සිංහයෝ ඔන්න ඔය කඩුව තියලා බිමින්..  බදාගෙන අඬමු අපි තැබෑරුමකට වරෙන් !

සිංහයෝ ඔන්න ඔය කඩුව තියලා බිමින්..  බදාගෙන අඬමු අපි තැබෑරුමකට වරෙන් !

තැබෑරුම ඇතුළත මඳ අන්ධකාරයකි. තැනින් තැන අපිළිවෙලට පිහිටා ඇති මේස අතරින් දුම් රොටු ඉහළට නැඟෙයි. මේසවලට ඉහළින් අඳුරු, තෙතබරිත අවකාශයේ ටික වේලාවක් සැරිසරන එකී දුම් රොටු හෙමි හෙමින් මැකී නොපෙනී යයි. හිස් තැන් පුරවන්නට අලුත් දුම් වළලු මතුවෙයි. විටෙක නිහැඬියාවකි. තව විටෙක නිහැඬියාව බිඳ දමන නොයෙක් ශබ්ද ගණනෙකි. සිංහයා තැබෑරුමේ දොරටුව අසලට ම පැමිණ මොකද්දෝ කල්පනාවක නිමග්න වී සිටියේය. තැබෑරුමට එන ලෙස සිංහයාට කාව්‍යමය ආරාධනාවක් ලැබී තිබුණි. 


"...සිංහයෝ ඔන්න ඔය 
කඩුව තියලා බිමින් 
බදාගෙන අඬමු අපි 
තැබෑරුමකට වරෙන්..."

(24 පිටුව, තැබෑරුමකට වරෙන් සිංහයෝ, නලින්ද සංජීව ලියනගේ)

එහෙත් සිංහයා දෙගිඩියාවෙනි. ඇතුළට යම්දෝ නොයම්දෝ සිතා තමන් සමඟ ම කරන අරගලයකි. අවසන තීරණය පිණිස අහස දෙස බලන්නට සිංහයා ඉටා ගත්තේය. 

"පින්තාරු කොට වළා තීරයේ පින්තූර 
තරු ප්‍රියාදරියකට භාර දී තෙලිකූර 
ශිල්පියා කරපොවා බලනවා මහ පාර 
රසිකයන් කී දෙනෙක් එනවදැයි මේ පාර 

බස්රියේ දුම්රියේ තෙරපි තෙරපී යනෙන 
කුස්සියේ හාල් පොල් සිතින් යළි මැන බලන 
නහුතයක් අනාගත හීන සැලසුම් කරන 
ජනී ජනයා අතර කෝ එකෙක් උඩ බලන"

(18 පිටුව, ඇතැම් සැන්දෑ වරුවක අහස ද කලාගාරයකි)
nalindasanjeewaliyanage
උඩ බලන්නට ඉඩ නැතිව හැල්මේ දුවන මිනිසුන් ය. ඉතිං අන්තිමට සිංහයා තැබෑරුමට ඇතුළු වන්නට හිත හදාගත්තේය. දැන් සිංහයා මේසයක් ඉදිරිපිට සුව පහසු අසුනක් උඩ ය. ඇවැසි අඩුම කුඩුම නොපමාව මේසය මතට සැපයෙයි. සප්පායම අතරතුර වටපිට බලන සිංහයා ගේ දර්ශන පථයට එතැන තැන තැන උඩ බලා සිටින මිනිසුන් හසුවෙයි. නමුත් වහලයට එහා කිසිවක් නොපෙනෙයි. කෙටි දුරකි. දුර බරකි. සිංහයා ඔවුන් ගැන අවදියෙනි. අසළ මේසයකින් සංවාදයක් මතුව එයි. සංවාදය රැකියා විරහිත උපාධිධාරී තරුණයෙකු සහ ගෙයින් ගෙට යමින් සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය අලෙවි කරන තරුණයෙකු අතර ය. උපාධිධාරියාගෙන් පැන නැඟ එයි.

"පිටේ බැඳන් කොම්පැනියෙන් දුන් හීන 
ලේන් එකේ දොර දොර යන මිතුරාන 
පෙනේ දහදියෙන් කරවුණ කළු මූණ 
අතේ තිබෙන ආලේපෙන් සුදු නූන"

(25 පිටුව, ඩිරෙක්ට් මාකටිං)

අනෙක් පසින් නැඟෙන පිළිතුර මෙබඳු ය.

"පවරා පවුලෙ සුක්කානම මගෙ අතට 
වැටුණා තාත්තා කුණු ලොරියෙන් බිමට  
බිඳුණා මැටි පහන බය වී කළුවරට 
දිව්වා ගණ දෙවිඳු පොත් මේසෙන් දුරට"

(එම)

කෙසේ වුව විසඳුම් රහිතව හෝ සංවාදය අවසන් වන්නේ බලාපොරොත්තු සහගතව ය. 

"එන්න එන්න සැඩ වෙයි ජල කඳ ඉහළ 
එකම ඔරුවෙ අපි පාවෙනවා පහළ 
දියට වීසි කොට කමකට නැති හබල 
ගිලෙමු නැතොත් පිහිනමු ඉවුරට නිසල"

(එම)

තවමත් සිහින අත් නොහළ මිනිසුන් ගේ හඬ ඇසී සිංහයා ගේ හදවත ප්‍රීතියෙන් පිනා යයි. ජීවිතය පහසු නොමැති වග සිංහයාට නොවැටහෙන්නේ නොවේ. නමුත් අපේක්ෂාභංගත්වයේ පතුළට ම එරුණු පසුවත් ජීවිතය අත් නොහැර ජීවත් වීමට නම් එබඳු සිහින ඇවැසිමය. එබැවින් සිංහයා තරමක සංතෘප්තියෙන් යුතුව තවත් මේසයක් දෙසට ඇස යොමයි. එතැන මේසයේ විශ්‍රාමිකයෙකි. හේ දොඩමළු වන්නේ තමා ම සමඟිනි. 

"ගෙවුණු අඩ සියවසක තිබුණාද ඉසිඹුවක් 
මඳක් නැවතී බලා ඉන්න උඹේ වන්නමක් 
කියාපන් කුරුල්ලෝ දන්න තරමක් සින්දු 
ඉතා වියළි ම මලෙත් උනනු ඇති පැණි බින්දු"

(31 පිටුව, විශ්‍රාමික කුරුල්ලෙකු අමතා කී කවිය)

ජීවිතය මඟ හැරුණු එකෙකු නොව තව එබඳු බොහෝ උන් තමා අවට සැරිසරන වග සිංහයාට වැටහෙයි. එනයින් තමාට කෙරුණු ආරාධනය කිසිසේත්ම අසාධාරණ එකක් නොවන බව සිංහයා දනියි. පෙනෙන්නට ලැබෙන දෑ දරුණුවට හදවතට අනියි. පිටට නොපෙනෙන කඳුළක් සිංහ ඇස් ඇතුළට පනියි. කල්පනාවට වැටෙන සිංහයා ගේ සවනතට තැබෑරුම අසළ වැවකින් නැඟ එන හෘදය සාක්ෂියේ කටහඬක් පතිත වෙයි. අතාර්කිකයැයි නොසිතන්න! සිංහයා තැබෑරුමකට ගොඩ වැදුණු මොහොතක වැවකට සිය කටහඬ අවදි කරන්නට බැරිකමක් නැත.

"ගඩාගෙඩි සලාකෙන් තුන්වේල මඟහැර  
රාජපුරුෂයන්ගෙන් ලබා කස පහර සැර 
බැරිම තැන විසංඥව ඇද වැටුණ සමහර 
මිනිස් සිරුරෙනි නිධන් සෑදුණේ පපුතුර"

(45 පිටුව, වැවක හෘදසාක්ෂිය)

බඳාගෙන අඬන්නට උවමනා මිනිසුන් පමණක් නොව තව බොහෝ දේ ඇති බව සිංහයාට දැන් පැහැදිලි ය. ඉතිං කුමක් කළ යුතුද? සිංහයා සිංහාවලෝකනය පසෙකට දමා පුටුවේ හරිබරි ගැහී වාඩිවිය. දීර්ඝ කල්පනාවකින් අනතුරුව අවසන, නැවත බැහැරට නොයා තව බොහෝ කාලයක් තැබෑරුමෙහි ම නතර වන්නට සිංහයා තීරණය කළේය.

"අද මෙහෙම සමුගත් පසු 
යළි හමුවේද 
නැත්නම් 
හමු නොවීම ඉඳීවිද 

දන්නේ කවුද?"

(49 පිටුව, අන්තිම වතාවට අහන්නම්)


| කසුන් සමරතුංග | 2019.09.01 දා ලංකා - සංදීපනී හි පළවූ සටහනකි |