විනෝද නොවූ විනෝද සමය

විනෝද නොවූ විනෝද සමය

මීට කාලෙකට ඉස්සර, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්රිගෝ තුන්කට්ටුව `විනෝද සමය` ගෙනල්ලා ලංකාවේ නොමැකෙන සිනා රැල්ලක් මැව්වා. පාර්ලිමේන්තුවේ වොයිස් කට් නිව්ස්වලට ගියේ නැති ඒ කාලෙ - පාර්ලිමේන්තුවත් මේ තරම් එළිපිට ජෝක් වෙලා විනෝද සමයමක් වුණේ නැති ඒ කාලෙ - විනෝද සමය නැගල ගියා. ගඟට දාන ගුප්ත මුට්ටි - කාලෙ බෝතලේ කොවීඩ් පැණි ඇතුළු හැටහුටාමාරක් විහිළු තහළු තියෙන මේ වගේ කාලෙක විනෝද සමය තිබ්බ නං ඇනස්ලි - බර්ටි - සැමුවෙල්ලට රට හිනස්සන එක එදාට වඩා සෑහෙන්න තරගකාරී වෙන්න තිබුණා. හැබැයි ඉතින් පොදුවේ ගත්තම දේශපාලනඥයෝ නම් එදත් අදත් අඩුවැඩි වශයෙන් රට හිනස්සනව.

විනෝද සමය මුලින්ම රේඩියෝ වැඩසටනහනක්. ඊට පස්සෙ ටෙලිවිෂන් එකටත් ආවා. ඒක කොච්චර බලපෑම් සහගත වුණාද කියනවනං, අදටත් රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ යන විනෝද වැඩසටහන්වලට විනෝද සමයේ සෙවණැල්ල වැටිල තියෙන බව විනෝද සමයේ පැරණි වීඩියෝ පිරික්සීමෙන් තේරුම්ගන්න පුළුවන්. සමහර විනෝද සමය වැඩසටහන්, රටට අලුතෙන් `කියමන්` හදල දුන්නා. සුද්දෙක් එක්ක බොක්සිං ගහගන්න ගිය ලංකාවේ හාදයා, ඒ බොක්සිං ෆයිට් එකේ තීව්රම මොහොතේ ආවේගය විස්තර කරමින් කිව්වේ, ``ඌ මට ගහනව - මට ඌ ගහනව..``කියල. තවමත් ඉතින් ජනතාව හැටියට කරන ගොඩාක් සටන් කෙළවර වෙන්නෙ ``ඌ මට ගහනව - මට ඌ ගහනව..`` ලෙවල් එකෙන් තමයි.
විනෝද සමයේ ඇනස්ලි ඩයස් බොහෝවිට `හාමු මහත්තයා` වෙනකොට බර්ටි ගුණතිලක බොහෝ විට මුහුණ පුරා පවුඩර් ගාගත් `අලි බබෙක්` වුණා. සැමුවෙල් රොද්රිගෝ රෙජිස්ටර් වෙලා හිටියේ `අමාරිස් අයියා` හැටියට. අමාරිස් අයියගෙ සම්පූර්ණ නම පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්. සිංහල ක්රමයට ලිව්වොත්, පු.කේ.අමාරිස්. මේ තුන්දෙනා එක්කහු වෙලා, සමාජයේ තියෙන එහෙව් අමාරු බොහොමයකට හීන් ඉරටු පාරවල් නිතර දෙවේලේ විනෝද සමයෙන් දුන්නා. විනෝද සමයේ සමහර තැන් හිතනවට වඩා ගැඹුරුයි. එක පාරක් ඉංග්රීසි පන්තියට එන ළමයා, ඉංග්රීසි මාස්ටර්ගෙන් අහනව `` හා එහෙනං උඹ දන්නවනං කියපං the කියන එකේ තේරුම?`` කියල. මාස්ටර්ට තරහ ගිහින් කියනව ``ද කියන්නෙ ද`` කියල.
ඒ කතාංගයෙම තමයි ``මේ මගේ පියා`` කියල අමාරිස් අයියා පුතාව හෙවත් බර්ටිව පෙන්වන්නේ. එතකොට ඇනස්ලි අහනව, ``එතකොට තමුසෙ කවුද?`` කියල. ``මම කොල්ලගෙ තාත්ත`` කියල සැමුවෙල් කියනව. කොල්ලගෙන් ඇහුවම කියනව ``ඔව් මම පියා.. මේ මගේ තාත්තා`` කියල. මොකක්ද මේ පටලැවිල්ල කියල බැලුවම කොල්ලගෙ නම `පියදාස`. ගෙදරට ආදරේට කියන්නෙ `පියා` කියල. අමාරිස් අයියගෙ පුතාගෙ නම පියදාස වුණාට සැමුවෙල් රුද්රිගෝගෙ පුතා චන්දන තිලකරත්න. (සැමුවෙල්ට තව පුතෙකුයි දුවකුයි ඉන්නවා.) චන්දන තිලකරත්න කියන්නේ ලංකාවේ ඉන්න පරිණත සන්නිවේදකයෙක්. `කැටිපෙත් එක්ක` Ktube සාකච්ඡා මාලාවට ඔහු සම්බන්ධ කරගත හැකි වීම අපට සතුටක්. වැඩසටහනට මෙතැනින්..
අමාරිස් අයියා කාර් එකකට හේත්තු වෙලා, ඉස්සරහට ගිහින් වැඳගෙන ඉඳගන්නැතුව, ඈත කෙළවරක ඉඳන් කැළණිය පන්සලේ බණ ඇහුව හැටි චන්දන තිලකරත්න අපට එහිදී කියනව. තමන්ගේ සීයා ප්රනාන්දු කෙනෙක් වෙලා තාත්තා රුද්රිගෝ කෙනෙක් වෙලා තමන් තිලකරත්න කෙනෙක් වුණේ කොහොමද කියල ඔහු කරන පැහැදිලි කිරීම ; නම් ගම් වාසගම් එක්ක ඕනෑවටත් වඩා බැඳුණු පරණ අදහස් පිරිච්ච දූපතකට අලුත් කතාවක් කියල දෙනවා. ඒ විතරක් නෙමෙයි, දේශපාලන මඩගැසීම්වලින් සිත් තැවුල් නිර්මාණය කරලා අහිංසකයන් වක්ර ලෙස ඝාතනය කිරීමේ අඳුරු ඉතිහාසයක කඳුළු සිරකරගත් අතීත සිදුවීම් දිගේ ඔහු යන්නේ `විනෝද නොවූ සමයක්` ද ජීවිතයේ තිබූ බව සිහි ගන්වමින්.
- K