ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එල්මෝ ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි !

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එල්මෝ ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි !

දශක 6 ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන එල්මෝ ගුණරත්න මහතා අද (28දා) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

සිංහලයා පුවත්පතින් මාධ්‍ය ජීවිතය ආරම්භ කළ එල්මෝ ගුණරත්න මහතා පසුව ලේක් හවුස් ආයතනයට එක්විය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නා තෙක් ඔහු එහි සේවය කළේය.

ඉන් පසුව  තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා ලෙස 1978 තෙක් සේවය කළ ඒ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් ලංකාදීප, සන්ඩේ ටයිම්ස් හා ඩේලිමිරර් යන පුවත්පත් තුනේම කර්තෘවරයා ලෙස සේවය කළේය. එසේම අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද එල්මෝ ගුණරත්න මහතා  සේවය කළේය.

අද පෙරවරුවේ කොවිඩ් 19 ආසාදනය වීමෙන් සිය නිවස්දීම දිවි සැරිය නිමා කරන විට එතුමා 89 වියේ පසු විය.

ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ මාධ්‍යවේදියකු වශයෙන් කලක් සේවය කළ එල්මෝ ගුණරත්නගේ වැඩිමහල් පුත්‍රයා වන දමිත ගුණරත්න ද ඊයේ (27) දින ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත විය.