මිහිරි කතා නිමාකරමින් විමලදාස පෙරේරා දිවි සැරිය නිමකරයි !

මිහිරි කතා නිමාකරමින්  විමලදාස පෙරේරා දිවි සැරිය නිමකරයි !

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්,නිෂ්පාදකවරයෙක් මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සහ ගී පද රචකයෙක් ලෙස ජනාදරයට පත් විමලදාස පෙරේරා මහතා අද(14) සිය ජීවන චාරිකාව නිම කළේය.
මිය යන විට ඒ මහතා 84 වන වියේ පසු විය.
1971 වර්ෂයේ තිරගත වූ “සමණල කුමරියෝ” චිත්‍රපටයෙන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඔහු
1974 වර්ෂයේ තිරගත වූ “සැණකෙළිය” චිත්‍රපටයේ  සම අධ්‍යක්ෂකවරයා විය.(හර්බට් රංජිත් පීරිස් හා එක්ව)
චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීමට පෙර දෙබස් රචකයකු සහ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ඔහු 1963 වර්ෂයේ තිරගත වූ “සුනිලා” සහ 1966 වර්ෂයේ තිරගත වූ “සේයාවක් පසුපස” චිත්‍රපට සඳහා ගීත හා දෙබස් රචනයෙන් මෙන්ම සහය අධ්‍යක්ෂණයෙන් ද සම්බන්ධ විය.
ඔහු අතින් රචිත ගීත අතර ‘පුන්සඳ හිනැහෙන්නේ, ‘රස මිහිරි කතා සිඟිති සිනා සුදාගෙ මූණේ ‘, මල්බර හිමිදිරියේ කොයිබද සමනලියේ, මැණිකේ ඔබේ සිනාවේ, 'මා ඉන්නේ අන්ධකාරේ දැන්‘ ‘රන් කඳ මාගේ පුන්සඳ වගේ‘ ‘හොඳයි නරකයි‘ ‘බුදු සාදු දෙසූ‘ ‘ඔබ කැන්ඳා යෑම සඳහා මරුවා එයි සොයා‘ යන ගීත ඉතා ජනාදරයට පත්විය.

ගුවන් විදුලිය,සිනමාව සහ ගීතය වෙනුවෙන් වටිනා සේවයක් කළ විමලදාස පෙරේරා මහතාට Comrade.lk ශිර්ෂ ප්‍රණාමය මෙලෙස සටහන් කරමු.