94 වන Oscars සම්මාන උළෙල Dolby theatre හිදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.
මෙවර ඔස්කාර් උළෙලේ වඩාත් කතාබහට ලක්වූයේ හොඳම නළුවා සම්මානය හිමිකරගත් Will Smith විසින් උත්සවය මෙහෙයවමින් සිටි Chris Rock ට පහරදීමේ සිදුවීමයි. ප්‍රහසන ශිල්පියෙකුද වන Chris Rock විසින් Will Smith ගේ බිරිඳ පිළිබඳව කළ විහිළුවක් හේතුවෙන් කෝපයට පත් Will Smith එක්වරම වේදිකාවට පැමිණ Chris Rock ට පහරක් එල්ල කර නැවත වේදිකාවෙන් පිටව යන අතර ඔහු කෝපයෙන් යම් දෙයක් පැවසුවා. එම හඬ කොටස් මිනිත්තු කිහිපයක් ඇතුළත සම්මාන උළෙලේ වීඩියෝවෙන් ඉවත් කර තිබෙනවා. Will Smith ගේ බිරිඳගේ හිසකෙස් රහිත විලාසිතාව Chris ගේ විහිළුවට ලක්වූ අතර එසේ වීමට හේතුව ඇය හිසකෙස් ගැලවී යාමේ රෝගයකින් පෙලීම බව සිදුවීමේ පසුබිම් පුවතින් කියවෙනවා. ඇතැමුන් මෙය පිටපතක් අනුව සිදුවන්නට ඇති බවට සැක පල කළත් පෙර පුහුණුවකදී හෝ එවැන්නක ඉඟියක් නොතිබූ බැවින් එය ඒ මොහොතේ සිදුවූවක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය මත පල කරන්නේ.
කෙසේ වෙතත් එම සිදුවීම කිසිසේත්ම උත්සවයට බාධාවක් කර නොගෙන එයත් විහිළුවක් ලෙසම භාර ගනිමින් Chris උත්සවය මෙහෙයවූ අතර ඊට සුළු වේලාවකට පසුව Will Smith හොඳම නළුවා බවට නිවේදනය වුණා.
ඉන් වඩාත් සංවේදී වූ Will Smith සම්මානය ලබා ගැනීමේදී අදාළ සිදුවීම පිළිබඳව සමාව ඉල්ලා සිටියා.
" ඇකඩමි ආයතනයෙන් මං සමාව ඉල්ලනවා, සහෝදර සම්මාන නිර්දේශවූවන්ගෙන් සමාව ඉල්ලනවා,
සමහර වෙලාවට කෙනෙක් කියන පිස්සු දෙයක් ඔබව අපහසුතාවයට පත් කරන්න පුළුවන්. එහෙම වෙලාවට ගොඩක් අය බොරුවට හිනාවෙලා ඒක භාර ගන්නවා. ඒත් ආදරය ඔබව පිස්සු දේවල් කරන්න පොළඹවන්න පුළුවන්.. " යනුවෙන් ඔහු සිය කතාවේදී පැවසුවා.
මෙය ඔහුගේ පළමු ඔස්කාර් සම්මානය වන අතර එය හිමිවූයේ King Richard සිනමා පටයේ Richard Williams ගේ චරිතය වෙනුවෙන්.
මෙවර හොඳම නිළිය සම්මානය හිමිවූයේ Jessica Chastain ට වන අතර ඒ The Eyes of Tammy Faye වෙනුවෙන්.
ශ්‍රවණාබාධිත පවුලක උපන් එසේ නොවන දැරියක් පිළිබඳ කතාවක් රැගත් CODA චිත්‍රපටය මෙවර Oscars සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකර ගත්තා.
හොඳම සජීවිකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ඩිස්නි සමාගමේ Encanto චිත්‍රපටයයි.
හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන හිමිවූයේ
The Power of the Dog සිනමාපටයේ අධ්‍යක්ෂවරිය වන Jane Campion ටයි.
වැඩිම සම්මාන ගණනක් හිමිකරගත්තේ Dune සිනමාපටයයි. එම සම්මාන ගණන 06 ක්. සම්මාන 12 කට නිර්දේශ වූ The Power of the Dog චිත්‍රපටය වැඩිම නිර්දේශිත නාම වලට ඇතුළත් සිනමාපටය වනවා.