බතික් 02 කොටස - ඉඟුරු දෝසි

බතික් 02 කොටස - ඉඟුරු දෝසි

‘‘පළවෙනි වේදිකාවේ තිබෙන දුම්රිය දැන් මාතර බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ අහංගම, වැලිගම, කඹුරුගමුව සහ මාතර....’’

යකඩ බංකුවෙන් සමුගත් සමන්ති නැවතත් ලදුදෙ සීටය මතට සම්ප‍්‍රාප්ත වූයේ හීන් වේදනාවක් ද සමඟ ය. ඒ වේදනාව හමන්නේ අතීතයෙන් ද..? වර්තමානයෙන් ද..? ඇය නොදනී. සත්‍යලෙසම කිවහොත් ඇය ඒ ගැන සිතන්නට උත්සාහ නොගනී.

bathik nvl

මෙතෙක් ඇගෙන් පසුපසට ඇදුණු කෝච්චිය දැන් ඇදෙන්නේ ඇගෙන් ඉදිරියට ය. ගමනාරම්භයේ දී අන්තිම පෙට්ටියේ සිටි ඇය දැන් කොච්චියේ පළමු පෙට්ටියේ ය. ගාල්ලේ දී සිදුවන මේ යාන්ත‍්‍රික හුවමාරුව කවදත් ඇගේ සිතට ගෙනාවේ ජයග‍්‍රාහී හැඟීමකි. ‘පටන් ගත්තේ අන්තිමට. ඒත් ඉවර වෙනකොට පළවෙනියා’. මේ හැඟීම දැන් ඇගේ ජීවන ආදර්ශපාඨයක් තරමට ම ළංව තිබේ. වැලිගම දක්වා වන කෝච්චි ගමන ආරම්භයේ දී ඇය අන්තිම පෙට්ටියම තෝරා ගැනීමට හුරු වී තිබෙන්නේ මේ නිසා ය. ගාල්ලේ සිට වැලිගම දක්වා ගමන කවදත් සමන්තිට ගෙනාවේ ආස්වාදයකි. ඇගේ ජීවිතයේ හොඳම අත්දැකීම්වලින් ආසම ටික සනිටුවන්ව තිබුණේ මේ තීරයේ ය. කෝච්චිය කතලූව පාළම උඩින් යන විට තාමත් ඈ සොයන්නේ මඩොල් දූවයි. තාත්තා, අම්මා හෝ ලොකු අක්කා සමඟ කෝච්චියේ ගාලු ගිය පුංචි සන්දියේ ඈ මඩොල් දූව සෙව්වේ වික‍්‍රමාන්විත මඩොල් දූව කතාවට ඇති ආසාව නිසා ය. ජින්නා, උපාලි පමණක් නොව අත්භූත එළි පවා, ඈ මහදවාලේ සෙව්වා ය. තනිවම ගාලු යාම පටන් ගෙන නොබෝ දිනකින් ඈ මෙතනදී මඩොල් දූව සොයන්නට පටන් ගත්තේ වෙනත් කතාවකට ඇති ප්‍රේමය නිසා ය. ඒ කතාවේ සිටියේ ජින්නා සහ උපාලි නොව සමන්ති සහ මිලින්ද ය.

සමන්ති - මිලින්ද පේ‍්‍රම වෘතාත්නය ආරම්භ වී ටික දවසකින් ඔවුන්ගේ වික‍්‍රමාන්විත පේ‍්‍රම චාරිකාවන් කිහිපයකටම මඩොල් දූව නිමිති විය. ඔරුවක නැග මිලින්ද අසලින් වාඩි වී ‘කොහේද කොහේද අපේ ලොවක්’ කියමින් මඩොල් දූව වෙත ගිය ඒ හැම චාරිකාවක් ම ඇයට කටපාඩම් ය. දශක තුනකට එහා ඒ චාරිකාවන් සිහිකරමින් කතලුව පාලම පනින සමන්ති තාමත් අපේ ලොව කොහේද කියා සොයන්නී ය.

``නෝනා වැලිගම යන්නෙයි``
වියපත් එහෙත් පැහැදිලි ඒ කටහඬ සින්ටි අම්මාගෙනි.

‘‘සින්ටි අම්මා...? මං හිතුවේ අද එන්න නැතුව ඇති කියලා....’’

‘‘කෝච්චිය අද්දන්න ඔන්න මෙන්න තියලා නැග්ගේ. කෝ මිලින්ද මහත්තයා...?’’

‘‘එයාට කොහෙද සින්ටි අම්මෙ නිවාඩුවක්... අනිත් එක එයත් එක්ක ආවම මට වියදම් වැඞී.’’

සමන්ති හොඳින් දැන හඳුනන මේ සින්ටි අම්මා කෝච්චියත් සමඟ වයසට ගිය කාන්තාවකි. ඇගේත් සමන්තිගේත් දැනහැඳුනම්කමේ වයස සමන්ති මිලින්ද ආදර කතාවේ වයසට සමාන ය. ඉඟුරු දෝසි විකිණීම රැකියාව කරගත් ඇය ගාල්ලෙන් මාතරටත් මාතරින් ගාල්ලටත් කෝච්චියෙන් කෝච්චියට මාරු වී සිය වෙළදාම කරන්නී ය. සින්ටි අම්මාගෙන් ඉඟුරු දෝසි පැකට් එකක් මිල දී ගැනීම සමන්තිගේ චාරිත‍්‍රයකි. අදත් ඒ චාරිත‍්‍රය එ අයුරින්ම ඉටු වූයේ දත් දෙක තුනක් පමණක් ඇති සින්ටි අම්මාගේ මුවට සුපහන් සිනාවක් නංවමිනි.

‘‘මං ගිහින් එන්නම් නෝනා’’

සින්ටි අම්මාගේ සිනාමුසු මුහුණ ඕනෑම දුකක් අමතක කරවීමට සමත් ඉන්ද්‍රජාලයකි. මේ මුහුණ සමන්තිගේ මතකයේ රැඳුණු ඈතම ඉතිහාස දවසේ සින්ටි අම්මාගේ කටපුරා දත් තිබිණි. ගාල්ලෙන් මාතර යන මන්දගාමී කෝච්චියක සමන්තිත් මිලින්දත් ගමන් කළ තවත් එක් දවසක පළමු වතාවට සින්ටි අම්මාගේ සිනහව අභිමුඛ වූ හැටි සමන්තිට අද වගේ මතක ය. එය කන් රතුවන මතකයකි.

තුන්වෙනි පන්තියේ මේ කෝච්චි පෙට්ටිය පුරාවට සිටියේ මගීන් සිව්දෙනෙක් පමණී. අසුන් ගැනීමට ඕනෑතරම් ඉඩ පහසුකම් ඇතත් සමන්තිත් මිලින්දත් දොර අසල සිටගෙන ය. දකුණතින් දුම්රිය ආධාරක පොල්ල අල්ලා ගෙන සිටින මිලින්දගේ වමත තමාට තුරුළුව සිටගෙන සිටින සමන්තිගේ ආරාක්ෂාව භාරගෙන ඇත. කෝච්චියේ ගමන් ලතාවට අනුරූපව දෙදෙනාගේ ආල කලාවන් දුරදිග යද්දී මිලින්දගේ දෙතොල සමන්තිගේ දොතල මත විමුක්තිය සොයා ඇදුණේ ය.

ඉඟුරු දෝසි කූඩයක් අතේ තබා ගත් සින්ටි අම්මා දෙවැනි පන්තියෙන් තුන්වැනි පන්තියට මාරු වූයේ මේ අතර ය. ඇය තුන්වැනි පන්තියේ පෙට්ටියට අඩි තබන විට මිලින්දත් සමන්තිත් ඔවුනොවුන්ගේ දොතොල් හරහා ඔවුන්ගේ ලෝකයේ සෑහෙන්න දුරක් ගොසිනි. මිලින්දගේ හිසට උඩින් යාන්තමට සින්ටි අම්මාගේ මූණ දුටු සමන්ති යළි පියව් ලෝකයට පැවිසියේ දරාගත නොහැකි ලැජ්ජාවක් ද කරපින්නා ගෙන ය. මිලින්ද ද ලැජ්ජා වුණූ බවක් අඟවන්නට උත්සාහ කළත් ඔහුගේ හිතට නම් එහි වගේ වගක් නොතිබිණී. තමන් නිසා මේ යෞවනිය ලැජ්ජාවෙන් පසුවන බව අවබෝධ කරගැනීමට සින්ටි අම්මාට මහප‍්‍රාණ මනෝවිද්‍යාවන් වුවමනා නැත. කෝච්චි පෙට්ටි තුළ මෙවැනි ශෘංගාර රංගන ඕනෑ තරම් දැක ඇති ඇයට මෙහි අමුත්තක් ද නැත.

‘‘ඔය ගැම්මටම ඉඟුරු දෝසි කෑල්ලක් කෑවානම් තවත් රහයි’’

සින්ටි අම්මාගේ මේ ප‍්‍රකාශය සමන්තිට අනපේක්ෂිත ප‍්‍රකාශයක් වුවත් මිලින්දට නම් අපේක්ෂිත ප‍්‍රකාශයකි. මීට පෙර මේ කෝච්චි පෙට්ටි අතරම ඔහු සින්ටි අම්මාගේ මුවින් ඔය වැනි ප‍්‍රකාශ ඕනෑ තරම් අසා ඇත.

‘‘එහෙනම් දෙන්න බලන්න පැකට් එකක්’’

සින්ටි අම්මා ඉඟුරු දෝසි පැකට් එක මිලින්දට දිගු කරන විට මිලින්ද එය අතට ගත්තේ සින්ටි අම්මාට ඇසකින් කළ සංඥාවක් ද සමඟිනි. ඒ සංඥාවේ නියම අරුත දැන් සින්ටි අම්මා හොඳ හැටි තේරුම් ගෙන තිබේ. මෙතෙක් ඉඟුරු දෝසිවලින් එහාට නොගිය සින්ටි අම්මාගෙත් මිලින්දගේත් සම්බන්ධය ටික ටික එහාට තල්ලු කළේ සමන්ති ය. සින්ටි අම්මා දකින සෑම දිනකම සමන්ති විළියෙන් බිම බලාගන්නේ පළමු දිනයේ ලද ලැජ්ජාශීලී අත්දැකීම නිසා ය.

‘‘ඔහේ මාව දැක්කම බිම බලාගන්නේ ලැජ්ජාවටෙයි.? මක්කට ලැජ්ජවෙනවැයි ඔයිට වඩා දේවල් මං මේ කෝච්චි පෙට්ටි අස්සෙ දැකලා තියෙනවා නෝනා’’

සමන්තිගේ ලැජ්ජාව මුළුමනින්ම පහව යනවිට සින්ටි අම්මා, ‘අම්මා’ කෙනෙක් තරමට ඇයට සමීපව සිටියා ය. ඉඟුරු දෝසිවලට වඩා ඇගේ කෙටි විනාඩි කිහිපයේ ඇසුර සමන්තිට රසවත් ය. සින්ටි අම්මාට ද සමන්තිගේ රූපය නොදැක බැරි තත්වයට පත්වන විට ඇය මෙතෙක් ගිලගත් බොහෝ දේ කෙමෙන් සමන්ති ඉදිරියේ වමාරන්නට පටන් ගෙන අවසන් ය. මිලින්ද පිළිබඳ ඇගේ තක්සේරුව අමුවෙන්ම සමන්ති ඉදිරියේ වැමෑරූ දිනය දෙදෙනාටම දුෂ්කර දිනයකි.

‘‘නෝනෙව දකිද්දි මට මතක් වෙන්නෙ මගේ කෙල්ලව. මේවා ඔහෙට හංගලා මං කරගන්නේ පාපයක්. ඔහේ මං ගැන මක්කා හිතුවත් කමක් නෑ මේ ටික මට ඔහේට කියන්නම ඕනේ.’’

(මතු සම්බන්ධයි)

| අසංක සායක්කාර |