Angry young man අමිතාබ් බච්චන්

Angry young man අමිතාබ් බච්චන්

Angry young man, Big 'B', Lambu ji, Shahenshah.. මේ ඔහු හා බැඳුණ අන්වර්ථ නාමයන්ගෙන් කිහිපයකි. අමිතාබ් හර්වානෙශ් රායි ශ්‍රිවාස්ති බච්චන් යනු ඔහුට දෙමාපියන්ගෙන් උරුමවූ නාමය යි. හර්වානෙශ් බච්චන් සහ තේජි බච්චන් යන යුවලට දාව 1942 වසරේ ඔක්තෝබර් 11 වෙනි දින අලහභාද් හී (වර්තමානයේ උත්තර ප්‍රදේශයේ ) ඔහු උපත ලැබුවේය. කෙසේනමුදු ලොවපුරා විසිර සිටිනා සිනමා ලෝලීන් මේ කඩවසම් උත්තුංග දේහදාරී ආකර්ෂණීය සිනමා නළුවා හැඳින්වූයේ 'අමිතාබ් බච්චන්' ලෙසිනි.

අමිතාබ්ගේ සිනමා ගමනේ මුල් වකවානුව බොහෝ බාධාවන්ගෙන් පිරී පැවතුණකි. ඔහුගේ උස ප්‍රමාණය මෙහිදී බෙහෙවින්ම බලපෑවේය. කෙසේ හෝ කේ. ඒ. අබ්බාස් නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා ඔහුට අතදීමට කැමති විය. ඒ අනුව 1969 වසරේ තිරගත වූ 'සාත් හින්දුස්තානි' ඔහුගේ රඟපෑම ඇතුලත් මුල්ම චිත්‍රපටය විය. මුල් නිර්මාණය තුළින්ම යම් මතක හිටින රඟපෑමක් කරන්නට තරම් අමිතාබ් ශූර විය. එම වසරේ නැගීඑන නළුවා ලෙසින් සම්මානයට ද පාත්‍රවිය. කෙසේවුවද ඔහුව චිත්‍රපට සඳහා තෝරාගැණුනේ ඉතා අඩු මට්ටමෙනි. 

මෙය රාජේශ් ඛන්නා සුපිරි තරුවක් ලෙසින් වැජඹී සිටි සමය යි. ඉතා සංවේදී කතා පුවතක් රැගත් 'ආනන්ද්' චිත්‍රපටයට රිශිකේශ් මුඛර්ජි අධ්‍යක්ෂවරයා විසින් තමාව තෝරාගත් පුවතින් අමිතාබ්ගේ හිතේ සතුට නිම්හිම් නැතිවිය. ඒ අනෙකක් නිසා නොව, එහි තමාට රඟපෑමට තිබුණේ Super star රාජේශ් ඛන්නා සමඟ නිසාවෙනි. එම කතා පුවතේ එන 'ආනන්ද්'  පිළිකා රෝගයෙන් පීඩා විඳින්නෙකි. ඔහුව ඉතා සියුම් ලෙස තේරුම් ගන්නා මිතුරාගෙ භූමිකාව රඟපාන ලද්දේ අමිතාබ් විසිනි. ඔහු එය මැනවින් තේරුම් ගෙන අපූරු රංගනයක් ඉදිරිපත් කළේය. එය ඔවුන් දෙදෙනාටම සම්මාන හිමිකර දීමට සමත් විය. 1971 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී රාජේශ් හොඳම නළුවා සම්මානය හිමිකර ගනිද්දී අමිතාබ් හොඳම සහාය නළුවා බවට පත්විය.

1971 වසරේම තිරගතවූ 'පයාර් කී කහානි'  චිත්‍රපටයද ඔහුට විශේෂ වූ චිත්‍රපටයකි. එහි එන 'කොයී ඕර් දුනියා' නම් ගීතය බෙහෙවින්ම ජනප්‍රිය විය. 1972 වසරේ තිරගත වුණු 'බොම්බේ ටු ගෝආ' චිත්‍රපටයේ කිශෝර් කුමාර් ගැයූ 'දේකානා හයේරේ' ගීතයට ඔහු එක්කල රංගනය ඉතා ආකර්ෂණීය එකකි. කෙසේවුවද මේ වනවිටත් අමිතාබ්ගේ චිත්‍රපට ගමන වේගවත් එකක් නොවීය. 



1972 වසරේ ප්‍රකාශ් මෙහෙරා නම් සිනමා අධ්‍යක්ෂවරයා වෙනස්ම මාදිලියේ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැලසුම් කරමින් සිටියේ ය. එය ත්‍රාසය බෙහෙවින්ම කැටිවූ කතා පුවතකි. 'සංජීර්' නම් වූ මෙම චිත්‍රපටයට ඔහු මුලින්ම දේව් ආනන්ද්ව තෝරාගෙන තිබුණි. නමුත් එහි එන ප්‍රධාන චරිතයට ගීත නොමැතිවීම හේතුවෙන් ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කළේය. අනතුරුව එය ධර්මේන්ද්‍ර වෙත යොමු කෙරිණ. නමුත් ඒ වනවිට ඉතා කාර්‍යබහුල නළුවෙකු වූ ඔහුට එම චිත්‍රපටයට දින දීමට නොහැකි විය. අවසානයේ මේ තිර පිටපත අමිතාබ් අතට පත්විය. ඔහු දෙවරක් නොසිතා එය භාරගත්තේය. එය ඔහුගේ සිනමා ගමන්මගේ සන්ධිස්ථානයක් බවට පත්වේ යැයි සමහරවිට ඔහු පවා නොසිතන්නට ඇත. සැබැවින්ම එය ඔහුගේ දිවියට වාසනාව ගෙන ආ චිත්‍රපටය විය. ඔහුට මුල්වරට ජයා බහදුරී මුණගැසෙනුයේද මෙම චිත්‍රපටයෙනි. චිත්‍රපටය නිමාවෙන විට ඔවුන් අතර බිඳිය නොහැකි ප්‍රේමයක් ගොඩනැගී තිබුණි. පසුකාලයේදී ඇය ඔහුගේ සිනමා ගමන සාර්ථක කරගැනීමට කැපවී වෙහෙසුණාය.  

'සංජීර්' චිත්‍රපටය සිනමා ලෝලීන් වෙත නවමු අත්දැකීමක් ගෙනදුන්නා කීවොත් නිවැරැදිය. එහි කතානායකයා වෙනත් චිත්‍රපටවල මෙන් ගී ගයමින් නැටුවේ නැත.  'Angry young man' නම් ප්‍රතිරූපය මේ චිත්‍රපටය තුළින් බිහිවිය. ශ්‍රී ලංකාවේද 'සංජීර්' සහ 'අභිමාන්' යන චිත්‍රපට යුගලය අතිශයින් ජනප්‍රිය විය. එතැන් සිට ඇරඹෙනුයේ අමිතාබ් බච්චන් නම් සුපිරි තරුව හින්දි සිනමාව උඩුයටිකුරු කරනා ලද කාලපරිච්ඡේදයකි. සැබැවින්ම එතැන් සිට ඔහුට චිත්‍රපට ඇරයුම් ගලා එන්නට විය. ඉන් බොහෝමයක් අති සාර්ථක චිත්‍රපට බවට පත්විය. ඉතා සූක්ශම ඉරියව් තුලින් ඔහු සිනමා ලෝලීන්ගේ එකම පිනවන්නා බවට පත්වුණි.1973 වසරේදී තිරගත වූ 'ශෝලේ' චිත්‍රපටය බෙහෙවින්ම හොලිවුඩ් චිත්‍රපටයකට සමාන විය. එය ඉන්දියානු සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්විය. එහි ප්‍රධාන භූමිකාව කළේ ධර්මේන්ද්‍ර වුවද චිත්‍රපටය අවසාන වනවිට අමිතාබ් ප්‍රේක්ෂක අවධානය ඉතා සියුම්ව ඔහු වෙත යොමුකරගත් බව කිවයුතුය.  චිත්‍රපටයේ එන ඔහුගේ ප්‍රේමයද නිහඬ හැඟීම් පිළිබිඹුවකි.



එතැන් සිට විවිධ නළුවන්, දෙදෙනා සහ තුන් හතරදෙනා යෙදූ චිත්‍රපට රැල්ලක් බිහිවුණි. ඒවා තුළින් මෙන්ම තමා රඟපෑ තනි චිත්‍රපට තුළින්ද ඔහු අසීමිත ජනප්‍රියත්වයක් හිමිකරගත්තේ ය. ශ්‍රී ලංකාව පුරාද අමිතාබ් රැල්ලක් ගොඩනැගුණි. 1973 වසරේදී ඔහු හා ජයා බහදුරී සමඟ විවාහ දිවියට ඇතුළත් විය. විවාහයෙන් පසු ජයා බහදුරී මඳක් සිනමාවෙන් බැහැර වෙමින් ඔහුගේ සිනමා දිවිය සාර්ථක කරගැනීමට පූර්ණ ලෙස සහාය දැක්වුවාය. එම වසරේදීම රාජේශ් සමඟ රඟපෑ 'නමක් හරාම්' තුළින් ඔහු හොඳම සහාය නළුවා ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත්තේය. 1975 වසරේ තිරගතවූ 'දීවාර්' චිත්‍රපටය තුළින් 'Angry young man' ප්‍රතිරූපය නැවත ඔහු තමාටම තහවුරු කරගත්තේය.

ඔහු රඟපෑ චුප්කේ චුප්කේ, නසීzබ්, කභි කභී, අන්දා කානූන්, කස්මේ වාදේ, දෝ ඕර් දෝ පාන්ච්, ශරාබි, අමර් අක්බර් ඇන්තනි, මුකන්දාර් කා සිකන්දාර්, කාලියා, කූලී, ඩොන්, සත්තේ පෙ සත්තා, ලවාරිස්, බරසාත් කී ඒක් රාත්, ශාහෙන්ශා, හම් වැනි චිත්‍රපට අති සාර්ථක විය. මෙහි මා සටහන් කළේ මේ මොහොතේ මට මතක් වූ  චිත්‍රපට නාමාවලියක් පමණි. මින් බොහෝමයක්, සිංහල චිත්‍රපට ලෙසින් ද  නිෂ්පාදනය වුණි.



ඒ දිනවල ඔහු හා එකට රඟපෑ රේඛා සමඟින් අමිතාබ් නොසිතූ ප්‍රේමයකට මුලපිරුවේය. එය ඔහුගේ පවුල් දිවිය දෙදෙරා යන තරමට වර්ධනය විය. එහි උච්ඡතම අවස්ථාවේ දී  ඔවුන්ගේ ජීවිතේ මූලික සිදුවීම් ඇසුරෙන් 'සිල් සිලා' නම් අපූරු චිත්‍රපටය නිර්මාණය විය.  පුදුමයකට මෙන් එහි ඔහුගේ බිරිඳගේ භූමිකාව රඟපෑමට ජයා බච්චන් එකඟ විය. කෙසේ හෝ මේ සියල්ල හමුවේ සිය නළු ජීවිතයත්, පවුල් ජීවිතේ කුටුම්භයත් රැකගැනීමට අමිතාබ් සමත් විය. පසුකාලෙක දී ඔහුගේ දරුවන් දෙදෙනා අතරින් අභිෂේක් සිනමාවට එක්වීම විශේෂ සිදුවීමකි.

සිනමා නළුවෙක් පමණකින් සෑහීමකට පත්නොවූ අමිතාබ් ගීත ගායනයටද යොමු විය. ඔහුගේ ගැඹුරු හැඟීම්බර හඬ ඊට බෙහෙවින්ම උපකාරී විය. සැබැවින්ම ඔහුට අනන්‍ය වූ එක්තරා මට්ටමක හොඳ ගායන හැකියාවක් ඔහු සතුබව ඒ ගීත මඟින් ඔහු ඔප්පුකර ඇත.  ඔහුට ඇති මේ හැකියාව නිසාදෝ බොහෝ චිත්‍රපටවල වෙනත් ගායකයෙකු ගැයූ ගීතවලදී පවා ඔහුගේ රංගනය ඉතා හැඟුම්බරය. එය ඔහුගේ ගායන හැකියාවේ ප්‍රතිඵලයක් ලෙස මම දකිමි. ඔහුගේ ජීවිතේ විශේෂ සිදුවීම් ගණනාවකි. එයිනුත් 1982 දී 'කූලී' චිත්‍රපටයේ සටනක් රූපගතකිරීමකදී වූ දරුණු අනතුර සඳහන් කළ හැක. එම අනතුරෙන් මරණයේ අග්ගිස්සටම ගොස් නැවත පැමිණෙන්නට තරම් ඔහු වාසනාවන්ත විය. 1984 වර්ෂයේදී දේශපාලනයට පිවිසීම ද විශේෂ සිදුවීමකි. නමුත් ඔහු එය තමාට නුසුදුසු කටයුත්තක් ලෙස වටහාගෙන ඉන් ඉවත්වූ බව කියැවේ. 


ඔහු එතෙක් මෙතෙක් චිත්‍රපට දෙසීයකට ආසන්න ප්‍රමාණයකට රඟපෑමෙන් දායක වී ඇත. මා මේ සටහනේ මුලින් සඳහන් කරන ලද ඔහුගේ මුල් අවධියේ චිත්‍රපටවලට අමතරව විශාල සම්මාන ලැයිස්තුවකට ඔහු හිමිකම් කියයි. විවිධ සම්මාන උලෙළයන් හීදී ඔහු ලැබූ සම්මාන එකතුව 220 කි. මීට ෆිල්ම් ෆෙයාර්, ජාතික සම්මාන, විශිෂ්ඨ පුරවැසි, ගෞරව ආචාර්ය, අයිෆා, ස්ටාර් ඩස්ට්, ඉන්දියානු රූපවාහිනී ආදිය එකතුවේ. ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන 15 ක් දිනාගන්නා ලදි. හතර වතාවක් නාමයෝජනා විය. මීට අමතරව 1984 වසරේ දී පද්ම ශ්‍රී සම්මානයද, 2001 පද්ම භූශන, 2005 පද්ම විභූෂණ යන සම්මානද හිමිකරගත්තේ ය. 2000 වසරේ 'සහශ්‍රයේ සුපිරි නළුවා' නම් විශේෂිතවූ සම්මානයට ද උරුමකම් කී ඔහු හොඳම නළුවා බවට පත්කළ ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයක් ගැන සඳහන් කලයුතුම ය. 1978 වසරේදී  'අමර් අක්බර් ඇන්තනි',  1992 වසරේදී 'හම්',  2000 වසරේදී 'සහශ්‍රයේ සුපිරි නළුවා',  2001 වසරේදී 'මොහබ්බතීන්',  2003 වසරේදී 'විශේෂ ජූරී සම්මානය',   2006 වසරේදී 'බ්ලැක්',  2009 වසරේදී 'පා', 2017 'පීකූ'  වෙනුවෙන් විශේෂ ජූරී සම්මානය යනුවෙන් නම් කළ හැකිය.

විදේශීය වැඩසටහනක් වූ  'Who wants to be a millionaire'  අනුව ඉන්දියාවේ තැනුණු 'කෞන් බනේ ක්‍රොරෙපති' මෙහෙයවූයේ ද ඔහු විසිනි. එය බොහෝසෙයින් ජනප්‍රියත්වයට පත්විය. එකී මෙකී නොකී සියල්ලෙන් සපිරි මේ සුපිරි නළුවා ගැන තව කතාකිරීමට කොතෙක්නම් කරුණු තිබේද..? මම දැනට එය පසෙකින් තබමි. අදටත් තරුණ නළු නිළියන් හා ඔහු කරටකර නර්තනයේ යෙදෙන අයුරු දකින විට අපට විස්මයක් සිතට නැගේ. ඒ සෑමවිටම මගේ සිතෙහි මේ අපූරු රංගනවේදියා පිළිබඳව දැඩි භක්තියක්, සෙනෙහසක් ඇති වේ. වයසින් මුහුකුරා ගිය ද ඔහුට අදටත් පෙම් චරිත කළ හැකි බව මගේ විශ්වාසයයි. 2006 වසරේ තිරගත වූ 'බාබුල්' චිත්‍රපටය ඊට හොඳම නිදසුනකි. එම චිත්‍රපටය තුලින් අමිතාබ් සහ හේමා මාලිනී හොඳම වැඩිහිටි පෙම්‍ යුවල ලෙසින් නම් කෙරිණ. එයයි මේ අපූරු රංගවේදියා සතු සුවිශේෂත්වය.



දයාබර අමිතාබ් බච්චන් මැතිඳුනි., අඩුපාඩු සහිතව ඉතාමත් අසීරුවෙන් කළ මෙම සටහන මම මෙතෙකින් නිමා කරමි. ඔබට නිදුක් නීරෝගී සුවය පතමි.
අද මා එක්කරන්නේ ඔබේ තාරුණ්‍යයේ සිතුවමකි.  පිළිගන්න !

සිතුවම සහ සටහන
| ජානක ඉලුක්කුඹුර |