සිටු මැදුරෙත් පුංචි පැලෙත් ඔබ හමු වූ ඇන්ජි !

සිටු මැදුරෙත් පුංචි පැලෙත් ඔබ හමු වූ ඇන්ජි !

සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ ඈත භවේ හෝ මා ඔබ හමුවී තිබුණා.., 

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ.., ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා.., ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා..,  කලක් ඇවෑමෙන් පෙරුම් පුරා..,දෝතින් දෝතයි ජීවෙන් ජීවේ..,ඉර සඳ වැඳලා..,මියුරු පෙම් මදිරාවේ.., රන් කෙන්දෙන් රනින් සැදූ රන් ඔන්චිල්ලා .., පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ.., පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ.. 

මේ ගී පද දුටු සැණින් මා පවසන්නට යන්නේ කවුරුන් ගැනද යන්න ඔබට රහසක් නොවනු ඇත. මෙහි මා සඳහන් කර ඇත්තේ  ඇය ගැයූ මියුරුතම ගීත අතරින් කිහිපයකි.  දැන් ඇය විසින් ගැයූ ගීත ගඟුල මටත් වඩා හොඳින් ඔබේ මතකයට පිවිසෙනු ඇත. කවුරුන්ද මේ සුවිශේෂී වූ චරිතය...?  චිත්‍රපට ගීත ක්ෂේත්‍රයේ මේ නම නිරන්තරයෙන් ජෝතිපාලයන්ගේ නම හා එකට කියැවෙයි. මිල්ටන් මල්ලවආරච්චි සමග ද එලෙසමය. ගායකයන් වැඩිම ප්‍රමාණයකගේ සහාය ගායිකාව ඇයයි. එතුමිය අන් කවරෙකුවත් නොව ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයට සිය සහජ ගායන හැකියාවෙන් උපරිම මෙහෙවරක් ඉටුකළ, කලා ලොවේ කව්රුත්  'ඇන්ජි'  ලෙසින් ආදරයෙන් ආමන්ත්‍රණය කරන ඇන්ජලීන් ගුණතිලකය. (විවාහයට පෙර ඇන්ජලීන් ද ලැනරෝල්) 

අතුරු කතාවක් -

මගේ සිත 60 දශකයේ අග වෙත දිව යයි. මතකයේ හැටියට ඒ 67 වසරයි.  ස්ථානය කඳාන S. P. M. චිත්‍රාගාරය. දෛවෝපගතව හිමි වූ අනගි අවස්ථාවක් හේතුවෙන් 'පැංචා' චිත්‍රපටය සඳහා ගීතයක් ගායනය කිරීමට මා හට මගපෑදුනි.  ඒ ' ආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ ' නම් ළමා ගීතයයි. ඒ ගීතයට අමතරව එහි එන සමූහ ගායනයකට ද මාව තෝරාගැනිණි. පාසැලක දරුවන් සඳහා ගුරුවරියක් ඔවදන් දෙන අදහසක් මේ ගීතයේ ඇතුළත් විය. මේ ගීතය ගායනය වෙනුවෙන් එක්තරා සැඳෑවක සිහින් උස, ඉතා පැහැපත් සුන්දර ගැහැනු රුවක් පැමිණ සිටිනු දක්නට ලැබුණි. ඒ වකවානුව වනවිටත් ඇය චිත්‍රපට සහ ගුවන්විදුලි සරළ ගී ගායනයෙන් ඉතා ජනප්‍රිය තත්වයක සිටි බව කිව යුතුය. එහි සිටි මගේ මව විසින් ඇයව දුටු සැනින් හඳුනාගනු ලැබීය. ඇත්තෙන්ම මයික්‍රෆෝනය ඉදිරියේ එදින ඇය කළ ගායනය අසා මා මවිතයට පත්වුණි. රුවත් ගායනයත් එකලෙසින් කෙනෙකුට පිහිටීම කෙතරම්නම් භාග්‍යක්ද ?  ඒ සියල්ල ඇය සතු විය. අත්දැකීම් නොලැබූ මා ඇතුළු කිහිපදෙනා සමගින් ඇය ඉතාමත් කුළුපග විය. ලැබුණු විරාමයක දී අත දිගු කරන්න යැයි පවසා මා අතේ සූකිරි කැට කිහිපයක් තැබු සැටි තවමත් හොඳින් මතකය. එවකට කුඩා දරුවෙක් වූ මා හට එය ඉතා වටිනා සිහිවටනයකි.  ' පැණි රහා ලෝකයේ කූඹියෝ එකමුතුයි.. ' එම ගීතයයි. මේ ඇය පිළිබඳව මට ඇති මිහිරිතම මතකයයි. 

දැන් නැවතත් මා මේ අපූරුතම ගායිකාව දෙසට යොමුවෙන්නම්. මා හට ඇයගේ හඬ වඩාත් තදින් දැනුන, එමෙන්ම හොඳින්ම සටහන් වුණු චිත්‍රපට ත්‍රිත්වයක් මතක් කරන්නට කැමැත්තෙමි.  දීපශිකා, සැනසුම කොතැනද සහ සුදු දුව මේ චිත්‍රපට ත්‍රිත්වයයි.  'දීපශිකා' චිත්‍රපටයේ ඇය ජෝතිපාලයන් හා එක්ව ගැයූ  ' ප්‍රේමේ දීපශිකා '  සහ  ' මේ මෝසම් මද සුළඟ පවා '  යන ගීත ඒ කාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වුණි.   ' සැනසුම කොතැනද '  චිත්‍රපටයේ හරූන් ලන්ත්‍රා සමගින් ගයන  ' සුලං කුරුල්ලෝ ' ගීතය ද ඉතාමත් මිහිරි සුවිශේෂී ගීතයකි.  'සුදු දුව' චිත්‍රපටය සඳහා ගැයූ ' ආවා සොයා ආදරේ '  සහ '  මේ රාත්‍රියේ මධූ සඳෙන් ' යන යුග ගායනයන් ඒ යුගයේ කාගෙත් මුවග රැඳුණු ඉතාමත් ජනප්‍රිය ගීතයි. ඇය ජෝතිපාලයන් හා ගැයූ ' ආලේ මිහිර පෙන්නා '  සහ  ' වාසනාව පෑදේවී ' යන ගීත මිහිරිතම ස්වතන්ත්‍ර ගීත දෙකක් ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි.  එම්. එස්. ප්‍රනාන්දු සමග ගැයූ  ' නෙලුම් මලේ පෙති කඩලා ' ගීතය ද ඉතා මියුරු බයිලා ගනයේ ගීතයකි.  තව එවැනිම ජනප්‍රිය ගීත ගණනාවක් විවිධ ගායකයන් සමග සහ තනිවම ද ඇය ගායනා කර ඇත. සැබැවින්ම ඒවා පිළිබඳව මෙවැනි කෙටි සටහනකින් ගෙනහැරපෑම අසීරු කටයුත්තකි. එබැවින් ඔබටම ඒවා යළිත් මතක්කර රස විඳීමට ඉඩහරිමි. 

' සොහොයුරෝ ' ඇය පළමුවෙන්ම ගීතයක් ගායනය කළ චිත්‍රපටයයි. එහි සිඩ්නි ආටිගල සමගින් ඇය යුග ගීතයක් ගයා ඇත. අනතුරුව ' දෙයියන්ගේ රටේ ' සහ ' දස්කම ' වෙනුවෙන් ගීත ගැයුවාය. ඇයගේ විශිෂ්ඨ ගායනය වෙනුවෙන් විවිධ අවස්ථාවන්හි දී සම්මානනීය ඇගයුමට ලක්වූ බව මතකයේ පවතී. නමුත් නිසි අයුරින් ඇයගේ සේවාව ඇගයුමට ලක්වූවාද යන්න ප්‍රශ්නයකි. 
විවිධ කාලවලදී ජෝති - ඇන්ජි සහ මිල්ටන් - ඇන්ජි ලෙසින් ඇය ගායිකාවක් ලෙස ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පිවිසි බව පැවසිය යුතුය. ඇය සිංහල සිනමාවේ බහුතරයක් නිළියන් ප්‍රමාණයක් වෙනුවෙන් සිය සිහින් සිත්ගන්නාසුලු හඬ මුසුකර ඇත. ඒ සැමටම ඉතා හොඳින් ඒ හඬ ගැළපුණු බව නැවත නැවතත් ඇයවම තෝරාගැනීම තුළින් අපූරු ලෙස පැහැදිළි වේ.

දයාබර ඇන්ජලීන් ගුණතිලක මහත්මිය., ඔබ අසනීප වන්නට පෙර වරෙක සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවක් මගේ මතකයට පිවිසේ. උපතින් කිතුනු භක්තිකයෙකු වූ ඔබ, ඔබේ කටහඬ දෙවියන් වහන්සේ දුන් දායාදයක් ලෙසින් පැවසුවාය.  ඊට පෙරළා උන්වහන්සේට ගෞරවය පුදකරන බව ද පැවසුවා මතකය. මා බෞද්ධයෙකු වුවද ඔබේ ඒ බැතිමත් බව සහ තමා අදහන ආගම කෙරෙහි ඇති විශ්වාසය කෙරෙහි පැහැදුනෙමි. ඔබ අදහන ආගමට අනුව දායාදයක් ලෙසින් තිළිණ වූ කට හඬින් ඔබ උපරිම සේවයක් මේ රටට සිදුකර ඇත. 
දයාබර ඇන්ජලීන් ගුණතිලක මැතිණියනි, අප රටේ මෙන්ම ලොව පුරා සිටින ඔබගේ ඉමිහිරි ගීත ප්‍රිය කරන්නන් හා එක්ව ඔබට මොක් සුව පතන්නෙමු !

සමාදානයේ සැතපේවා !!!

සිතුවම සහ සටහන

| ජානක ඉලුක්කුඹුර |