ආදරයත් අරගලයත් දෙකක් නෙවෙයි එකක්  !  

ආදරයත් අරගලයත් දෙකක් නෙවෙයි එකක්  !   
කෙනෙකුට ආදරය විදියට තමන්ගේ අතට මිට මොලව ගන්න පුළුවන් කුඩා ලෝකයක් හසු වෙද්දි, තවත් කෙනෙක්ට ආදරය කියන්නෙ, පුළුවන් තරම් දෑත් විහිදලා බඳා ගන්න තරම් සුවිසල් දෙයක්. මහා හදවත් තියෙන මිනිසුන්ට විතරයි ඒ තරම් සුවිසල්ව ආදරේ කරන්න පුළුවන්.

ශ්‍යාම් කියන්නෙ අන්න එහෙම චරිතයක්. Shyam Singha Roy සිනමාපටයේ අපට ශ්‍යාම්ව මුණ ගැහෙන්නෙ වාසු ව මුණ ගැහුණට පස්සේ. ශ්‍යාම් සිනමාපටයට එනකම් ඒක සරල සාමාන්‍ය කතාවක් විතරයි.
 
20220209 145751


ශ්‍යාම් කියන්නෙ ධනය බලය කුලය ඉහළින්ම තියෙන පවුලක හිතුවක්කාර බාල සහෝදරයා. මුලින්ම චරිතය හඳුන්වල දෙන්න යොදාගන්න සිදුවීම්  වලින් ශ්‍යාම් කවුද කියල ප්‍රේක්ෂකයට දැක ගන්න ලැබෙනවා. කුල හීන මිනිසුන්ට වතුර බින්දුවක් ගන්න ඉඩ නොදෙන ප්‍රශ්නෙකට මැදිහත් වෙන සිදුවීමකින් සිනමාපටය ශ්‍යාම් ගැන අපට පෙන්වන්නෙ, එයා එයාගෙ ආදරවන්තිය විදියට දේවදාසියක් තෝරගන්න කළින්. ඒකෙන් ශ්‍යාම්ගෙ හිත කුඩා එකක් නෙවෙයි කියල අපට කියනවා. මොකද ආදරවන්තියක් වෙනුවෙන් හැමදේම අත්හරින ඕන තරම් මිනිස්සු ඉන්නවා. නමුත් ශ්‍යාම් කියන්නෙ ඒ හින්දා විතරක් පෙනී ඉන්න කෙනෙක් නෙවෙයි.

Nani 3
ඉතාම අවදානම් විදියට දේවදාසියක් වුණ මෛත්‍රිට ආදරේ කරද්දි පවා ශ්‍යාම් ඇයට කියල දෙන්නෙ ගැහැනියක් කාගෙවත් දාසියක් නෙවෙයි කියලා. ඔහුගෙ ඇසුර එක්ක ලෝකය ගැන දැන ගන්න මෛත්‍රිත් දේවාලේ ඇතුලෙ තමන්ගෙ වර්ගයේ අයිතිය වෙනුවෙන් කතා කරනවා. ඇත්තටම එච්චර දේවල් නොකර ඇයට තිබුණා තමන්ට ලද අවස්ථාවෙන් තමන්ගෙ ආදරවන්තය එක්ක එතනින් පැනල යන්න. ශ්‍යාම් ට තිබුණා ඇයව විතරක් අරගෙන ගිහින් තමන්ගෙ ජීවිතේ පටන් ගන්න. ඒත් එයාල විවාහ වුණාට පස්සෙත් මෛත්‍රි නැත්නම් ශ්‍යාම් ගෙ රෝසි ඇය වගේ දේව දාසියන් එයින් නිදහස් කරගන්න ශ්‍යාම් එක්ක අරගල කළා. අන්න ඒකයි සුවිසල් ආදරයක් කියන්නෙ.
 
Shyam Singha Roy 1


ශ්‍යාම් සටන් කළේ සමාජ සාධාරණය වෙනුවෙන්. එයාගෙ අකුරු වලින් ඒ සමාජයේ විසල් පිබිදීමක් ඇතිවෙන විදියත් ඒකට මල් වගේම ගල් ප්‍රහාරත් එල්ල වෙන විදියත් සිනමා පටයේ පෙන්වනවා.

" එක උණ්ඩයක් යන්නෙ එක්කෙනෙක් ළඟට. ඒත් එක අකුරක් දහස් ගාණක් අතරට යවන්න පුළුවන්. " කියලයි පෑන අවිය කරගත්ත ශ්‍යාම් කිව්වෙ. ඒ අවියෙන් සමාජ අරගලය උණුසුම් වෙද්දි ශ්‍යාම් ගෙ ගමන නවත්වන්නෙ එයාගෙ පවුලෙන්මයි. කුලය ධනය සහ බලය රැක ගන්න එක සහෝදරකමේ ලේ බැම්මටත් වඩා වැදගත් බව පෙන්වමින් ශ්‍යාම් ව සදහටම නිහඬ කරවනවා. මේ ලෝකේ හුඟක් අරගල කරුවන්ට සිද්ද වුණ දේමයි ශ්‍යාම්ටත් වෙන්නෙ. විසල් ආදරවන්තයින්ගේ අවාසනාවන්ත ඉරණමද ඒක ? ඒ ප්‍රශ්නය ප්‍රේක්ෂකයට.

වාසු ට ශ්‍යාම්ව හොයාගන්න වෙන්නෙ අලුත් සිනමා කරුවෙක් විදියට යන්තම් සාර්ථක වෙන්න පටන්ගන්නකොටම ආව බුද්ධිමය දේපල ප්‍රශ්නයක් නිසා. පැහැදිලිවම තමන් අතින් ලියවුණ පිටපත් අවුරුදු පනහකට විතර කළින් ලියවිලා තිබුණ කතා කියලයි ප්‍රශ්නෙ ඇති වෙන්නෙ. අන්තිමේදි වාසුට හැමදෙයක්ම ලැබෙනවා. තමන් කවුද කියල දැන ගන්න වගේම තමන්ට ගොඩක් ආදරය කළ පොඩි අයියා මනෝජ් රෝයි සහ ආදරණීය රෝසිත් ඔහුට හමුවෙනවා.
 
20220209 145838

ආදරයත් අරගලයත් දෙකම අකාලයේ මරණයට පත් කළත් කවදා හරි ඒ දෙකම ජය ගන්න බව සහ ජය ගතයුතු බව කියන ප්‍රේක්ෂක අභිප්‍රාය සඵල කරමින් සිනමා පටය නිමා වෙනවා. ප්‍රේක්ෂක මනෝරාජිකය තුළ වගේම හැබෑ ලෝකෙත් ආදරය සහ අරගලය ඒ විදියටම ජය ගන්නවා නම් කොයි තරම් වටිනවද කියලත් අවසානයෙදි සටහන් කරන්න හිතුණා.

| ජයමාලි දිසානායක |