කුමාරයා නික්ම ගියේය!

කුමාරයා නික්ම ගියේය!

දශක හයක් පුරා බොලිවුඩ් සිනමාව වර්ණවත් කළ දිලිප් කුමාර් රංගනවේදියා අද (ජුලි 07) සිය දිවිසැරිය නිමා කළේය.මියයන විට 98 වියෙහි පසුවූ ඔහු මීට සතියකට පමණ පෙර රෝහල්ගත කර තිබිණ.

මේ දිලිප් කුමාර් රංගනවේදියාගේ 96 වෙනි උපන්දින දා ප්‍රවීණ චිත්‍රශිල්පී ජානක ඉලුක්කුඹුර තැබූ facebook සටහනයි.

                   --------------------------------------------

ප්‍රේමය බොහෝවිට භාදාවන් හමුවේ බිඳවැටෙන්නේය. දේවදාස් මුඛර්ජි සහ පාර්වති යුවලට සිදුවන්නේද එවන් ඉරණමකි. තම ප්‍රේම සම්බන්ධය හේතුකොටගෙන වැඩිහිටියන් අතරේ හටගත් ගැටුමට ඔවුන් දෙදෙනා මැදිවෙයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පාරෝ සහ දේවදාස්'ගේ වෙන්වීමයි. පාරෝ වෙනත් ධනවතෙකු හට විවාහ කරදෙන අතර ඉන් කම්පාවට පත්වෙන දේවදාස් මත් පැනට යොමුවෙයි. අතරමග කාලයේ චන්ද්‍රමුඛී නම් අබිසාරිකාවක් දෙවදාස් වෙත ආලයෙන් බැඳෙන මුත් එයින්ද බැහැර වී ඔහු අවසානයේ පාරෝ සොයා යන්නේය. ඒවනවිට දැඩි රෝගී බවින් පෙලෙන ඔහු පාරෝ'ගේ නිවස අසල ඇයගේ දෑස් මානයේ මරු වැළඳගැනීම සිදුවෙයි.... 1955 තිරගතවූ 'දේවදාස්' චිත්‍රපටයේ මේ දුක්ඛදායී මරණය උරුම වන පෙම්වතා චරිතය මැනවින් නිරූපණය කලේ ඔහුය..... --------------------- එමෙන්ම 'අන්දාස්'(1949) සහ 'ඩීඩාර්'(1951), 'මධුමතී'(1958) ඇතුළු චිත්‍රපට කිහිපයකම ඔහු නිරූපණය කලේ අවාසනාවන්ත පෙම්වතාගේ භූමිකාවයි. මේ අතුරෙන් ඉමිහිරි ගීත රැගත් 'මධුමතී' චිත්‍රපටය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන් අතරේත් සදාතනික මතකයක් විය. ඔහු කල එම චරිත නිරූපණයන් කෙතරම් සාර්ථක දැයි පැවසුවොත් ඉන්දියානු සිනමාව Tragedy King( ඛේදාන්තයේ රජු) ලෙස ඔහුව හඳුන්වන්නට යෙදුණා.... චිත්‍රපටයක එන ඔහුගේ රංගනය සැබැවින්ම ඇසිපිය නොහෙළා බලාසිටීමට තරම ප්‍රිය උපදවයි. තාත්වික බවින් යුතු එම රඟපෑම වර්තමානයේ සිටිනා නවක නළුවන් හට ආදර්ශයකි. අද මගේ වෑයම ඉන්දියානු සිනමාවේ සවභාවික රංගනයේ පුරෝගාමී චරිතයක් වන විශිෂ්ඨ නළු දිලිප් කුමාර් රංගනවේධියාණන් පිලිබඳව යම් මතකයක් ඔබ හමුවේ තැබීමටයි. එකල හින්දි සිනමාවේ රජුන් ත්‍රිත්වය ලෙස රාජ් කපූර්, දිලිප් කුමාර්, දේව් ආනන්ද් තිදෙනා නම් කලහ. අද දවසේ මේ අතුරෙන් ජීවත්ව සිටින්නේ මෙතුමා පමණකි. -------------- 1922 වර්ශයේ දෙසැම්බර් 11 වනදා අයේෂා බේගම් සහ ලාලා ගුලා අස්වර් අලිඛාන් යුවලට දාව මුහම්මද් යූසුෆ් ඛාන් ලෙස Peshawar ලෙසින් හඳුන්වන ග්‍රාමයේ ඔහු උපත ලබන්නේය. ඔහුගේ පවුලේ සාමාජිකයන් ගනන 12 ක් වන අතර පියා ගම්මුලාදෑනියෙකු ලෙස කටයුතු කර ඇත්තේය. යූසුෆ් ඉගෙනුම සඳහා Baranas School නමින් ඇති පාසැලකට ඇතුළත් කෙරිණ. පසුකාලයේ ඔහු මෙන්ම සිනමාවේ දැවැන්තයකු බවට පත්වූ රාජ් කපූර් යූසුෆ්ගේ ළමා කාලයේ මිතුරෙකි. ඉංග්‍රීසි භාශාව පිලිබඳව ඉතා හොඳ දැනීමක් සහිතව යූසුෆ් තම අධ්‍යාපනය නිමාකළ අතර ඊට අමතරව උර්දු, හින්දි, මරාති, බන්ගලි වැනි භාශාවන් කිහිපයක් මැනවින් කතාකිරීමේ හැකියාවද තම ජීවිතයට එකතුකර ගැනීමට සමත්වන්නේය. ගැටවර වියෙහිදී රැකියාවන් කිහිපයක නිරතවූ ඔහු ඉන්පසු තම පියාට අයත් ඉඩම් සහ නිවාස වෙන්දේසි සමාගමේ සේවයට එකතුවිය. එහි වැඩකටයුතු වෙනුවෙන ආගිය අයෙක් මාර්ගයෙන් ජනප්‍රිය නිළියක වන දේවිකා රාණී හඳුනාගැනීමට යූසුෆ් හට මග පෑදෙන්නේය. ඒ වනවිට චිත්‍රපට බැලීම තුළින් ඇය පිලිබඳව ලොකු පැහැදීමක් සහ ගෞරවයක් ඔහු සිතෙහි පැවතින. ඇය ජනප්‍රිය Bombay Talkies සිනමා සමාගමේ හිමිකාරිණියයි. රුපියල් 1, 250 ක මාසික වැටුපකට යටත්ව ඇය යූසුෆ් හට එහි රැකියාවක් ලබා දීමට කටයුතු කලේය. භාශාවන් කිහිපයක් හොඳින් කතා කිරීමට තිබූ හැකියාව මත ඔහුට තිරකතා සහ දෙබස් රචනය කරන්නට මුලින්ම පැවරූහ. එහි නිතර ආගිය අශෝක් කුමාර් සමග කුළුපග වීමට කෙටි කලකින්ම යූසුෆ් හට මග පෑදිණ. ප්‍රසන්න පෙනුමක් සහිත තාරුණ්‍යයේ එළිපත්තේ සිටිනා මේ තරුණයා සිනමා නළුවෙකුට බෙහෙවින්ම සුදුසු යැයි දේවිකා රාණී හට හැඟිණ. Bombay Talkies මගින් නිපදවන මීලඟ නිශ්පාදනය වන Jwar Bhata සඳහා ඔහුව තෝරාගැණෙන්නේ මේ අයුරෙනි. ඔහුගේ මුල් නම වන යූසුෆ් වෙනුවට සිනමාවට සුදුසු වනසේ දිලිප් කුමාර් ලෙස වෙනස්කරනු ලැබුවේද දේවිකා රාණී විසිනි. 1944 වසරේ Jwar Bhata තිරගත වුනද එය සාර්ථක චිත්‍රපටයක් නොවීය. නමුත් මේ නවක නළුවා තුළ ඇති නැවුම් පෙනුම හේතුවෙන් ඔහුව චිත්‍රපට කිහිපයක් සඳහා තෝරාගැනිණි. අසාර්ථක චිත්‍රපට කිහිපයකින් පසු නූර්ජහාන් සමගින් රඟපෑ Jugnu චිත්‍රපටය ඔහුට සාර්ථකත්වය ගෙන ආවේය. එතැන් පටන් ඔහුගේ නැවුම් ආකර්ෂණීය රඟපෑම් ඇතුළත් චිත්‍රපට එකින් එක ප්‍රදර්ශනය වීම ඇරඹුනි. මෝතිලාල්, අශෝක් කුමාර් වැනි නළුවන් හැරෙන්නට ඒ වනවිට හින්දි සිනමාව අරක්ගෙන තිබුණේද අතපය ක්‍රමානුකූලව හසුරුවමින්, උස් හඩින් කතා කරමින් කරනා අධි රංගන රටාවයි. දිලිප් කුමාර් ඒ රංගන රටාව මුළුමනින්ම වෙනස් මගකට හැරවූ ඉන්දීය නළුවායි. ඔහුට මදක් පසු පසින් පැමිණි රාජ් කුමාර් ඔහු අනුව දක්ෂ රඟපෑමක යෙදුණ තවත් නළුවෙක් ලෙස නම්කළ හැකිය. 1947 වසරේදී රාජ් කපූර්, නර්ගීස් සමග දිලිප් එක්වූ 'අන්දාස්' චිත්‍රපටය ඉමහත් ආන්දෝලනයක් ඇතිකල තුන් කොන් ප්‍රේම පුවතක් ගැන කියැවෙන ඉතාමත් සාර්ථකත්වයට පත්වූ චිත්‍රපටයකි. එතැන් පටන් Babul(1950), Deedar(1951), Tarana(1951), Sangdil(1952) Ann(1952 තිරගතවූ ඉන්දීය ප්‍රතම වර්ණ චිත්‍රපටයය.), Devdas(1955), Azaad(1955), Insaniyat(1955), Naya Daur(1957), Yahudi(1958), Madumathi(1958), Kohinoor(1960), Mughal - e - Azam(1960), Ganga Jamuna(1961), Ram Aur Shyam(1967) යන චිත්‍රපට ඉහළම සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපට අතර කැපී පෙනෙයි. Ganga Jamuna චිත්‍රපටයේ ඔහුගේ සැබෑ ජීවිතයේ සොහොයුරු නzසීර් ඛාන් ඔහු සමගින් රඟපෑම විශේෂත්වයකි. ඔහු මුලින්ම රඟපෑ චිත්‍රපට කිහිපය තුල කතාවෙහි බොහෝවිට තම පෙම්වතිය අහිමිවූ පෙම්වතාගේ චරිතය සාර්ථක ලෙස නිරූපණය කල හේතුවෙන් Tragedy King යන නාමයෙන් ඔහුව හඳුන්වන්නට යෙදුණි. 1951 වසරේදී තිරගතවුන Tarana චිත්‍රපටයෙන් සුරූපී නිළියක වන මධුබාලා ඔහුට මුණගැසීම සිදුවෙයි. එකල හින්දි සිනමාවේ වීනස් යැයි ඇයව හඳුන්වනු ලැබුවා. මේ චිත්‍රපටය කෙරෙන අතරතුරේ ඇය හා දිලිප් අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩණැගින. අවුරුදු 7ක් පුරා පැවති මෙම සම්බන්ධය ඇයගේ දෙමාපියන්ගේ බලවත් විරෝධය මත නවතාලන්නට ඔවුන් හට සිදුවේ. එය චිත්‍රපටයකදී ඔහුට අත්වූ ඉරණමක් වැනිය. 1960 තිරගතවූ K. Asif විසින් අධ්‍යක්ෂණය කල දැවැන්ත නිශ්පාදනයක් වූ Mughal e Azam ඔවුන් පෙම්වතුන් ලෙස එකට රඟපෑ අවසන් චිත්‍රපටයයි. Naya Daur චිත්‍රපටය සඳහා දිලිප් සමග රඟපෑමට මුලින් තෝරාගෙන තිබුණේ මධුබාලා වුනත් ඇතිවූ විරසකයෙන් පසුව දිලිප් විසින්ම අධ්‍යක්ෂ බී. ආර්. චොප්රා වෙත වෛජයන්තිමාලා'ගේ නම යෝජනා කලේය. කෙසේනමුදු පෙම්වතුන් යුවලක් ලෙස දිලිප් සහ වෛජයන්තිමාලා සාර්ථක චිත්‍රපට කිහිපයකම එකට රඟපෑවේය. විශිෂ්ඨතම හොලිවුඩ් අධ්‍යක්ෂවරයෙක් වූ David lean අධ්‍යක්ෂණය කරන්නට යෙදුණ දැවැන්ත නිශ්පාදනයක් වූ Lawrence Of Arabia චිත්‍රපටයේ විශේෂ චරිතයක් සඳහා දිලිප් කුමාර් හට ඇරයුම් කලේය. නමුත් කුමන හෝ හේතුවක් නිසා දිලිප් ඊට එකඟ වී නැති අතර පසුව ඒ සඳහා Omar Sheriff නම් නළුවා තෝරාගැනිණි. චිත්‍රපටය 1962 වර්ශයේ තිරගත වුනි. ඉතාමත් සාර්ථකත්වයට පත්වූ මෙම චිත්‍රපටයේ ඕමාර් ෂෙරීෆ් නිරූපණය කල චරිතය ඔස්කාර් සම්මාන උලෙළදී නාම යෝජනා අතරට පැමිණියාය. එම චරිතය වෙනුවෙන් ඔහු Golden Globe සම්මානය හිමිකරගත්තේය. මෙය දිලිප් අහිමි කරගත් වටිනා අවස්ථාවකි. මේ අතරවාරයේ Dil Diya Dard liya, Aadmi, Gopi, Dastaan, Saigna Mahto යන චිත්‍රපටවලට රඟපෑමෙන් දිලිප් සම්බන්ධ විය. 1969 වර්ශයේදී හෘදයෙහි හටගත් ආබාධයක් හේතුවෙන් නොසිතූ ලෙස මධුබාලා ජීවිතයෙන් සමුගැනීම සිදුවෙයි. දිලිප්ගේ ජීවිතයේ තීරනාත්මක සිදුවීම වන සුරූපී නිළි සහීරා භානු හා ඔහු අතර විවාහ මංගල්‍යය සිදුවන්නේ 1966 වසරේදීය. ඇය ඔහුට වඩා වසර 22 කින් ලාබාල යුවතියක් වීම මෙම විවාහයේ ඇති විශේෂත්වයයි. ඔවුන් හට දරුවන් නොවීය. 1981 වසරේදී ඔහු අස්මා සහීබා නම් කාන්තාවක හා දෙවෙනි වතාවට විවාපත් වුනද නැවතත් 1983 දී සහීරා හා එක්විය. 1976 වසරේ සිට අවුරුදු 5 ක නිහැඩියාවකින් පසුව මනෝජ් කුමාර් අධ්‍යක්ෂණය කල Kranti(1981) චිත්‍රපටය තුළින් දිලිප් යලි සිනමා රංගනයට අවතීර්ණ වුනි. එතැන් සිට Shakthi(1982), Mashaal(1984), Karma(1986), සහ Saudagar(1991) යන චිත්‍රපටවල ඔහු රඟපෑවේය. අමිතාබ් බච්චන් හා එක්ව රඟපෑ Shakthi චිත්‍රපටය තුළින් එම වසරේ හොඳම නළුවා ෆිල්ම්ෆෙයාර් සම්මානය ඔහු කලකට පසු දිනාගැනීම සුවිශේෂී ජයග්‍රහණයකි. Qila(1998) චිත්‍රපටයෙන් පසු ඔහු සිනමාවෙන් සමුගත්තේය. ඒ වනවිට චිත්‍රපට 65 ක පමණ ඔහු රංගනයෙන් දායක වී තිබිණ. ඔහු Filmfaire සම්මාන 9 කට හිමිකම් කීවේය. එය 1954 වසරෙන් ඇරඹුමකි. Ganga Jamuna චිත්‍රපටයේ කල ඉහළ රඟපෑම සඳහා ඉන්දීය ජාතික සම්මානය ඔහුට හිමිවුනි. ( චිත්‍රපටයේ වෙනත් අයකුගේ නම තිබුණද මෙය ඔහුගේ අධ්‍යක්ෂණයක් බව යම් තොරතුරු මගින් දැක ඇත්තෙමි.) චෙකොස්ලොවැකියානු රජයෙන් සහ Kalovery International Film Festival හිදී විශේෂ සම්මානයකින් පුදනු ලැබීය. 1980 වර්ශයේදී ඉන්දීය රජය ඔහුට පද්ම භූෂණ සම්මානය පිරිණැමීය. පාකිස්තානු රජය එරට පුරවැසියෙකුට පිරිණමන ඉහළම සම්මානයක් වන Nishan - e - Imtiaz සම්මානය පිරිණැමුවේය. 1994 වර්ශයේදී ගෞරවණීය Dadasaheb Phalke ඔහු වෙත පිරිණැමුනි. 2015 වසරේදී පද්ම විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවේය. ගීත කෝකිලාවිය ලතා මංගෙශ්කාර් සහ මහා සංගීතවේදී නෞෂාඩ් නාමයෙන් සම්මාන දෙකකින් ඔහු පුදනු ලැබීම විශේෂත්වයකි. මීට අමතරව ජීවිතයට එක්වරක් පමණක් පිදෙන Life time achievement සම්මානය ඇතුළු මෙහි සඳහන් කිරීමට නොහැකි තරමේ සම්මාන සහ අගැයුම් ගනනාවකින් ඔහු පුදනු ලැබීය. ------------------ ප්‍රවීණ ලේඛක කරුණාසේන ජයලත් ජීවිතයෙන් සමුගත් පසු ඔහු වෙනුවෙන් ලියූ පොතක (ලේඛකයා ගුණදාස ලියනගේ වියයුතුයි) තිබූ සඳහනක් මට මෙහිදී සිහිපත්වේ. ජයලත් මහතා දිලිප් කුමාර්ගේ රඟපෑම බෙහෙවින්ම ප්‍රියකර ඇත්තේය. එය කෙතරම්ද යත් ඔහු හින්දි භාශාව ඉගෙන ගෙන ඉන්දියාවට ගොස් චිත්‍රපට රංගනයට අවතීර්ණ වීමට බලාපොරොත්තු තබාගෙන හිඳ ඇත්තේය. ඔහුගේ මේ අදහස වෙනස්කොට ඇත්තේ එවකට ලංකාදීප පුවත්පතේ කතෘ තුමා වන ඩී.බී. ධනපාල මහතා විසිනි. ජයලත් හට වඩාත් ගැලපෙන්නේ ලේඛන කලාව බව එතුමා පහදා දීම මත එම අදහස යටපත් වූ බව එම පුවතයි. කෙසේවුවද එකල අප රටේ තරුණයන් බොහෝදෙනෙකුට දිලිප් කුමාර් උන්මාදයක් තිබූ බවත් ඔහුගේ අකීකරු අපිලිවෙල කොණ්ඩා ව්ලාසිතාව අනුව සිනමා ලෝලීන් කොණ්ඩය සකස්කර ගැනීමට උත්සාහ කල බවක්ද මා අසා ඇත්තෙමි. අද දවසේ මේ මහා නළුවා, විශිෂ්ඨ රංගනවේධියාණන් 96 වන වියෙහි පසුවෙයි. මේ ගෙවෙන්නේ ඔහුගේ ජීවිතයේ සන්ධ්‍යා සමයයි. සිය ආදරණීය බිරිඳ සහීරා භානු ඔහු ළඟින් හිඳ සියලු සත්කාර කරන්නීය. ඔහුගේ පැරණි මිතුරන් සේම වර්තමානයේ තරුණ නළු නිළියන් බොහෝවිට ඔහුගේ උපන්දින උත්සව වලට සහභාගි වෙමින් ගත් ඡායාරූප අන්තර්ජාලය තුළින් අපට වරින්වර දකින්නට ලැබෙන්නේය. එක්තැන්ව සිටිනා ඔහු ඔවුන් හා එක්ව අතීතය සිහිපත් කරමින් ආශ්වාදයක් ලබනවා විය හැකිය. ඔවුන් මෙන්ම ඉන්දීය පුරවැසියන් මේ ශ්‍රේෂ්ඨ රංගනවේධියාණන් හට දක්වන්නේ ඉමහත් ගෞරවයකි. ඔහුගේ සොඳුරු රංගනයෙන් ආසක්තවූ ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ගේ සිත් තුළ ඔහු වෙත ඇති සෙනෙහස සහ හැඟීමද එලෙසමය.... දයාබර දිලිප් කුමාර් රංගනවේයාණනි., ඔබ කල සේවය අප්‍රමාණ වූ එකකි. ඊට අපගේ හද පිරි ප්‍රනාමය පුදකර සිටින්නෙමු....

මේ සිතුවම ඔබ වෙනුවෙනි......

'ඛාන්' කෙනෙකු ලෙස උපත ලබා 'කුමාර්' කෙනෙකු ලෙස රසික හදවත්හි නතර වූ දිලිප් කුමාර් ගේ නික්මයාමේ සටහන comrade.lk මෙලෙස සංවේගයෙන් සටහන් කරමු!