මිසයිල කෙටි නාට්‍ය හතරක් ගැන කෙටි සටහනක්

මිසයිල කෙටි නාට්‍ය හතරක් ගැන කෙටි සටහනක්

කෙටියෙන් ලියලා ඉවර කරන්න ඉතාම අපහසු 'කෙටි නාට්‍ය ' හතරක් බලන්න ලැබුණෙ ගිය සතියෙයි. 'හිතට වැටුන මිසයිල' නමින් ඒ උළෙල , නම් වුණා. දවස් ගානක් ගෙවී ගියත් ඒ ගැන මතකය එක්ක තාමත් මනස හැප්පෙනවා. දිගින් දිගට හිතන්න, සංවාද විවාද කරන හැකි වෙන තරමට ඒ නාට්‍ය කිහිපය මනස ඇතුළාන්තයෙන්ම ගිලගෙන අවසන්. නාට්‍ය අයිතිකාරයා සචිත්‍ර රාහුබද්ධ. ස්වතන්ත්‍ර පිටපත් හතරකුයි අලුත් රංගන ශිල්පීන් පොකුරකුයි එක්කයි ඔහු වේදිකාව ආක්‍රමණය කරන්නෙ. සැබැවින්ම එය නාට්‍යමය,  සංවේදි , නිර්මාණාත්මක  සහ අවංක ආක්‍රමණයක්. ඇයි ඒක
එහෙම වෙන්නෙ? එකිනෙකට පෙළගැස්විය හැකි හේතු රැසක් එතන තියෙනවා.

කැපනං, දෙමළා නම් , උත්පලවර්ණා සහ රත්මල් යහනක සැතපි. නාට්‍ය , වේදිකාගත වෙන්නෙ ඒ පිළිවෙළට.

 

FB IMG 1663240601212
ධනවත් පැවිද්දෙක් සහ දුප්පත් ගිහියෙක් අතර වෙන සංවාදයක් ' කැපනං'හි තේමාව සටහන් කරනවා. සහසුද්ධෙන්ම ව්‍යාපාරික සූදුවට අහුවෙච්ච හාමුදුරු නමක් , ආගමික ව්‍යාපාරය කරගෙන යෑමේ පරම උවමනාවෙන් කටයුතු කරන්නෙක්. ඔහුට ඕන වෙනවා උත්කර්ෂවත් පිළිමගෙයක් හදවන්න. ඒකට එකම බාධාව පරණ පිළිමගෙය. පියදාස කියන අසරණ ගැමියා ලවා පිළිමගෙය කඩාබිඳ දමන්න හාමුදුරුවො තීරණය කරනවා. පියදාස එයට එකහෙළාම විරුද්ධ වෙනවා. ඔහු සතු උතුරායන භක්තිය , ඔහුව වළකනවා. බණ කියන ගිහියෙක් සහ බණ අහන හාමුදුරු නමක් විදියට භූමිකා දෙක මාරු වෙන විදියට දෙබස් නිර්මාණය වෙනවා. චරිතවල ස්වරූපය පොඩ්ඩක් කරකවනවා. එතනදි  හාස්‍ය උපදිනවා. ඉතිං ප්‍රේක්ෂකයා නාට්‍යයට බැඳෙන එක සුපැහැදිලි.   හාස්‍ය අවසානයේ හැදෙන අනුවේදනීය බව පපුව පාරවනවා. පියදාස ආගම් ලබ්ධිකයෙක් වුණත් ජීවිතේ ගැඹුර ඔහු අල්ලන්නෙ අන්ධ භක්තියකින් නෙවේ. පියදාස කියන්නෙ ආගමක් එක්ක හැඳුනු මිනිහෙක් මිසක් ආගමක් නිසා හැඳුන මිනිහෙක් නෙවේ. නාට්‍ය අවසානයේ ඔහු 'මහා නික්මයාමක්' සටහන් කරනවා. ඔහුගෙ ඒ නික්මයාම ඇතුළෙ ආගම් ශූන්‍ය වෙලා දූවිලි වෙලා යන බව පේන්න පටන් ගන්නවා. හැබැයි සචිත්‍රට ඕන වෙන්නෙ, මේ ආගමිකත්වය වාණිජකරණය නොවී පැවතිය යුතුය, එය එසේ නොවන තාක් කල්  මිනිසුන් ඒහා බද්ධ වීම නරක නැත. කියන්නටදැයි යන්න මතු වෙන කාරණයක්.

 

FB IMG 1663839132485
'දෙමළා නම්', දෙවැන්න. ' දෙමල්ලු නං මෙහෙමයි', 'දෙමල්ලු යනු මොවුන්‍ ය'. යන අර්ථ දෙකෙන්ම මේ නම කියවගන්න පුළුවන් . බහ්වර්ථ ගේන නමක්. අවුරුදු දහයක් පුනරුත්තාපනය වුණු ත්‍රස්තවාදී දෙමළ මනුස්සයෙක්, රජයෙන් දෙන වන්දි මුදල ගන්න රජයේ ඉහළ නිලධාරියෙක් හමු වෙන්න එනවා. තමන් ත්‍රස්තවාදියෙක් බව ඔප්පු කරගත නොහැකිව ඔහු අසරණ වෙනවා. නාට්‍ය හතරෙන් මා පෞද්ගලිකව කම්පාවට පත් කළ නාට්‍ය මේක. මේ දෙමළ පුද්ගලයා යුද්ධයට කැමති (?) පුද්ගලයෙක්. සිංහලයෙක් යුද්ධයට කැමති වීමයි දෙමළක් යුද්ධයට කැමති වීමයි, සමාජය භාරගන්නෙ දෙවිදියකට. ත්‍රස්තවාදී මිනිසා  සිංහල නොවී දෙමළ වීමත්, ඔහු යුද්ධයට කැමති වීමත් කියන කාරණය වේදිකා නාට්‍යය තේමාවක් වීමම අලුත්ම වැඩක්. එවැනි සංකල්පයක් වේදිකාව මතට ගෙන ඒම ගැන සචිත්‍රට ස්තූතියි කිව යුතුයි. නමුත් එහි හීනි සාහසිකත්වයක් තියෙනවා. සංහිඳියාව සුමටව සුරතල් කරන ගමන් ගැටුම් කෙරෙහි ආදරය පෑමද මේ ?  කියන තැනක  දෝලනය වීමක් තියෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුර  'ඔව්' නම්....? 

 

FB IMG 1663240574635
'උත්පලවර්ණා' කියන්නෙ බලන් ඉන්න බල කෙරෙන දෙබස් බේරෙන නාට්‍යයක්. සෙක්ස් කරනවට තමන්ගෙම පෙම්වතාගෙන් සල්ලි ඉල්ලන පෙම්වතියක් සහ ඒක විවේචනය කරන පෙම්වතෙක්. මේ යුවළ වටා තමා කතාව ගලාගෙන යන්නෙ. ප්‍රේක්ෂකයෙක් විදියට ටිකක් දරුණු විවේචනයක් මේ සම්බන්ධව තියෙනවා. කෙල්ලක් තමන්ගෙ ' වටිනාකම' ලබාගන්න හරි හොයාගන්න හරි 'යෝනිය' බෙල්ල මුලට තියන්නෙ ඇයි කියන එක ප්‍රශ්නකාරීව දැනුණා. ඒ කියන කාරණයට දෙබස් කිහිපයකින් සචිත්‍ර තර්කයක් ගොඩනගනවා. උත්පලවර්ණා කියන්නෙ අරුණ්ගෙ (පෙම්වතාගෙ) යටතේ හිරවෙලා ඉන්න කෙල්ලක් බව කියැවෙනවා. එහෙම කෙල්ලෙකුට වටිනාකමක් ලැබෙන්නෙ ඇඳේදි විතරයි කියලත් කියනවා. ඒක ලොකු සංවාදාත්මක කාරණාවක්. අනෙක් අතට උත්පල වර්ණයෙන් යුතු සිරුරක් ඇති ගැහැනියක්, මානසික වශයෙන්  පත්විය හැකි තත්ත්වයක් එයින් කතා කෙරෙනවා. ඒ මානසික බලපෑමෙ තීව්‍රතාව මතම තමයි , එක අතකට 'වර්ණා' (පෙම්වතිය) තමන්ගෙ වටිනාකම එවැනි තැනකට ලඝු කරන්නෙත්.  මේ දෙබස් ගලා යෑම වෙන්නෙ හරියට මිසයිල වගේමයි. එකකට එක සට සට ගාලා කියැවෙනවා. ඒ රඟපෑම්වල රිද්මය ඊට ඉහළයි. ඒ දෙබස්වල ජීවය මුළුමනින්ම පවතින්නෙ ඒ රඟපෑ රංගන ශිල්පීන්ගෙ රංග වින්‍යාසයේ රිද්මය මතමයි. ඒ රහ ඇස්වලට හොඳටම දැනෙනවා.

 

FB IMG 1663839280166
සාම්ප්‍රදායික රට යකුම හෙවත් රිද්දි යාගය ඇසුරෙනුයි ' රත්මල් යනහක සැතපි' නාට්‍ය නිර්මාණය වෙන්නෙ. නාට්‍ය හතරෙන් වෙනස්ම කලාපයක් අත්පත් කරගන්න නාට්‍ය මේක. දරු ඵල ඉල්ලා සාම්ප්‍රදායිකව මේ රටේ සිද්ධ වෙන යාගයක් රිද්දි යාගය. මේ කියන ' රිද්දි බිසව්'  පැමිණිල්ලක් කරන්න පොලීසියට පැමිණෙනවා. පොලිස් කොස්තාපල්ගෙ බිරිඳ දරු ඵල බලාපොරොත්තුව ඉන්නවා. රිද්දි බිසව් තමන්ට දරුඵල නැති වීම ගැන මුළු මහත් සමාජයම විත්තිකරුවන් බවට පත් කරනවා. මේ කිව්ව කතාවට නාට්‍යානුසාරය ගේන්න ලේසි නෑ. ඒත් සචිත්‍ර ඒ වැඩේ හරියටම කෙරුවා.

සචිත්‍ර රාහුබද්ධ , විශිෂ්ට පර්‍යේෂකයෙක් බව ඒ නාට්‍ය දැක්කම තේරෙනවා. ඒක ලෝභ නැතිව කිව යුතුයි. ඔහු ඉන්නෙ එක අරමුණක පිහිටායි. ඔහු යම් උපන්‍යාසයක් ගොඩනගනවා. ඒක හිතලුවක් වෙන අවස්ථාත් තියෙනවා. නමුත් තමන්ගෙ උපන්‍යාසය එහෙම නැත්තං උපකල්පනය සත්‍ය බවට පත් කිරීම සඳහා ඔහු දත්ත එකතු කරනවා. දක්ෂ ලෙස ඒවා කපා කොටා දමලා තමන්ට අවශ්‍ය කොටස විතරක් මතු කරලා ගන්න ඔහු දක්ෂයි. ' රත්මල් යහනෙන්' උදාහරණයක් පෙන්විය හැකියි. එතනදි ඔහුට ඕන වෙන්නෙ , දරු ඵල නොමැති වීමට වරදකරුවා මුළුමහත් සමාජයම බව කියන්න. ඒ වෙනුවෙන් මවන නාටකීය අවස්තාව ඉතා සංක්‍ෂිප්තයි. ඒ වගේම ඒකායනයි. අනවශ්‍ය දත්ත කිසිවක් නෑ.

" කොස්තාපල් සාජන්ට බයයි. සාජන් ඉන්ස්පෙක්ටර්ට බයයි, ඉන්ස්පෙක්ටර් එස් අයිට බයයි. එස් අයි ඕඅයිසීට බයයි. ඕඅයිසී ඩීඅයිජීට බයයි. ඩීඅයිජී පොලිස්පතිට බයයි, පොලිස්පති අගමැතිට බයයි, අගමැති ජනාධිපතිට බයයි. ජනාධිපති ජනතාවට බයයි. ජනතාව කොස්තාපල්ට බයයි.'

ලංකාවෙ දේශපාලනික දිළිඳුකම ඔප්පුකරන ගමන් තමගෙ අරමුණ සත්‍යේක්ෂණය කර ගැනීම සඳහා සචිත්‍ර ඉතා සියුම්ව තමන්ගෙ පෙළ නිර්මාණය කරගන්නවා. එය සැබැවින්ම දක්ෂකමක්. සමාජයේ අප දකින දෙය එලෙසින්ම වේදිකාව මත ප්‍රතිනිර්මාණය කිරීමෙන්  නාට්‍යමය නාට්‍යයක් බිහි වෙන්නෙ නැති බව සචිත්‍ර තරයේ ඔප්පු කරලා පෙන්වනවා. සංගීතය, රංගාලෝකය , රංග වින්‍යාසය මේ සියල්ල බුහුටිවට මුහුකරන්න ඔහු සමත්. මේ නාට්‍ය කිහිපය විශේෂ වෙන්නෙ ඉහත කාරණා හැමදේම ඇසුරෙහි චාරිකාවක් ඒ හරහා යා හැකි නිසයි.

| සසංකා විතානගේ |