මුනිවර සිත්තරාගේ ජන්ම දිනය අදයි

මුනිවර සිත්තරාගේ ජන්ම දිනය අදයි

අද බන්ධුල හරිශ්චන්ද්‍ර සිත්තරාගේ 81 වෙනි ජන්ම දිනයයි.

මෙම ලිපිය 2019 ජනවාරි  31 වනදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති බන්ධුල හරිශ්චන්ද්‍ර අභිනන්දන උළෙලේ දී Comrade.lk සංස්කාරකවරයා දැක්වූ අදහස්හි ලිඛිත පිටපතින් සකස් කරන ලද්දකි.

මගේ වීරයන් බොහෝ දෙනෙක් අසුන් ගෙන ඉන්න, මේ සුන්දර සභාවෙන් අවසරයි !

මගේ වචන ස්වල්පය පටන් ගන්න කළින්, අත්‍යවශ්‍ය ස්තූති කිරීම් කීපයක් කරන්න තියෙනවා. පළමුවැන්න, මේ සභාවට වචනයක් කතාකරන්නැයි මට ආරාධනා කළ, ආදරණීය වසන්ත ශ්‍රීනාත් සොයුරාට බොහෝ ම ස්තූතියි. ඊළඟට තවත් වසන්ත කෙනෙක් ඉන්නවා. මගේ දෙමව්පියන්ගෙන් බැනුම් අසාගෙන, මම ඉපදෙන්නත් කළින් චිත්‍රකතා පත්තර මට බලන්න දී, ඊට සමාන්තරව ඉතා කුඩා කාලයේ පටන්, මාව පික්චර් බලන්න එක්කරගෙන ගිය, සාමා අමර හඳුනාගන්නට පෙර, ගාමිණී මාලිනි සහ දේදුණු කැලුම් හඳුන්වාදුන්, කෙටියෙන් ම කියනවානම්, මට චිත්‍රකතා උන්මාදය බෝ කළ වසන්ත ජයසේන නමැති මගේ මාමා කෙනෙක් ඉන්නවා. මෙවැනි ප්‍රසිද්ධ සභාවක ඔහුටත් ස්තූතිවන්ත වීම වැදගත් කියා මා හිතනවා. ඊළඟට, අද මා මෙතැනට රැගෙන ආ චිත්‍රකතා පත්තර, පොත් සහ සිනමා සහ වෙනත් ප්‍රකාශනවල කතුවරුන්ට, සංස්කාරකවරුන්ට සහ ප්‍රකාශකයන්ටත් බොහෝ ම ස්තූතියි. මොකද ඒ අයත් අපේ චිත්‍රකතා වසන්තය නිර්මාණය කරන්න දුන් දායකත්වය සුළු පටු නොවන නිසා සහ ඔවුන්ගේ ප්‍රකාශනවලින් යම් යම් උපුටාගැනීම් මෙතැනදී කෙරෙන නිසා. ඒ වගේම ම, ලංකාවේ සිත්තර කලාවේ ගලිවරයකු ගැන,  ඒ කලාවේ රසිකයකු වන ලිලිපුට්ටකු කරන මේ කතාවේ සදොස් තැන් තිබුණොත් සමාවෙන්න.
මුලින්ම කියන්නම් චිත්‍රකතා රසිකයෙක් හැටියට, මට, චිත්‍රකථාවෙන් බන්ධුල හරිශ්චන්ද්‍ර මුණගැහෙන තැන ගැන.
ඇත්ත වශයෙන් ම මම එදා කාලේ ඉඳලා උග්‍ර සරත්මධු රසිකයෙක්. යුනිකෝ නිව්රෝ වැනි ඇස් වසාගත් විස්මිත වීරයන්ට මම වහවැටිලා හිටියේ. අයුක්තියට අසාධාරණයට එරෙහිව මුහුණු හෝ ඇස් ආවරණය කරගෙන එන ෆැන්ටම් සෝරෝ වැනි මායාත්මක වීරයන් ඇසුරෙන්, ලංකා චිත්‍රකතාවට යුනිකෝලා නිව්රෝලා එකතුවෙන්න ඇති. කෙසේවෙතත් එක අතකට, ඒ වීරයන් මනෝරාජික මායාත්මක ලෝකයක ම ඉන්න එක හොඳයි. බැරිවෙලාවත් අද වගේ කාලයක අයුක්තියට එරෙහිව මුහුණු ආවරණය කරගෙන ආවනං, ඒ වීරයන්ට වුණත් NGO  කාරයෝ කියල ලේබල් වදින්න ඉඩ තිබුණා. ඒක වෙන ම කතාවක්. 
කොහොමහරි, පස්සේ කාලෙක තමයි දැක්කේ, බන්ධුල මහත්තයා සිතුවම් කරපු, පෙනිලෝපා කතාවේ වීරයා ඩියුග්ලීස් පවා මුහුණ ආවරණය කරගෙන අර මායාකාර සෙබළියන් එක්ක සටන් වැදිලා තියෙනවා කියල. ඒ කතාවේ එක තැනෙක තියෙනවා සින්වා කියල දූපතක් ගැන විස්තරයක්. එහි ඉන්න රැජින, දූපතට එන හැඩිදැඩි පිරිමින් වසඟයට අරගෙන, තමන්ගේ කාමාශාවන් සන්තර්පණය කරගන්නවා. අලුත් හාදයෙක් එනකොට පරණ හාදයා සේවිකාවන් වෙතට යවනවා. කෙමෙන් දුර්වල වන පිරිමින් වහලුන් හැටියට යොදවා වැඩගන්නවා. මේ වගේම සිද්ධියක් යුනිකෝ දෙවැනි කතාංගයේ තියෙනවා. සිත්තරට ඇන්ද ඒ කතාංගයට, බන්ධුල මහත්තයා ලේක්හවුසියේ ඉන්නකොට ඇන්ද පෙනිලෝපා කතාවෙන් හෝ ඊට මුල් වූ බටහිර කතාවකින් හෝ කිසයම් ආභාසයක්  ගත්ත ද - එහෙමත් නැත්නම් ඒක අසිරිමත් අහම්බයක් ද කියල අහන්න, බලන්ගොඩ සරත්මධු මහත්තය අද අප අතර නැහැ.
පෙනිලෝපා විතරක් නෙමෙයි, විශ්ව සාහිත්‍යයේ තව බොහෝ කතා බන්ධුල හරිශ්චන්ද්‍ර සුරතින් සිතුවම් කෙරුනා. ඇත්තම කියනවානම්, බන්ධුල මහත්තයා තරම්, විශ්ව සාහිත්‍යය ලාංකේය චිත්‍රකතාවට ගෙනාපු කෙනෙක් තව ඉන්නව ද කියල සැක සහිතයි.
 
මම උපුටා දැක්වීමක් කරන්නම්.
 
මේ උපුටා දැක්වීම හොරකම් කළේ දෙදහස් දොළහ වර්ෂයේ අප්‍රේල් විසිදෙවැනිදා, මා සේවය කළ ජනරළ පත්තරයට, මවිසින් සම්පාදනය කරන ලද, එක්තරා විශේෂාංගයකින්.
 
මේ හඬ බන්ධුල හරිශ්චන්ද්‍රගේ.
``කොහොමහරි ඔය විදිහට වැඩකරගෙන යද්දී....
හැම උගුලකින් ම බෙලරපන් බේරෙනවා.``
උපුටා ගැනීම අවසන්.
 

 
ලංකාවේ කලා සාහිත්‍ය සංස්කෘතික ක්ෂේත්‍රයේ මොනතරම් උගුල් තියෙනව ද ? ඒ කාලෙත් එහෙම වෙන්නැති. බන්ධුල හරිශ්චන්ද්‍ර මහත්තයත් බෙලරපන් වගේ ඒවායෙන් බේරෙන්න ඇති.  බෙලරපන් අතේ තිබුනේ අසිපතක් වුනත්, බන්ධුල හරිශ්චන්ද්‍ර අතේ තිබුනේ තෙළිතුඩක්. ජන ප්‍රසාදය නම් ඇති තරම් ඔහුට තියෙනවා. අභියෝග ජයගන්න එය උපකාරී වෙන්න ඇති. ඔහුට වඩා, අවුරුදු තිස් හතක් වයසින් අඩු පත්තරකාරයෙක් හැටියට, ඔහු එක්ක සම්මුඛ සාකච්ඡාව කරනකොට, ලැබුණු අත්දැකීම මට මතකයි. කිසි ම කෙනෙකුට වක්‍රවවත් දෝෂාරෝපණය කළේ නැහැ. කාවවත් විවේචනය කළේ නැහැ. 
 
ඒ ජීවන දහම ඔහුගේ කතාවල වගේ ම චිත්‍රවලත් තිබුනා. ඔහුගේ සිතුවම් ඇස නිවන සිතුවම්. සිත නිවන සිතුවම්. ඒ වගේ ම සජීවී සිතුවම්. ඔහු අඳින ගස්වල කොළ හෙලවෙනවා. ඔහු අඳින වතුපිටිවල සිටින ගවයන් තණකොළ උලා කකා ඇවිදිනවා.  ඒ ගවයන්ගේ වලිග, මැස්සන් මැක්කන් එළවන්නට චලනය වෙනවා. මට එකපාරක් ආරියසිරි කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නා, බන්ධුල මහත්තයාගේ කතාවක ඉන්න බල්ලකුගේ චලනයන්. ස්වර්ණපත්තරයේ පළවෙච්ච `ප්‍රියා` චිත්‍රකතාවේ  ප්‍රියා සමග බල්ලා එනවා ගං ඉවුරට. ඇගේ පෙම්වතා කල්ප ඈව සිතුවමට නගනවා. පෙම්වතා පෙම්වතියව චිත්‍රයට නගන අතරේ අර ගෙදර ඇතිකරන බල්ලාගේ චලනයන් පවා බන්ධුල හරිශ්චන්ද්‍ර අඳිනවා. ඌ වරෙක බලා ඉන්නවා.  නිදාගන්නවා. ආයෙත් ඔහේ බලා ඉන්නවා. හිටපු ගමන් පාද ඉදිරියට ඈත් කර ඇඟ මැලි කඩනවා. බලන්න. ඒ තරම් සියුම් දේවල් ගැන සැළකිලිමත් වෙන චිත්‍ර ශිල්පියෙක් බන්ධුල හරිශ්චන්ද්‍ර. ඒ සජීවී බව සිතුවමකට එක්කරන්නට නම්, කොයි තරම් පුළුල් නිර්මාණශීලීත්වයක් අවශ්‍ය ද ? මනස නම් වූ අසිරිමත් යාන්ත්‍රණය මොන තරම්, විකසිත විය යුතු ද එහෙම හිතෙන්න තරම් ? ඒ තමයි බන්ධුල හරිශ්චන්ද්‍ර.
ඔහුගේ සිතීමට සත්සමුදුරු සීමා මායිම් නැහැ. ග්‍රීක වීර කාව්‍යවල සිට කළුගඟ අසබඩ අලි නාවන තොටුපළක් දක්වා ඔහුට විහිදෙන්න පුළුවන්. `හිම මල් යායේ රෝස කුමාරී` කතාවේ අර තරුණ ශිෂ්‍යයා පෙම් බඳින රන්වන් හිසකෙස් ඇති ගුරුතුමී ඉන්න හිම වැටෙන යුරෝපයේ පරිසරයට ඔහු පිවිසෙන හැටි විස්මිතයි. ඒ ගුරුතුමී අඳින, කෝට් බ්ලවුස් එක සහිත බටහිර පන්නයේ ගවුම මැනවින් සිතුවම් කරන බන්ධුල හරිශ්චන්ද්‍ර ම තමයි `සොල්දර කෑල්ලේ` කාංචන මාලා අඳින බෝරිච්චි ගවුම හැඩේට සිතුවම් කරන්නේ. එහෙමයි කියල අරාබි නිසොල්ලාසය ඇසුරින් නිර්මාණය කළ `කළු අවතාරයේ` අරාබි කුමාරිකාවන්ගේ සළු පිළි එක රේඛාවකින් වරදින්නේ නැතිවෙන්න සිතුවම් කරන්න බන්ධුල හරිශ්චන්ද්‍රට පුළුවන් වුනේ කොහොමද ? යුරෝපයෙන් අරාබියෙන් ග්‍රීසියෙන් රෝමයෙන් නොනැවතී වංග දේශයේ සුප්පා පවා දේවියට අසාධාරණයක් නොකරන්නට ඔහු වගබලා ගත්තා. සිංහයකු සමග යහන ගත වී දරුවන් ලැබ සිංහල ජාතිය නිර්මාණය වී යැයි එතෙක් පැවැති අතාර්කික ජනප්‍රවාදයට තර්කානුකූල බවක් ගෙනාවේ බන්ධුල හරිශ්චන්ද්‍ර. ඔහු සිත්තර පත්තරයට ඇන්ද, `සිංහලේ` කතාවේ එන සිංහයා, `සිංහ` නම් වූ කැලෑ මිනිහෙක්. ඔහුට තමයි සුප්පා දේවිය පෙම් කරන්නේ. වර්තමානයේ සිංහලේ කිය කිය ස්ටිකර් අලවමින් යන ගැටවුන්ට, ඒ චිත්‍රකතා පත්තර කියවන්න දෙන්න තිබ්බනම් කොච්චර හොඳද ? ඒ කතා කියෙව්වා කියා කවුරුත් ජාතිවාදීන් වුනේ නැහැ. ඒ තමයි බන්ධුල හරිස්චන්ද්‍ර සිතීමේ රටාව. ගෝත්‍රවාදී දූපත් මානසිකත්වය වගා කරනු වෙනුවට ඔහු අපව ලොව වටා ගෙනිච්චා.
 

 
 

  
මේ සියල්ල අතරේ ඔහු ප්‍රේමය සිතුවම් කළා. ශෘන්ගාරය පවා ස්තුවම් නොකලා නොවෙයි. හැබැයි ඒ සියල්ල මැද  අර මුනිවර සංවරය රැකගත්තා.  සර්රුත් අඳින්නකෝ ලව් ස්ටෝරි එකක් කියල ඔහුට කිව්වේ පානදුරේ කලායතනයේ ළමයි. ගෑනු ලමයිද පිරිමි ලමයිද කියල මට හරියටම එදා කිව්වේ නැහැ. මම ඉතින් ඕව අහන්න ගියෙත් නැහැ. ඒ අනුව තමයි සෝමවීර සේනානායක ලියු තනිතරුව සිතුවම් වෙන්නේ.  සෝමවීර සේනානායක වගේම අජන්තා රණසිංහ,  චන්ද්‍රරත්න මාපිටිගම, ජයන්ත චන්ද්‍රසිරි,  මෙල්රෝයි ධර්මරත්න, මයිකල් ආන්ජලෝ වැනි ලේඛකයන් බන්ධුල මහත්තයාට කතා ලිවීමෙන් ඒ වෙසෙස් සිතීමට දායක වූ බව මතක් කළ යුතුයි. තවත් නම් මග හැරුනානම් සමාවෙන්න. ශ්‍රියානි අමරසේන පවා ඔහුගේ සිතුවම්වලට කතා ලියූ ලේඛිකාවක්. 
ගතින් පුංචි මිනිසෙක් වුවත්, ලාංකේය චිත්‍රකතා කලාවේ ඔහු සද්දන්තයෙක් වෙන්නේ අන්න ඒ සිතීම නිසා. දන්ත කියන තරුණයා කිසියම් රසායන ද්‍රව්‍යයක් ශරීරයට ඇතුළු වීමෙන් පසු, සද්දන්ත නම් යෝධ මිනිසෙක් බවට පත්වන `සද්දන්ත` කතාව නවයුගය පත්තරේට බන්ධුල හරිශ්චන්ද්‍ර සිතුවම් කරනකොට, ඉන්ක්‍රෙඩිබල් හල්ක් ලංකාවට ඇවිත් නැහැ. 
එවැනි අපූරු චින්තන ශක්තියක් තිබ්බයි කියල බන්ධුල හරිශ්චන්ද්‍ර මහත්තය කවදාවත්  උඩඟු වුනේ නැහැ. අර පුවත්පත් විශේෂාංගයට අදාළ සාකච්ඡාවෙන් පස්සේ ඔහු මට මුණගැහෙන්නේ, එක්තරා පන්සලක විහාරගේ ඇතුළෙදි. කවුළුවකින් එන හිරු එළිය යට, ඔහු බුද්ධ චරිතය සිතුවම් කරනවා. මගේ බාධාකිරීම නිහතමානීව භාර අරගෙන ඔහු කතාබහ කරන්න විහාරගෙයින් එළියට ආව. බෙලරපන්ව ඩියුග්ලීස්ව ඇන්දත්, ප්‍රියාව ඇන්දත්, ඉඩෝරයට පොද වැස්සක්හි සුබාව ඇන්දත්, සිංහබාහු සිංහසීවලී ඇන්දත්, පුංචි කාලයේ විවිධ සෞඛ්ය සායනවල අප දුටු පෝස්ටර් සිය ගණනක් ඇන්දත්, මුද්දර බොහෝ ගණනක් ඇන්දත්,  ඒ කාව ඇන්දත්, ඒ මොනවා ඇන්දත්, හංසයා දියට බහිනවා වාගේ ඔහු සිතුවමට යොමුවෙන්නේ බුදුන් සිතුවම් කරන්නටයි කියා මට හිතෙනවා. ජීවිතය දෙස උපේක්ෂාවෙන් නෙත් යොමන මුනිවර සිතීම ඔස්සේ, බන්ධුල හරිශ්චන්ද්‍ර බුදුන් සිතුවමට යොමුවෙනවාය කියා මට හිතෙනවා. බුදු දහම සිත නිවන දහමක් මිස සිත දවන - අනෙකා පෙළන දහමක් නොවන බව නිරන්තරයෙන් දනවන්නට වෙහෙසෙන, මේ අසිරිමත් සිත්තරා ගැන පහන් හැඟීමක් මතුවෙන බව, ආගම් හා ලබ්ධීන් පිළිබඳව මගේ පෞද්ගලික දෘෂ්ඨිය එසේ ම තිබියදී වුව නොකිව්වොත් එය බොරුවක්.   
 

 
මගේ විසිරුණු මතකය වෙනුවෙන් ඔබගේ කාලය මට දුන්නාට ස්තූතියි.
බන්ධුල හරිශ්චන්ද්‍ර මුනිවර සිත්තරාට දීර්ඝායු වේවා !