අප්‍රමාදව නිදොස් කළ යුතු  ගී ලොව ඉතිහාසයේ ප්‍රමාද දෝෂ 

අප්‍රමාදව නිදොස් කළ යුතු       ගී ලොව ඉතිහාසයේ ප්‍රමාද දෝෂ 

ගීතයක් නිර්මාණය වීමේ දී ගීත රචකයාට හිමිවිය යුතු තැන පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. අද මෙන් නොව අතීතයේ විසූ බොහොමයක් රචකයින් ගීත රචනා කළේ මුදල් අපේක්ෂාවෙන් ම නොවේ. තමා සතු කුසලතාවයන් ඔප් නංවා ගැනීමට මෙන්ම, ගුණාත්මක යමක් රසිකයින්ට තිළිණ කිරීමේ අපේක්ෂාවෙන්,  තමන් නොමැති කලෙක වුවද නිර්මාණය ජනතාව අතර රැඳෙනු ඇතැයි යන විශ්වාසය පෙරදැරිව වන්නට ඇත. සංගීතඥයන්ද එසේමය. 

එහෙත් ගෙවී ගිය කාල පරාසය තුළ ඇතැම් ගුවන් විදුලි රූපවාහිනී  මෙන්ම මුද්‍රිත මාධ්‍යයන් ද ගීත ගැන ලිවීමේදී,  ප්‍රචාරය කරද්දී ගීත රචකයන් පිළිබඳව මෙන්ම සංගීතඥයන් පිළිබඳ නිවැරැදිව සොයා බලා කටයුතු කරන්නට නොපෙළඹෙන බවක් පෙනෙන්නට ඇත. මේ පිළිබඳ පහත සටහන තබනුයේ මා අත්දුටු සිදුවීම් කිහිපයක් ඇසුරෙනි. 


ලකට පෙර එක්තරා සංගීතමය වැඩසටහනක්  රූපවාහිනී නාලිකාවක් ඔස්සේ හවස් යාමයේ විකාශනය කරනු ලැබීය.

එහි එක් වැඩසටහනක සංගීතඥ සරත් දසනායකයන්ගේ සංගීත දිවිය පිළිබඳ කතා කොට එක් අවස්ථාවක ' සිංගප්පූරු චාලි ' චිත්‍රපටියට ඇම්. ඇස් ප්‍රනාන්දු ගැයූ මල් යහනාවකි ලෝකේ නම් ගීතය ප්‍රචාරය කරන ලදි. එහෙත් එම ගීතය සංගීතවත් කළේ සරත් දසනායකයන් නොව ප්‍රේමලාල් දන්වත්තයන් බව ඔහු නොදැන සිටින්නට ඇත. තිරයේ සටහන් වූයේ දසනායකයන්ගේ නමය. ගීත දහස් ගණනක් සඳහා සංගීතය නිර්මාණය කළ සරත් දසනායකයන්ගේ නිර්මාණ අතරින් නිවැරදිව අතලොස්සක් තෝරා ගන්නට නොහැකි වීම කණගාටුවට කරුණකි. 

එම වැඩසටහන් මාලාවේ කරුණාරත්න අබේසේකර ශූරීන් වෙනුවෙන් වෙන් කරන ලද හෝරාවේදී ද ඔහුගේ නිර්මාණයක් ලෙස ' සත පනහ ' චිත්‍රපටයට එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක ගායනා කළ ' චන්ද්‍රාමේ රෑ පායා '  ගීතය ප්‍රචාරය විය. එහෙත් එම ගීතය රචනා කර ඇත්තේ හර්බට් එම්. සෙනවිරත්නයන් විසිනි. ගීත දහස් ගණනක් ලියූ කරු අයියාගේ ගීත ලයිස්තුවට අනෙකකුගේ ගීතයක් එක්කර තිබීම ඔහුට කරන ලද අවමානයක් ලෙස මට හැඟෙයි.

තවත් මෙවැනිම සිදුවීමක් මෑතකදී මට දැක ගන්නට ලැබිණ.  සති අන්ත පුවත්පතක ප්‍රේමකීර්ති ද අල්විස් අනුස්මරණය වෙනුවෙන් දැවැන්ත ලිපියක් පිටුවක් පුරා පළ කර තිබිණ. එහි අඩුපාඩු රැසක් ඇතුළත්ව තිබිණ. එහි සඳහන් වූයේ ප්‍රේමකීර්ති මුල්වරට චිත්‍රපට ගීත රචනා ක්ෂේත්‍රයට එක් වූයේ ' ලොකුම හිනාව ' චිත්‍රපටයට ඇතුළත් ' පරණ කෝට් ' නම් වූ ෆ්‍රෙඩී සිල්වා ගායනා කරන ගීතය රචනා කිරීමෙන් බවය. එහෙත් එම ගීතය රචනා කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. ප්‍රේමකීර්ති රචනා කළේ එම චිත්‍රපටයට ඇතුළත් එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගැයූ ' කැකුළු මලක පෙති මත මුතු කඳුළු කැට සලා' නම් වූ යුග ගීතයයි. 

ඊට අමතරව එම ලිපියේම කොහෝ කොහෝ කොහේ ඉඳන්, සෙවනේ කුඹුක් සෙවනේ,  දකුණු ලකේ අග නගරේ, නුවර වැවේ, අඹ දඹ නාරන් යන ගීත ප්‍රේමකීර්ති ලියූ ගීත ලෙස දක්වා තිබිණ. කොහෝ කොහෝ නම් අවුරුදු ගීතය රචනා කරනු ලැබුවේ ආචාර්ය අජන්තා රණසිංහයන් විසිනි. මොණරතැන්න චිත්‍රපටයට ඇතුළත් සෙවනේ කුඹුක් සෙවනේ නම් වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට ටී. එම් ජයරත්න සහ ඇන්ජලීන් ගුණතිලක ගායනා කරන ගීතය රචනා කරන ලද්දේ නිහාල් ඒ. ජයසිංහයන් විසිනි. ප්‍රේමකීර්ති මොණරතැන්න චිත්‍රපටයට ගීත රචනා කළේ ද නැත. එමෙන්ම චිත්‍රා සහ පී. ඇල්. ඒ. සෝමපාල ගැයූ දකුණු ලකේ අගනගරේ ගීතය මා දන්නා තරමින් රචනා කරනු ලැබුවේ පියසේන කොස්තා නම් එකල ජනප්‍රිය ගීත රැසක් ලියූ රචකයෙකි. නුවර වැවේ ගීතය ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයෙකු මෙන්ම ප්‍රවීණ ගීත රචකයකු වූ ආනන්ද සරත් විමලවීරයන් ලියා ඇත. අඹ දඹ නාරන් ගීතය රාමායණය නූර්තිය වෙනුවෙන් නීතිඥ ජෝන් ද සිල්වා විසින් රචනා කරන ලද්දකි. ඒ වනවිට ප්‍රේමකීර්ති ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසෙනවා තියා ඉපදිලා වත් නැත. 

අපේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් තුළින් ගීත වල අරුත අපූරුවට පැහැදිලි කරනු ලබන වැඩසටහනක් දැනුදු විකාශනය කරනු ලබයි. ඊට සම්බන්ධවී සිටින්නේ ද අපේ මිතුරෙකි.  වරක් එම වැඩසටහනක් තුළින් ගීත රචක කේ. ඩී. කේ ධර්මවර්ධනයන් පිළිබඳව විස්තරයක් කොට ඔහු ලියූ ගීතයක් ලෙස මර්වින් පෙරේරා සමග අමිතා දළුගම ගායනා කළ '  එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්'  නම් වූ ගීතය වාදනය කරනු ලැබීය. එහෙත් එය ප්‍රේමකීර්ති ද අල්විස්ගේ රචනයක් බැව් ඔහු නොදැන සිටින්නට ඇත. එම වැඩසටහන් මාලාවේ ම තවත් එක් වැඩසටහනක ප්‍රේමකීර්තිව වෙනත් භාෂාවකින් ගැයුණු ගීත වලට ගැලපෙන ලෙස පදවැල් ලියන දක්ෂම ගීත රචකයකු ලෙසින් හඳුන්වා දුන් අයුරු මට මතකය. අනතුරුව ඊට හොඳම නිදසුනක් ලෙසින් ඔහු එච්. ආර්. ජෝතිපාල  
හින්දි තනුවක් අනුව ගායනා කරන ලද ' අඬන්නෙ ඇයි සුදු මැණිකේ ' නම් වූ ගීතය ප්‍රචාරය කරනු ලැබීය. එහෙත් එම ගීතය ලියා ඇත්තේ ප්‍රේමකීර්ති නොව ධර්මසිරි ගමගේ ශූරීන් විසිනි. 

මෙම වැරදි අදටත් බොහොමයක් සිදුවෙයි. ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්නට ගියවිටදී ඇතැමුන් අපව සලකන්නේ හතුරන් ලෙසිනි. වරක් දිනපතා පුවත්පතක සිනමා පිටුවෙහි ප්‍රේමකීර්ති ලියු ගීත විග්‍රහ කරමින් අපූරු ලිපියක් ලියා තිබිණ. එහෙත් එහි ඇතුළත් වූ ගීත අතරට ' මෝහෙන් මුලා වෙලා ' නම් වික්ටර් රත්නායක ගැයූ ගීතයද ඇතුළත් විය. මම එහි සංස්කාරකවරයාට කතා කොට එම ගීතය රචනා කරනු ලැබුවේ සිරිල්. ඒ. විමලවීරයන් බව දන්වා සිටියෙමි. ඔහු ගත්කටටම පැවසුවේ 


' මචං උඹ හොයන්නෙම අපේ වැරදිනෙ...' යනුවෙනි. එහෙත් ඊළඟ සතියේ එම වරද නිවැරදි කර පල කරන්නට තරම් ඔහු කාරුණික වීම අගය කළ යුතුය. 

කලකට පෙර සංගීතඥ නිමල් මෙන්ඩිස් අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදි  ඔහු පිළිබඳව ලිපියක් එක්තරා පුවත්පතක සකස්කොට තිබුණේය. එහි සඳහන් වූයේ ' ගඟ අද්දර ' චිත්‍රපටයට ' ගඟ අද්දර මා ' ගීතය ගායනා කිරීමට අවස්ථාව ලබා දීමෙන් විජය කුමාරතුංගයන්ට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට මඟ පෑදුවේ නිමල් මෙන්ඩිස් නම් වූ සංගීතඥයා බවයි. එහෙත් විජය කුමාරතුංගයන්ට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයට එක් වන්නට අවස්ථාව ලබා දුන්නේ ප්‍රේමසිරි කේමදාසයන් බවත්, ඒ ' පාර දිගේ ' චිත්‍රපටයට ඇතුළත් ' පාවෙලා යන පාර වටේ ' ගීතය තුළින් බවත් මම අප පත්තර මිතුරාට පැහැදිලි කර දුනිමි. එහෙත් මගේ කතාව පිළිගන්නට ඔහු කැමති නොවීය. 

."..අයියෙ.. අන්තර්ජාලයෙ තියෙන්නෙ ඔය විදියටයි..." ඔහු කිවු පසු ඕනෑ ජංජාලයක් කරගන්නට හැර මම නිහඬ වීමි. 


| ලක්ෂ්මන් මල්ලවආරච්චි |


සංස්කාරක සටහන - 

ලක්ෂ්මන් මල්ලවආරච්චි යනු ප්‍රවීණ සිනමා පුවත්පත් කලාවේදියෙකි. ඔහු විසින් සම්පාදනය කරනු ලැබූ මෙම ලිපිය තුළින් උත්සාහ කර ඇත්තේ නිවැරදි තොරතුරු සමාජගත කිරීමය. මෙම තොරතුරු සම්බන්ධයෙන් වෙනත් අදහසක් හෝ විසංවාදයක් ඇත්නම් එයද පළකිරීමට comrade.lk අපි සූදානමින් සිටිමු. අනාගත පරිශීලකයන් පර්යේෂණාත්මකව සත්‍යය සොයා ගනු ඇත.