' බයිස්කෝප් රජා සහ රැජිනිය පෙරෙයිදා කොළඹට ' මේරි සමග ඩේලි කළ සම්මුඛ සාකච්ඡාවක් එළියට !

' බයිස්කෝප් රජා සහ රැජිනිය පෙරෙයිදා කොළඹට ' මේරි සමග ඩේලි කළ සම්මුඛ සාකච්ඡාවක් එළියට !

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ උපන් ඩග්ලස් නළුවෙක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් මෙන්ම තිර නාටක රචකයක් ලෙස ද නමක් දරා සිටියේය. අමෙරිකාවේ සුප්‍රකට යුනයිටඩ් ආටිස්ට් සමාගම ආරම්භ කරන්නට එක්වූ සිනමා කලාකරුවන් සිවුදෙනාගෙන් (ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත්, චාලි චැප්ලින්, මේරි පික්ෆෝඩ්) එක් අයෙකු වූ ඩග්ලස් ඔස්කාර් සම්මාන පිරි නමන අමෙරිකානු චලන චිත්‍ර ඇකඩමියේ ද නිර්මාතෘවරයෙක් විය. පළමුවැනි ඇකඩමි සම්මාන උලෙළ මෙහෙයවන ලද්දේද ඩග්ලස් විසිනි. ඩග්ලස් හා මේරි යන දෙදෙනාගේම දෙවැනි විවාහයන් වූ අතර ඒ වනවිට ඩග්ලස් එක් දරු පියෙකු ද විය. කෙසේ වෙතත් මේ විවාහය ඔවුන් සිනමා ලොව ඉහළටම ගෙන ඒමට සමත් විය. ධනය හා කීර්තිය ද ඔවුන් දෙදෙනා එක දිගට දිනා ගත්තේ මේ අවදියේය.

මේ අවුරුදු 90 කට කලින් වසර, එසේත් නොමැතිනම් 1929 වර්ෂයයි. එවකට ලොව ප්‍රසිද්ධම සිනමා තාරකා යුවළ ලංකාවට පැමිණෙන්නේ මේ වසෙර්දියි. මෙය ඉතාමත් දුර්ලභ හා අහඹු අවස්තාවක් බැවින් එවකට තිබු පුවත්පත් අතර මොවුන්ගේ සම්මුඛ සාකච්ඡාවක් පල කරගැනීමට විශාල තරඟයක් ඇතිවිය. ඒ වකවානුවේ ලොව ඉහළම සිනමා තාරකා යුවල ලෙස නම් දරා සිටියේ ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් සහ මේරි පික්ෆෝඩ් යුවලයි. සිනමා පුවත්පත් මගින් ඔවුන් දෙපළ හඳුන්වා දෙනු ලැබුවේ සිනමා රාජ්‍යයේ රජු සහ රැජන ලෙසයි. එබැවින් ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක සිදුවූ මෙකී සවාරිය ලෝකය පුරා කාගේත් කතාබහට ලක්විය. එම සවාරියට ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳවද මෙරට පුවත්පත් ප්‍රධාන අවධානයක් යොමු කරද්දී ඩග්ලස් හා මේරි යුවළගේ ලංකාගමනය පිළිබඳව මුලින්ම පළවෙන්නේ 1929 වසරේ නොවැම්බර් 11 වැනිදායි. නොවැම්බර් 23 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත මෙම යුවල පිළිබඳ ඔවුන් පැමිණීමටත් පෙර සිටම විශාල ප්‍රසිද්ධියක් ලබා දීමට එකළ පුවත්පත් කටයුතු කර තිබේ.

මේ 1926 නොවැම්බර් 23 වැනිදායි. පුවත්පත් වාර්තා කරන අන්දමට එදින මේ හොලිවුඩ් රාජකීයයෝ පැමිණෙන්නේ පී ඇන්ඩ් ඕ කැතී නම් නෞකාවෙනි. යුවළ දැක ගන්නට දහස් ගණනක් කොළඹ වරාය අවට රැස් කකා සිටිති. මේ යුවල සමග ඔවුන්ගේ ලේකම් වූ ලෙවිස් මහතා හා මහත්මිය ද පැමිණ ඇත. ඔවුන්ගෙන් සමරු සටහනක් ලබා ගන්නටද පිරිස පොර කා ඇති අතර ඔවුන් අසීරුවෙන් මෝටර් රථයට ගොඩ වැදී තිබේ. කොළඹින් පසු ඔවුන් ගමන් කර ඇත්තේ මහනුවරට වන අතර දළදා මාලිගාව නැරඹීමට ගිය ඔවුන් ක්වීන්ස් හෝටලයේ නතරව ඇත. මේ අයුරින් විවිධ පුවත්පත්වල පුවත් පළ වී තිබිණි.

කෙසේ හෝ පුවත්පත් වල ඊළඟ අභිප්‍රාය වුයෙ මෙම ඩග්ලස්, මේරි යුවලගෙන් පුවත්පත් සාකච්ඡාවක් ලබා ගැනීමයි. අවසානයේදී මෙරටදී සිනමා රාජ්‍යයේ රජු සහ රැජන ලෙස හැඳින්වූ නළු නිළි යුවලගෙන් පුවත්පත් සාකච්ඡාවක් ලබා ගැනීමේ භාග්‍ය හිමිවුණේ ඩේලි නිව්ස් පුවත්පතටයි. එහිදී ලේක් හවුස් වාර්තාකරු සමග කරන ලද සාකච්ඡාව මෙරට දී සිනමා නළු නිළි යුවළක් සමඟ කළ මුල්ම සාකච්ඡාව ලෙසද ඉතිහාසගත විය. මේ නිසාම ඩේලි නිවුස් පුවත්පත මේරි පික්ෆෝඩ්ගේ පිතුරයක් යොදා පික්චර් ෂෝ නමින් වාර්ෂික සිනමා සඟරාවක් පවා අලෙවි කිරීමට කටයුතු කර තිබේ. පිටපතක මිල රුපියල් 3.50 ක් ලෙස සටහන්ව තිබු එම පික්චර් ෂෝ සඟරාව කොළඹ බේලි වීදියේ (දැන් මුදලිගේ මාවත) පිහිටි ද කෝප් ලිමිටඩ් ආයතනයේ අලෙවිය සඳහාද තබා ඇති අතර එයට විශාල ඉල්ලුමක්ද ලැබී තිබේ.

ඩේලි නිවුස් පුවත්පත සිදුකළ සම්මුඛ සාකච්ඡාව ඇසුරු කරගනිමින් දිනමිණ පුවත්පතේ පළ කරන ලද වාර්තාවක් අපට හමුවිය.

" බයිස්කෝප් රජා සහ රැජිනිය පෙරෙයිදා කොළඹට ගොඩ බැසීම " 

කාතේ නෞකාවෙන් ලක්දිවට පැමිණි චිත්‍ර නෘත්‍ය ලෝකයේ රජා සහ රැජිනිය වූ ඩග්ලස් පෙයාර්බෑන්ක්ස් මහතා සහ නෝනා (මේරි පික්ස්පර්ඩ් දර්ශනය කිරීමේ අභිලාෂයෙන් රැස් වූ ජනයාගෙන් පෙරෙයිදා මගීන් ගොඩ බසින පාලම පිරීගොස් තිබුණේය.

නැව වරායට ඇතුල්වූ කෙනෙහි උනන්දුවූ පිරිස එහි උඩ තට්ටුවට ගියාය. ඩග්ලස් සහ මේරි වෙනින් තට්ටුවකට වී පොත් වගයක අත්සන් කරන බැව් ආරංචි වුණි. පෙයාර්බෑන්ක්ස්ට මල්මාලාවක් පැලඳවීමෙන් ද නෝනාට මල් කලඹක් පිළිගැන්වීමෙන් ද ගෞරව කරන ලදහ. ඊළඟට මේ දෙපොළ කැමරාකාරයන් ගොඩකට අසුවූහ.

බොහෝ දෙනාගේ ඉල්ලීම්වලට ඇහුම් කන් දුන් පසු බයස්කෝප් රජා ස්වකීය පිරිසත් සමග බෝට්ටුවකට නැගුණේය. බෝට්ටුව නැව්තොටේ පාලමට සේන්දු වන කොටම ‘හලෝ ඩග්ලස් ආයුබෝවන් ඩග්ලස් යනාදි ප්‍රීතිඝෝෂා රැස්වහුන් පිරිස අතරින් නික්මුණි. ඩග්ලස් සහ මේරි ඉතා අමාරුවෙන් මග රැක සිටි ජනයා ගෙන් බේරි මොටෝ රියකට නැගී ගෝල්පේස් හෝටලයට ගියෝය.

මේරි හෝටලයේ දී පත්‍ර නියෝජිතයා සමග කථා කරමින් නිශ්ශබ්ද පින්තූර සහ ශබ්ද විහිදෙන චිත්‍රපටි පිළිබඳ විස්තර කළාය. කොට ගවුම ඇඳීම ශිෂ්ටාචාරයට ගැළපෙන බවත් කොට ගවුම හෝ දිග ගවුම ඇඳීමෙන් කේශ කලාපය කැපීමට බාධාවක් නොවන බවත් දිග කෙස් වලට තමා අසතුටු බවත් කාලය පැමිණිය හොත් හිසකේ වඩන බවත් ඕතොමෝ ඇඳුම් සම්බන්ධයෙන් කීවාය. මීළඟට ඩග්ලස් කථාව ආරම්භ කළේය. පෙයාර්බෑන්ක්ස් වඩා සතුටු මොන කිවිවරයාටදැයි පිළිවිසුයේය.

‘මම චිත්‍ර නෘත්‍යවලට බැඳුන අලුත නම් බොහොම දෙනෙක් සිටියා. තාගෝර් එයින් එක් කෙනෙක්.මම අවුරුදු ගණනකින් පොතක් බැලුවේ නැහැ.“ යනු මේ දක්ෂ නළුවාගේ පිළිතුර විය. තමා ඉදිරියේ කුමක් කරන්ට යනවාදැයි කියන්ට තමාම නොදන්න බවත් ජීවිතයේ ඉතිරි කොටසේ දී කිසිත් නොකිරීම තම ආශාව බවත් පෙයාර්බෑන්ක් අවසාන වශයෙන් කීය.

මේ යුවළ මෙරට රැඳීසිටියේ එක් දිනකි. මහනුවර සංචාරයෙන් පසු ඔවුහු දිවයිනෙන් බැහැරව සිංගප්පූරුව හා පිනෑන්ග් ඇදී නගරවලට ගොඩ බසින බව දිනමිණ වාර්තාව සඳහන් කරයි. ඩේලි නිවුස් පුවත් වාර්තාවේ මෙයට වඩා දීර්ඝ වාර්තාවක් සඳහන් විය. ර්ඒඅක ඩ්ධ්ඉ ඕධ්ට් ඊඩ්අධ්ඹ්ඹ් යන මැයෙන් යුත් ඩේලි නිවුස් වාර්තාව සිනමා නළු නිළි යුවළක් සමග කාලයේ හැටියට කළ හොඳ වර්ගයේ සම්මුඛ සාකච්ඡාවකි. ඒ වන විට පැතිරෙමින් තිබෙන කථානාද සිනමාව පිළිබඳ අසන ප්‍රශ්නයේ දී ඩග්ලස් පිළිතුරු දෙන්නේ තවමත් එය අමාරු කාර්යයක් හැටියටය. එමෙන්ම මේ නළු නිළි යුවල සිනමාවේ යාවත්කාලින වීම අරභයා පැරණි හණමිටිය කර ගහ ගත් යුවළක් ලෙස හැඟී යයි. දෙබස් කැවීම් කොතරම් හොඳ වුවත් ශබ්ද උපකරණවලදී කෙඳීරිය ගර්ජනාවක් විය හැකි බව ෆෙයාර්බෑන්ක්ගේ මතයයි . එහෙත් මේ වන විට හොලිවුඩ් සහ ජර්මනියේ දක්ෂ තාක්ෂණික ශිල්පීන් සිටින බැවින් ඉදිරියේ දී තත්ත්වය වෙනස් වනු ඇතැයි ඩග්ලස් එහි අනුමාන කොට ඇත. එමෙන්ම ඉදිරියේ දී වර්ණය සහ ශබ්ද සහිත අංග සම්පූර්ණ හැඩ ඇති සිනමා රුවක් දැක ගත හැකි වනු ඇති බව ෆෙයාර්බෑන්ක්ස් බලාපොරොත්තු පළ කරයි.

මේරි සඳහන් කරනුයේ කතානාද චිත්‍රපට වලට වඩා වැඩි යමක් නළු නිළියන්ට නිහඬ සිනමාවේ කළ හැකි බවකි. සති අටක් හොලිවුඩයෙන් බැහැරව සිටි විට මුළු ක්‍රමවේදයම අලුත් ව ගොස් ඇති වග ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම අනාගතයේ මුළු ලෝකයේම සියලු පාසල් අධ්‍යාපනය සදහා සිනමා භාවිතාව කරනු ඇතැයි ඇය අපේක්ෂා කළාය.

| සරසවිය පුවත්පත් ඇසුරෙනි |