Booker අවසන් වටයට ප්‍රථම වරට ශ්‍රී ලාංකේය නව කතාවක්

Booker අවසන් වටයට ප්‍රථම වරට ශ්‍රී ලාංකේය නව කතාවක්

ජාත්‍යන්තර බුකර් සාහිත්‍ය සම්මානයේ අවසන් වටයට ප්‍රථමවරට ශ්‍රී ලාංකේය නවකතාවක් නිර්දේශ වී තිබෙනවා. ඒ මෙවර එහි කෙටි ලයිස්තුව ( Short list) සඳහා නිර්දේශ වී ඇති ශ්‍රී ලාංකේය  නවකතාකරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් විසින් රචිත A Passage North (2021)  නවකතාවයි.

මෙරට පැවති සිවිල් යුද්ධය නිසා දැඩි කම්පනයට පත්ව නැවත යථා තත්වයට පත්වූ දෙමළ ජාතිකයකු වටා මෙම නවකතාව ගෙතෙනවා. මේ ඔහු ලියූ දෙවන නවකතාවයි.

අනුක්ගේ ප්‍රථම නවකතාව 'A story  of a brief marriage '(2016)  වන අතර එය භාෂා කිහිපයකට පරිවර්තනය වී තිබෙනවා. 

මීට පෙර ලාංකේය නවකතාකරුවකු ලෙස මයිකල් ඔන්ඩච්චි විසින් ' The English Patient ' නවකතාව සඳහා 1992 බුකර් සම්මානය  ලැබූවත් ඔහු ශ්‍රී ලංකාවේ උපත ලද නමුත් කැනේඩියානු සම්භවයක් සහිත පුද්ගලයෙක්. 

බුකර් ජාත්‍යන්තර සාහිත්‍ය සම්මානය පිදෙන්නේ ඉංග්‍රීසියෙන් රචනා කරන ලද  සහ ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබූ  නවකතා සඳහායි. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍යයන්වල හා අයර්ලන්තයේ නවකතා මේ සඳහා ඉදිරිපත් කළ හැකි වෙනවා. ලෝක සාහිත්‍ය වෙනුවෙන් මෙම උළෙල වාර්ෂිකව පවත්වනු ලබනවා. 

2021 බුකර් සම්මාන උළෙලේ අවසන් වටයේ නිර්දේශ ඊයේ (සැප් 14) නිවේදනය කළ අතර නොවැම්බර් මස 03 වනදා එහි ජයග්‍රාහකයා නිවේදනය කිරීමට නියමිතයි. 

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර සාහිත්‍යට ගෙන ගිය අනුක් අරුද්ප්‍රගාසම් ට comrade.lk උණුසුම් සුබ පැතුම් !

| සසංකා විතානගේ |