනී සිටි මුල් ම අවස්ථාව ද එය විණි.
මෙරට රූපවාහිනී මාධ්‍යයක් සඳහා සිදු කෙරුණු මුල් ම රූප රචනය එය ය. ලාංකේය රූපවාහිනී ගීත රූප රචනා කලාවේ පුරෝගාමියා දයා තෙන්නකෝන් ය.
මේ සමග ඇති කලූසුදු ඡායාරූපය මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි දඟකාර සිසුන් කීප දෙනෙක් 1958 වසරේ ගත් එකකි. මේ පින්තූරය සොයා දුන්නේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී පී බී ඉලංගසිංහයන් ය. එහි වමේ සිට දකුණට ඉන්නේ සරත්චන්ද්‍ර ගුණතිලක, පී බී ඉලංගසිංහ, දයා තෙන්නකෝන්, ජයතිස්ස හේරත් සහ ගුත්තිල නවරත්න ය.
තෙන්නෙ පොලිස් ඇඳුමෙන් සැරසී සිටින අනෙක් ඡායාරූපය මා නිර්මාණය කළ ‘සන්සුන්ගම අන්දරය’ ටෙලි නාට්‍යයෙනි. මා තැනූ ‘අඳුකොළ’ සහ ‘සන්සුන්ගම අන්දරය’ යන ටෙලි නාට්‍ය දෙකෙහි ම තෙන්නෙ චරිත නිරූපණය කළේ ය. එපමණකුදු නොව ඒ නාට්‍ය නිර්මාණයේ දී මා මුහුණ දුන් බොහෝ ගැටළු හා අර්බුද වල දී මට හයිය දුන්නේ ය.
තෙන්නෙ අපට සිටි ඉතා හොඳ මිත්රයෙකි. ඔහු හා මිත්‍ර සමාගම් පැවැත්වීම පිළිබඳ වෙනම ම පොතක් ලියන්නට තරම් කතාන්දර ඇත. සමහර කතාන්දර ප්‍රකාශ කළ හැක්කේ සීමිත පාඨක සංඛ්‍යාවක් අතරේ පමණි!
ඕනෑම සභාවක දී හමුවී වෙන්ව යන අවස්ථාවේ දී ‘ටෑංට ටෑං!!’ කියා සමුගැනීම තෙන්නෙගේත්, අපේත් සිරිත යි. පතී ගේ ‘අහස් ගව්ව‘ චිත්‍රපටයේ තරුණයන් සමුගනිද්දී ‘ගිහිල්ලා එන්නම්’ හෝ ‘යන්නම් මචාං’ හෝ ‘බායි’ හෝ කියන්නේ නැත. ඔවුන් ගේ සමුගැනීමේ ප්‍රකාශය ‘ටෑංට ටෑං’ ය.
අවසන් වරට කදේ වැටෙන්නට හැකි පසුබිමක තෙන්නෙ මට හමුවූයේ ගයනි ගිසන්තිකාගේ Gayani Gisanthika පොත දොරට වැඩිය දා ය. එදින ද සුපුරුදු පරිදි අපි ටෑංට ටෑං කියා සමුගතිමු.
ආයේ ටෑංට ටෑං කියා සමුගන්නට දයාරත්න බණ්ඩාර තෙන්නකෝන් අප අතර නැත.
මචාං තෙන්නේ. . . ටෑංට ටෑං!!!
| සටහන - සමන් අතාවුදහෙට්ටි මහතාගේ ෆේස්බුක් පිටුවෙනි |