බතික් 04 කොටස - “ඔයා අනිත් කෙල්ලොන්ටත් ඕකම ද කිව්වෙ ?”

බතික් 04 කොටස - “ඔයා අනිත් කෙල්ලොන්ටත්  ඕකම ද කිව්වෙ ?”

බතික් මෙතෙක් කතාව..

සමන්ති කොළඹ සිට දුම්රියෙන් වැලිගම යන්නේ බතික් ඇඳුම් ගෙනෙන්නට ය. ඒ විකිණීම පිණිස ය. මේ ගමනේදී ඇයට මිලින්ද මුණගැසෙයි. ඔවුහු ප්‍රේමයෙන් බැඳෙති. සින්ටි අම්මා දුම්රියේ ඉඟුරු දෝසි විකුණන ගැහැණියකි. දිනක් මිලින්ද ඇසුරු කළ කෙල්ලන් ගැන සින්ටි අම්මා සමන්තිට කීවාය. සමන්ති - මිලින්ද පළමු ප්‍රේම සංග්‍රාමය ආරම්භ විය. සිග්නල් නැතුව නතර වූ දුම්රියෙන් එළියට පැන ගත් මිලින්ද ගාලුපාර දෙසට දිව ගියේ මුහුද දෙස බලමිනි.අද එතැන් සිට...

bathiknovel1236yt

මිලින්ද බැස ගිය තැනින් මුහුදට ඇදුණු අඩිපාරේ පළමුව අඩි තැබුවේ මිලින්ද යැයි එදා සමන්තිට සිතුණත් මෙය නිතර නිතර මිනිසුන් එහා මෙහා යන අඩිපාරක් බව ඇය පසුව අවබෝධ කරගත්තා ය.

එදා මඟින් බැස ගිය මිලින්දට යළි සමන්තිගේ දුම්රියට ගොඩවන්නට මාස තුනක් පමණ ස්ටේෂන්වල රස්තියාදු ගසන්නට සිදු විය. ඒ මාස තුන තුළ විටෙක මිලින්දගේ මුහුණ පුරා රැවුල වැවුණි. තවත් විටෙක කැරලි කොණ්ඩය සම්පූර්ණයෙන් බූගා තට්ටයට ඉඩදුණි. නිතර පිළිවෙලට යට කළ කමිස විසිවී රස්තියාදු ටී ෂර්ට් ඇඟට වැටුණි. කකුලට බාටාත් ඔලුවට තොප්පිත් ඉඳහිට වැටුණි.

සමන්තිගේ දුම්රියට මිලින්ද නැවත ගොඩ වූ ස්ටේෂමට ඔන්න මෙන්න කියා තිබිය දී සමන්ති සිය ගමන්මළු ද රැගෙන නැගී සිටියා ය.

‘වැලිගම’

සුදුපාට පසුබිමේ කලු අකුරෙන් ලියා තිබෙන මේ බෝඞ් ලෑල්ල ජීවිතේ කොතරම් කාලයක් කියවා තිබුණත් සෑම කියවීමක්ම නැවුම් නිසා සමන්ති අදත් ඒ බෝඞ්ලෑල්ල අලුතින් කියෙව්වා ය. මෙතැන් සිට ඉදිරි පියවර කිහිපයම සිදු වූයේ පෙර පුරුදු ලීලාවෙනි. කෝච්චිය නතර කළ පසු පාපුවරුවෙන් ෆ්ලැට්ෆෝමයට අවතීර්ණ වූ සමන්ති ඇගේ නෙත රැදිමානයේ තවමත් විරාජමානව සිටින ‘වැලිගම’ බෝඞ් ලෑල්ල යට ට ඇදුණේ යළි අතීත මතකයට ඉඩදෙමිනි.

" මං බොරුකාරයෙක් තමයි. ඔයාට ගොඩක් බොරුකරා. මං නෑ කියන්නෙ නෑ. සමන්ති හැබැයි මං ආශ්‍රය කරපු අනිත් හැමකෙල්ලෙක්ටම වඩා මම ඔයාට ආදරෙයි."

මිලින්ද සිය පාපොච්චාරණය එලෙසින් ඇරඹුවේ මේ බෝඞ් ලෑල්ල යට දී ය.

“ඔයා අනිත් කෙල්ලොන්ටත් ඕකම ද කිව්වෙ...”

“මං දන්නවා ඔයා ඔහොම කතාවක් කියයි කියලා. කැමති දෙයක් හිතාගන්න. ඒකට කමක් නෑ. මං අද ඔයාගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි. පුළුවන් නම් මට සමාව දෙන්න. මං පොරොන්දු වෙනවා ඔයාට මගෙන් අතින් මීට පස්සෙ කිසිම වැරැද්දක් වෙන්නෙ නෑ කියලා”

ඡන්ද පොරොන්දුවකටත් වඩා අන්ත බොළඳ පොරොන්දුවක් වුවත් සමන්ති එදා ඒ පොරොන්දුවට මනාපය පළ කළේ ඒ වන විටත් ඇය සිය ජීවිතයේ බොහෝ දේ මිලින්ද වෙනුවෙන්ම කැප කළ නිසාත් මොන වරද කළත් මිලින්දගෙන් මිදෙන්නට නොහැකි තරමට ඇගේ සිතේ ඔහු ගැන ඇති අසීමිත ආලය නිසාත් ය.

“සමන්ති... උඹ කොහෙද මෙහේ...”

ස්ටේෂමෙන් එළියට එන සමන්තිට ඒ ප්‍රශ්න යොමු කළේ සුමනා ය.

“මාර ප්‍රශ්නයක්නේ උඹ අහන්නෙ... මගේ ගමට මට එන්න බැරිද...?”

“ඔහෙලගේ ගම දැන් කොළඹනේ... මක්කටය මෙහෙ එන්නෙ...?”

සමන්තිගේ පාසල් මිතුරියක වූ සුමනාගේ කතාබහ ලෙංගතුය. එය තාමත් එදා පරිදිම ය. කතා කරන නිමේෂන් කිහිපය තුළ සමන්ති සුමනාගේ රූපකායම තියුණු පරීක්ෂාවකට ලක් කළා ය. බැලූ බැල්මට ම ඇය වයසට වඩා මහළු වී ඇත.

“මොකද සුමනා මේ උඹලට වෙලා තියෙන්නෙ.... කොණ්ඩෙත් සුදුවෙලා. ඇගපතත් ඇදිලා ගිහිල්ලා”

“අපිට ඉතින් ඔහෙලට වගේ කොළඹ සැප නෑනේ...”

“කොළඹ සැප වැඩිකමට තමයි.. මාත් මේ ගමේ ගාටන්නේ...? ඔය කොණ්ඩෙ පොඞ්ඩක් කළු කරගෙන පිළිවෙළකට හිටපන්කෝ....”

“ ඕවා කළු කරා කියලා දැන් මොකා බලන්නද...? ඔහෙ නම් තාම ඒ විදියමයි. සුදුගවුමක් අන්දලා ගත්තා නම් ඉස්කෝලෙ යවන්නත් තිබුණා. මිලින්දත් ඒ වගේ ඇති”

“එයා මට වඩා තරුණයි”

“ඒ දවස්වලත් ගාමිණි ෆෝන්සේකා වගේනේ”

දෙදෙනාගේ කතා බහ තවත් බොහෝ දුරට ඇදෙන්නට නියමිත වුවත් සමන්ති එය අතරමඟට කොමාවක් දැමුවේ වැලිහිඳ බලායන සීටීබී බස්රථය මිස්වීම වලක්වා ගනු පිණිස ය.

“මහගෙදර පැත්තෙ යනවා නම් අපේ දිහාත් ඇවිල්ලා යන්න”

“අද එහෙ යන්න වෙන්නෙ නෑ. බඩු ටික ගත්ත ගමන් හවස කෝච්චියේ ආපහු යනවා. ඊළඟපාර එනකොට උඹලගේ ගෙවල් පැත්තෙ එන්නම්”

සුමනාට සමුදුන් සමන්ති දැන් වැලිහිඳ බලා යන බස්රථයේ පුරුදු අසුනේ ය. ටිකට්පත වෙනුවෙන් නියම ගාණට වෙන් කළ සිල්ලර කාසි කොන්දොස්තර අත තැබූ ඇය වහා සුමනා සොයා ගියා ය.

එවක වැලිගම සිට සුන්දරම තරුණියන් කිහිපදෙනා අතර සුමනා සිටියේ ඉදිරියෙනි. සමන්තිට පවා ඉරිසියා හිතෙන තරමේ සුන්දරත්වයකින් ඇය පිරිපුන් ය. කාටත් කලින් වැඩිවියට පත් වූයේ ද සුමනා ය. මේ නිසා ම ජීවිතයේ බොහෝ දේ කාටත් කලින් ම ඇය වෙත පැමිණියා ය. සමවයස් මිතුරු කල්ලියේ පළමු වතාවට බ්‍රෙසියරයක් ඇන්දේ සුමනා ය. කොල්ලෙක්ගේ අතේ එල්ලී වැල්ලේ රවුම් ගැසු පළමු මිතුරිය සුමනා ය. කොල්ලෙක් සමඟ යහන්ගත වී ඒ අත්දැකීම් පළමුව හෙළිකළ මිතුරිය ද සුමනා ය. ඒ දිනය සමන්තිට අද මෙන් මතක ය.

“ඉතින් කියපන් මොනවද තව කරේ..?”

“ඔච්චර තමයි... එකින් එක කරපුවා කියන්න බෑ”

“පුදුම ලැජ්ජාවක්නේ උඹට තියෙන්නෙ...?”

“එයත් ඔහොම තමයි කිව්වෙ”

“අනේ අනේ සුමනා කියනවකෝ තව මොනවද කරේ...?”

“ඒවා එහෙම කියන්න බෑ... උඹලත් ඕනෙ නම් කොල්ලෙක් එක්ක ගිහින් බලපන්. එතකොට ඒවා කරලම බලාගන්න පුළුවන්”

සුමනා ඒ යෝජනාව කළ අවදියේ සමන්තිට සිතුණේ ඇය මහා පාපකර්මයකට තමන්ව ඇඳ දමන්නට සැරසෙන බවයි. එහෙත් වැඩිකල් යන්නට පෙරාතුව ඒ සිතුවිල්ල මිත්‍යාවක් බවට පත් කරන්නට මිලින්ද පෙරමුණ ගත්තේ ය. වැලිගම සිට වැලිහිඳට ඇත්තේ කෙටි දුරකි. කොට කොට යන බසරථය මේ කෙටිදුර
ගෙවා දමන්නට පැය භාගයකට වඩා කාදමයි. වෙනදා මේ පැය භාගය සමන්තිට මහා හිසරදයක් සේ දැනුණමුත් සුමනාගේ මතකය විසින් අද ඒ හිසරදය ඇය වෙත ළං නොකළා ය.

“වැළිහිඳ බහින්න... වැළිහිඳ බහින්න....”

සමන්ති පාපුවරුවට ළං වන විට කොන්දොස්තර එක්වනම අමුතු ඉංග්‍රීසියකින් කතාකරන්නට පටන් ගත්තේ ය.

“වැලිහිඳ කමින් වැලහිඳ කමින්... බතික් පොට්.. බතික් පොට්... යූ ගෝ බතික් පොට්...දිස් ඊස් වැලිහිඳ”

සමන්ති වහා හිසහරවා බස්රථය තුළට එඹිකම් කළේ නිසැක වශයෙන්ම බතික් බලන්නට යන සුද්දෙක් බසයේ සිටී යන සැකයට ය. ඇගේ සාධාරණ සැකය ඔප්පු කරමින් කොණේම අසුනේ අසුන්ගෙන සිටි සුදුජාතික යුවලක් ඉදිරියට ආහ. ඔවුහු ඉදිරියට පැමිණෙන අතර කොන්දොස්තරගෙන් තවත් ප්‍රශ්නයක් ඇසූ නමුත් ඔහුට මෙලෝ දෙයක් නොතේරුණි.

“නෝනා... බතික් ගෙදරට නේද යන්නෙ.. මේ දෙන්නත් මං හිතන්නෙ එහෙ යන්නෙ...පොඞ්ඩක් කතා කරලා එතැන්ට එක්කන් යන්නකෝ”

එසේ කියමින් කොන්දෝසතර හස්තමුද්‍රාවත් සිංහල ඉංග්‍රිසි කවලම් බාසාවත් දමමින් සමන්තිගේ සහාය ඔවුන්ට ලැබෙන බව සුදු යුවලට ඒත්තු ගැන්විය.

“කැන් යූ හෙල්ප් මී..?”

සුද්දිගේ පැනය අවබෝධ වුවත් එයට ඉංග්‍රිසියෙන් පිළිතුරු ගලපා ගැනීමට තරම් සමන්තිගේ ඉංග්‍රිසි දැනුම අසමත් ය. එහෙත් ඇය පලා නොගියා ය.

“යර්ස් කැන්”

 

(මතු සම්බන්ධයි)

| අසංක සායක්කාර |

බතික් 01 කොටස - රුහුණු කුමාරි

බතික් 02 කොටස - ඉඟුරු දෝසි

බතික් 03 කොටස - තානායම් ඉඩම්