මොනාලිසා විශිෂ්ටයි නම්  සීගිරි චිත්‍ර අතිවිශිෂ්ටයි

මොනාලිසා විශිෂ්ටයි නම්  සීගිරි චිත්‍ර අතිවිශිෂ්ටයි

" ඔව් , මොනාලිසා විශිෂ්ටයි තමයි.

ඒත් මොනාලිසා විශිෂ්ටයි නම්
සීගිරි චිත්‍ර අතිවිශිෂ්ටයි."

කාලයෙන් ඔබ්බට ගිහින් ආරම්භ වන 'නිල් කට්රොල්' කාලයෙන් ටිකක් එහාට යන්න ඕන වැඩක්. අපි බොහෝ දෙනා පෙම් බඳින මොනාලිසා වගේම සීගිරි ළඳුන් ජීවමාන මුණ ගැහීම පොතකින් හමුවන ආස්වාදජනක හැඟීමක්. අනාගතයේදී හිදී යැයි අප විශ්වාස කරන ඉතිහාස ගවේෂකයාගේ ඒ  මුල් පරිච්ඡේදය අතිශය සිත්ගන්නාසුළු කුතුහලයක් සහිතම කොටසක්. 'නිල් කට්රොල්' පිපෙන්නේ ඔහුගේ ආපස්සට යන ඓතිහාසික ගමනේදි.. ලාංකේය අපේ හමේ වර්ණයම කලකට පෙර සමහර ලාංකේය ජනතාවම පාගා දැමූ බව මේ මොහොතේ නවකතාවකින් හෝ කියන්න හැකි නම් එහි වටිනාකම වැඩිය.

කතාව තුළ සාමාන්‍යය කාන්තාවක් බිසවක් වෙන ක්‍රියාපිළිවෙතට  ඉඩ වෙන්වීම වැඩි වුවත් එය ශෘංගාර රසය උපරිමයෙන් මතු කිරීමට දැරූ උත්සාහය වටින්නේය.

එහි වඩා වැදගත් කොටස වන්නේ  මහාවංශය සහ මහානාම  කිතූ කිතූ කර දැමීමයි. ඉතිහාසය කියවන , කියවූ අයෙකුට එහි අතිශය පක්ෂපාතී බව නිසාම බොහෝ වැදගත් ඓතිහාසික තොරතුරු ඒ පක්ෂග්‍රාහී බවෙන් වැසී ගොස් ඇත. ධාතුසේන අනුකම්පා සහගත ලෙස මහානාමගේ ද්‍රෝහී ලියවීමට (නිල් කටරොල් නොවන මහාවංස ලියවීමට) කෙතරම් හසුවී ඇත්ද යත්, එහි මොහාන් ගොතන කතාවටත් වඩා ඇත්තටම සිදු වෙන්න ඇත්තේ මේ යැයි හැඟෙන තරමට ඒ සමහර කොටස් යථාර්ථවාදී ලෙස දැනෙන තරම්! එයට හේතුව දුටුගැමුණු වැනි රජවරුන්ට මහාවංසය දැක්වූ අතිශය අතිශයෝක්තියට නංවා ලිවීමයි. රචකයාගේ ලිවීම ඒ අතිශයෝක්ති පක්ෂග්‍රාහී මහාවංසයට අභියෝග කරයි.

එළාර - දුටුගැමුණු යුද්ධයේ සියලු සම්මාන දුටුගැමුණු වෙත දීම සේම කාශ්‍යපට  සීගිරිය ගොඩනැගීමේ සම්මාන දීමත් ඉතිහාසය පසුකාලීනව කියවන අයට දුන් අසාධාරණ නිර්ණායකයන්.
ඒ සිදුවීම් දෙකම (සහ ඉතිහාසයේ බොහෝ සිදූවීම්) Team work ලෙස අර්ථ ගැන්විය යුතුයි. නිල් කට්රොල් තුළ ඒ team work පිළිබඳව සාධාරණ ලිවීම විශිෂ්ටයි. ඉතිහාසය නිර්මාණය කළ අය පිළිබඳව අප තවමත් ගවේෂණය කලයුතු බව මහාවංසය හිස්මුදුනින් පිළිගන්නා අය පිළිගන්නේ නම් මැනවි.

කෙසේ නමුත් සීගිරි ළඳුන් ගල් මත සිතුවම් වෙන්නට පෙර ජීවමාන ලෙස දකින්නේ තවමත් ඉපදුණු නැති අයෙක් බව ඔහු පවසන වඩාත්ම සිත්ගන්නාසුළු සහ වඩා අලංකාරම දෙයක්. අනාගතයෙන් පැමිණෙන අයෙක් උපුලී නොහොත් කාශ්‍යපගේ මව සිතුවම් කර , අනාගතයේ සීගිරි ගල මත සිතුවම් වෙන කාශ්‍යපගේ බිසව දකින්නේ කෙලෙසද යැයි අවබෝධ වන්නේ කතාව අවසානයේ දීය. එයින් නොනැවතී නැවත සීගිරි අප්සරාවක් සිතුවම් කර ඇය සමඟ අනාගතයට ඉගිල යන මොහොත මේ කතාව පිළිබඳව හරියටම තේරුම් ගත හැකි මොහොත ය. කාලය හරහා ගමන් කළ බව නොකියා ඉතිහාසයට සහ අනාගතයට ඔහු ඇය හා ගමන් ගත් බව සහ සීගිරි අප්සරාවන් අනාගතයේ හමුවන බවත් , මුල් පරිච්ඡේදයෙන් ම පවසා ඇති බව එහි අගදී ඔබට දැනෙනු ඇත.

අවසාන වශයෙන් කතාව තුළ සමස්තයටම එකඟ විය හැකි වූවත් එහි මා ඔහු සමඟ එකඟ වන වඩා සිත් ගත් කොටසින් මෙය නිම කරමි.

"ඔව් , මොනාලිසා විශිෂ්ටයි තමයි. ඒත් මොනාලිසා විශිෂ්ට නම් සීගිරි චිත්‍ර අතිවිශිෂ්ටයි."

ඒ අතිවිශිෂ්ට සීගිරි සිතුවම්වල 'පැහැය' නිල් කට්රොල් තුළින් කියවා බලන්න ඔබට හැකිය.

| නෙළුම් නිසංසලා |