වන්නි වංශයට නයන පරිච්ඡේදයක් !

වන්නි වංශයට නයන පරිච්ඡේදයක් !

වන්නි යනු, විකිපීඩියා පිටුවකට අනුව, නිල වශයෙන්, මන්නාරම - මුලතිව් - වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික් තුනට ම අනුරූපී වන මැතිවරණ දිස්ත්‍රික්කයකි. අපගේ අවබෝධයට අනුව, දැදුරු ඔයෙන් එපිට සිට ; ආනමඩුව - නිකවැරටිය දිහා සිට ; උතුරු අර්ධද්වීපය දෙසට ම විහිදෙන අසිරිමත් සංස්කෘතික කලාපයකි.

ලංකාවේ ව්‍යවහාරික අද්දැකීමට අනුව, ඇතැම් නාගරික පෙදෙස්වල ඇතැම් උදවියට නම්, `වන්නිය` යනු හද්දා පිටිසර හඳුන්වන උපහාස පදයකි. ``ඕකා දැන් ඔහොම හිටියට හද්ද වන්නියේ එකෙක්`` යන වාක්‍යය එලෙසින් ම හෝ වෙනත් ලෙසකින් ඔබ අසා ඇති. ඇතැම් විට ඔබ ම එය කියාත් ඇති. ඒ,  අපේ වටපිටාව විසින් වන්නිය වර නගනු ලබන එක් ආකාරයකි.

ඊටත් අමතරව, ලංකාවේ සිවිල් යුද සන්දර්භය තුළ, වන්නිය ගැන පොදු සිංහල දකුණට ඇත්තේ, දෙමළ මායිං ගල් සහිත සිතියමකි. ඒ වන්නිය ගැන දෙමළ සිතීම දකුණ තවමත් හරියට දන්නේ  නැත. ලාංකේය දෙමළ කවි කරුණාකරන් ලියූ `ඉප්පඩි ඔරු කාලම්` දෙමළ කෘතිය, අනුෂා සිවලිංගම් විසින් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ ද `මතක වන්නිය` නමිනි.

සුනිල් කුලරත්න නම් ලේඛකයා ලියූ, `විසිවසක් වන්නියේ` නමින් වූ නවකතාවක් මේ ලියුම්කරු පැටි වියේදී කියවා ඇත. පිට පළාතකින් මුන්නේශ්වරම් දේවාලයට ආ වන්දනා නඩයක කුඩා දරුවෙක් අතරමං වෙයි. උහු මවුපියන් සොයාගත නුහුණු විට දරුවා රැගෙන යනු ලබන්නේ වන්නියේ අම්මකු හා තාත්තකු විසිනි. පොතේ නම යළි කියවූ විට ඒ ලස්සන කතාව දිවෙන හැටි ඔබට අනුමාන කළ හැකි ය.

ඒ කෙසේ වුව, වන්නිය යැයි කී විට මේ ලියුම්කරුගේ සිතට නැගෙන වෙසෙස් සාහිත්‍ය සංඥාව `සයිමන් නවගත්තේගම` ය.  අකුරු දිගේ - වාක්‍ය දිගේ වන්නි හත්පත්තුවේ ඇවිද්ද `සයිමන්`, එම ව්‍යයාමයෙහිලා මනුස්ස ගති සොබා ගැන විස්මිත විවරණයක යෙදුණේ ය. එය යළි යළිත් කියවාගැනීම හෙටටත් වලංගු වැදගත් සාහිත්‍ය වැඩකි.

ඒ කියැවීම හුදු වන්නිය කියැවීමක් මතු නොව අප ජීවත්වන මුළුමහත් සමාජ දේහය කියැවීමක් බව මංජුල වෙඩිවර්ධන කවියෙන් කියන්නේ මෙසේ ය. සයිමන්මය සන්ධ්‍යාවක මැයෙන් වූ කවියේ අවසන් හතර පදය කියවමු. ``ෆ්ලැට් එකක් කියන්නේ පැලකට - සුද්දිලයි පෙනෙන්නේ මඟතොට - බයියොමයි දකින්නේ යමරෙට - වන්නියයි කියන්නේ කොළඹට !``

ඉතා සංක්ෂිප්තව සටහන් කරන ලද ඔය කියන වන්නි මතක අතරට, දැන්, `වන්නිගෙ කොලම` පැමිණ තිබේ. එය ලියන්නේ වන්නිනායක කෙනෙකි. වන්නියට අරක් ගෙන වන්නිය බලාකියා ගන්නා බව පැරැණ්නන් විශ්වාස කළ ප්‍රාදේශීය දෙවියා `අයියනායක` ය. අයියනායක අඩවියේ නිතර දැක්ක හැකි වන්නිනායක වාසගම අතීත වන්නියේ නායකයන්ගෙන් පැවත එනවා විය යුතු ය.

මේ වන්නිනායක ඒ වන්නිනායක පරපුරේ කෙනකුදැයි මා දන්නේ නැත. මා දන්නේ ඔහු මගේ සොහොයුරකු බව පමණි. ඒ සහෝදරකම හැදෙන්නේ වගවාසගම් පෙළපත් නාම ඔස්සේ නොව ආදරය හා මනුස්සකම ඔස්සේ ය. ඒ වෙනුවෙන් කරන අවංක සමාජ මැදිහත්වීම ඔස්සේ ය. සාහිත්‍යයික ප්‍රවේශය ඔස්සේ ය.

අනෙක් අතට, නායකයකු යනු ජනයා අසරණ කරන්නකු නොව, ජනයාගේ අසරණකම් දුක්දොම්නස් අපේක්ෂාවන් ගැන හඬ නඟන්නෙකි. ඒ අරුතෙන්, මේ වන්නිනායක ; ඇත්ත ම වන්නි නායක කෙනෙකි. වන්නියෙන් ඔබ්බෙහි ලෝකයක් ඇති බව දැන, මිනිස් ආදරය සොයා තමන්ගේ ම වූ මාවතකින් ඇවිද යන සහෝදරයෙකි.

ඔහු, වන්නි සාහිත්‍ය වංශයට `නයන` පරිච්ඡේදයක් ලියනු ඇතැයි යන්න අපගේ හද රැඳි අදරැති බලාපොරොත්තුවයි.


************************************

2021 පෙබරවාරි 04 වැනිදා අප මේ සටහන ලියා නයනසේන වන්නිනායක සොයුරාට යැව්වේ ඔහු විසින් රචිත `වන්නිගෙ කොලම` කෘතියට පෙරවදනක් වනු පිණිස ය. ඉනික්බිති සාර මසක් ගිය තැන, එහි සඳහන් කළ,  `අපගේ හද රැඳි අදරැති බලාපොරොත්තුව` හිස්තැනක් කරමින්, නයනසේන සහෝදරයා දිවියට සමු දී නික්ම ගොස් ඇත. එනයින්, දැන් එය පෙරවදනක් නොව, ඔහුගේ දිවිසැරියට - ලිවිසැරියට පසුවදනකි. වන්නි වංශයට නයන පරිච්ඡේදයක් ලියන්නට හිටි මිනිසා පිළිබඳ මතකය පමණක්, අප හදවත් තුල ජීවමාන ය.

| විමල් කැටිපෙආරච්චි | 2021 ජුනි 16