බතික් 03 කොටස - තානායම් ඉඩම්  

බතික් 03 කොටස - තානායම් ඉඩම්   

බතික් මෙතෙක් කතාව..
සමන්ති කොළඹ සිට දුම්රියෙන් වැලිගම යන්නේ බතික් ඇඳුම් ගෙනෙන්නට ය. ඒ විකිණීම පිණිස ය. මේ ගමනේදී ඇයට මිලින්ද මුණගැසෙයි. ඔවුහු ප්‍රේමයෙන් බැඳෙති. සින්ටි අම්මා දුම්රියේ ඉඟුරු දෝසි විකුණන ගැහැණියකි. දිනක් සින්ටි අම්මා මිලින්ද ගැන සමන්ති සමග යමක් කීමට සැරසෙයි. අද එතැන් සිට...bathiknovel1236yt

 

 

මෙතෙක් කල්මරමින් සිටි සින්ටි අම්මා, මිලින්දගේ චරිත සහතිකය සමන්ති ඉදිරියේ දිගහැරියා ය.

“ඔහේ මං කියන දේවල් වැරදියට තේරුම් ගන්න එපා. ඔය කාලෙ හැම කෙල්ලෙක්ම අන්ධයි.”

එලෙස ආරම්භ කළ මිලින්ද චරිත සහතිකයේ ඉතිරි වාක්‍ය ඉතාම රළු භාෂාවකින් ලියවුණි.

“මගේ ඇස්පනා පිටම මේ කොච්චියේ ඔය කොල්ලා කෙල්ලො දහයක් දොළහක් එක්ක ගිහින් තියෙනවා. පොත්ත රතු නිසා ඕන කෙල්ලෙක් මිලින්ද දෙපාර බලනකොට රැවටෙනවා නෝනා.”

සමන්තිගේ ඔලුවට කුළුගෙඩි පහරවල් වඳින තරමේ වේදනාවක් දැනුණු මුත් ඇය ඉවසාගෙන සින්ටි අම්මාට දිගටම කතා කරන්නට ඉඩ හැරියා ය.

“නෝනා එක්ක කෝච්චියේ යන විදියටම තමයි ඔය හැම කෙල්ලත් එක්කම මිලින්ද මහත්තයා ගියේ. කරුමෙ කියන්නෙ මාසෙන් දෙකෙන් මිලින්ද මහත්තයාගේ අත අල්ලන් ඉන්න කෙල්ලෝ වෙනස් වෙන එක.”

“සින්ටි අම්මා මට මේවා කියන වගේ ඒ කෙල්ලොන්ටත් මිලින්ද ගැන කියලා තියෙනවද...?”

“නෑ නෝනෙ.. ඒ කෙල්ලොන්ට ඕවා කියන්න හිත හදාගන්නකොටම ඒ සම්බන්ධකම් ඉවර වෙලා. නෝනෙ විතරයි මිලින්ද මහත්තයාගෙ අතින් මෙච්චර කාලයක් අල්ලන් හිටියෙ. ඒ නිසයි මේ ටික මම නෝනෙට කිව්වෙ”

සින්ටි අම්මා තවත් බොහෝ දේ හෙළිකළා ය. ඒ හෙළිදරව්වලින් 90%ක්ම කෝච්චිය ඇතුළෙ අත්දැකීම් ය. සමන්තිට දරාගැනීමට අපහසුම වූයේ කෝච්චියෙන් එපිට 10% යයි.

“... ඔය තානායම් ඉඩම උඩින් තමයි මම කෝච්චියට පරක්කු වෙනකොට දෝසි කූඩෙත් උස්සන් දුවන්නෙ. දවස් හතර පහ තානායම් ඉඩම උඩදී මිලින්ද මහත්තයාව මගේ ඇහැට ඇහ හම්බෙලා තියෙනවා...”

“ඇති සින්ටි අම්මෙ ඔය ඇති... වෙච්ච දේවල් ඔයිට වඩා දැනගන්න මට ඕනෙ නෑ. මට මේ දේ විතරක් කියන්න..”

“අහන්න නෝනා ඔහෙට මම කිසිදෙයක් හංගන්නෙ නෑ.”

“මිලින්ද මාත් එක්ක යාලුවුණාට පස්සෙත් සින්ටි අම්මට වෙන කෙල්ලොත් එක්ක එයා කෝච්චියේ යනවා හරි වෙන තැනකදි හරි හම්බවෙලා තියෙනවද...?”

සින්ටි අම්මා මදක් නිහඬ වූයේ එවැන්නක් ගැන කල්පනා කරන බව අඟවන්නට ය.

“තාම නෑ”

“එහෙම දැක්ක දවසට සින්ටි අම්මා මට ඒක ඇවිත් කියන්න ඕනේ”

මිලින්දගේ අතීත චර්යාව අමතක කරදැමීමට සමන්ති තීරණය කළේ ඔවුන්ගේ වර්තමානය අතීතයට වඩා දුර දිග ගොස් ඇති බැවිනි. මිලින්ද යනු සමන්තිගේ පළමු පෙම්වතා වුවත් සමන්ති යනු මිලින්දගේ පළමු පෙම්වතිය නොවන බව සමන්ති දැනගත්තේ මේ සම්බන්ධය ආරම්භ වූ මුල් දිනවල දී ය. ඒ මිලින්දගේම කටිනි.

“මම අහන්නේ නෑ ඔයා මීට කලින් කොල්ලොත් එක්ක යාලුවෙලා ඉඳලා තියෙනවද කියලා. ඒවා මට වැඩක් නෑ. ඔයාත් ඒවා මගෙන් අහන්නෙ නැති තරමට හොඳයි. බොරු කියන්න ඕනෙ නෑනේ ඔයාට කලින් මම කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලුවෙලා හිටියා. ඒවා එකක්වත් ඇත්තටම කරපු ලව් නෙමෙයි. නිකන් ජොලියට කරපුවා”

කෝච්චිය අහංගම නතර කරන විට සමන්ති පුරුද්දට මෙන් නැගීසිටියි. ලදුදෙ සීටයට ඉහළින් ඇති ගමන්මලු රඳවන රාක්කයේ ඇති විශාල ගමන් මල්ල ඇය පිටතට ගන්නේ මේ නැවතුමේ දී ය. ඊළඟ නැවතුමෙන් බැස යා යුතු නිසා සියල්ල සූදානම් කර ගත යුතු ය. ගමන්මල්ල විශාල වුවත් එය රාක්කයේ සිට සමන්තිගේ අතට එන්නේ පුළුන් රොදක් තරමට සැහැල්ලුවෙනි. කොළඹින් වැලිගමට යන තුරු එය හිස් බෑගයක් පමණි. බෑගය පුපුරන්නට තරම් බර වැටෙන්නේ වැලිගමෙන් කොළඹ එන ගමනේ දී ය.

අහංගම වැලිගම අතර ගමන් තීරුව කෙටිය. එහෙත් ඒ අතර සමන්තිගේ අත්දැකීම් තීරූව රේල්පාරට වඩා දිගු ය. අහංගම පසුකර කෝච්චිය මිදිගමට ළං වෙන කළාපය ඉතාම සුන්දර පරිසර කලාපයකි. එක්පසෙකින් ගාලුපාරත් ගාලුපාරට එපිටින් සුන්දර වෙරළ තීරයක් සහිත මුහුද ය. අනෙක් පසින් ඒ මේ අතට නැමුණු රමණීය පොල් ගස් සහිත පොල් වත්තකි. කොතරම් වේගයෙන් ගමන් ගන්නා කෝච්චියක් වුවත් මේ පරිසර තීරුවේ හිටිහැටියේ නතර වේ. ඒ පරිසරය විඳින්නට නොව කෝච්චි සිග්නල් අර්බුදයක් නිසා ය. කෝච්චි සිග්නල් අර්බුදය සමන්ති - මිලින්ද ප්‍රේම අර්බුදය සමඟ සමපාත වූ දිනය අදත් ඇගේ මතකයට නැගුණේ අදත් සිරිත් ලෙසම කෝච්චිය එතැනම නතර වූ පසුව ය. සින්ටි අම්මා පෙර දිනක සමන්තිට වූ පොරොන්දුව අකුරට ම ඉෂ්ට කළේ එදින උදෑසන ගාල්ලේ දී ය.

“නෝනේ මිලින්ද මහත්තයා ඊයේ තානයම් ඉඩම උඩදි මට හම්බවුණා.”

“කාත් එක්කද...?”

“විශාඛා කියලා නෝනා කෙනෙක්. අලුත් කෙනෙක් නෙමෙයි එයැයි මීට කලිනුත් මම දැකලා තියෙනවා.”

සමන්ති - මිලින්ද පළමු ප්‍රේම සංග්‍රාමය ආරම්භ වූයේ මේ පුවත සැලවීමෙන් හරියම විනාඩි 30කට පසුවය. 3.30ට ගාල්ලෙන් මාතර යන කෝච්චියට ගොඩ වීම සඳහා සාමාන්‍යයෙන් සමන්ති දුම්රිය ස්ථානයට ගොඩවන්නේ 3.00ට ය. රැකියා ස්ථානයෙන් ෂෝට්ලීව් දාමා හෝ වෙනයම් උපායක් දමා හෝ මිලින්ද පැන එන්නේ 3.00ත් 3.30ත් අතර ය. ඇතැම් දිනවල කෝච්චිය අද්දන අතරවාරයේ ඔහු දිව විත් පාපුවරුට ගොඩවේ. 3ට එන මිලින්ද සමඟ 3.30 වන තුරු යකඩ බංකුවේ වාඩි වී සිටින්නට ඇති ආසව සේම 3.30 ට එන මිලින්ද අද්දන කෝච්චිය පසුපස දිව විත් පාපුවරුවේ එල්ලෙන වික්‍රමාන්විතය බලන්නට ද සමන්ති එක හා සමානය ආශා කළා ය. අදත් ඔහු කෝච්චියට ගොඩ වූයේ ඒ වික්‍රමාන්විතය සමඟිනි. මේ වික්‍රමාන්විතයෙන් පසුව තමා අසලට එන මිලින්දව වෙනදා ඇය පිළිගන්නේ මවාගත් තරහකිනි.

“හැමදාම කියනවා ඔය වැඩේ කරන්න එපා කියලා. පොඩ්ඩක් හරි අත ලිස්සුවොත් ඉවරයිනේ.”

“මට මාව ෂුවර්. මම එහෙම ලේසියෙන් මගේ අත ලිස්සන වැඩ කරන්නෙ නෑ”

වෙනදා මවාගත් තරහ අද සමන්තිගේ මුහුණින් අතුරුදන්ව ඇත. ඒ වෙනුවට ඇත්තේ හැබෑම තරහකි. සමන්තිගේ මුහුණ දුටු පළමු බැල්මෙන්ම මිලින්ද තමන්ගේ අත ලිස්සා ගොස් ඇති වග අවබෝධ කරගත්තේ ය.

“කවුද විශාඛා කියන්නෙ...?”

එතැනින් ඇරඹුණු සංග්‍රාමය මිදිගමදී කෝච්චිය සිග්නල් නැතුව නතර කරන තෙක් දුර දිගේ බැණුම්, හැඩුම්, සපාකෑම්, සීරීම්, පහරදීම් මැද ය. සංග්‍රාමයේ කෙළවර වීමට නියමිතව ඇත්තේ තමාට පූර්ණ පරාජය හිමිකර දෙමින් බව අත්දැකීමෙන්ම දන්නා මිලින්ද මිදිගමදී සංග්‍රාමය වෙනතක යැව්වේ ය.

“ඔයාට මාව විශ්වාස නැත්තම් මට කරන්න දෙයක් නෑ. දිගටම සින්ටි අම්මා කියන දේවල්ම අහ අහ ඉන්න. මං යනවා. මං ගැන හොයන්න එපා.”
සිග්නල් නැතුව නතර වූ දුම්රියෙන් එළියට පැන ගත් මිලින්ද ගාලුපාර දෙසට දිව ගියේ මුහුද දෙස බලමිනි.

 

(මතු සම්බන්ධයි)

| අසංක සායක්කාර |