මීඩ්යා ලෝකයේ හැබෑ ගලිවර්

මීඩ්යා ලෝකයේ හැබෑ ගලිවර්

ගුවන්විදුලි යුගයේ සිට සයිබර් යුගය දක්වා විහිදෙන මාධ්‍ය ලෝකයේ සිව්දෙස නම රඳවන්නට සමත් වූ නිසාම පමණක් නොවේ, අප ඔහු ගලිවරයෙක් ලෙස හඳුන්වන්නේ. ‍මාධ්‍ය ලෝකයේ විරල මිනිසත්කම්වලින් පොහොසත් හැබෑ යෝධයෙක් නිසා. නව පරපුර ඒ සොඳුරු මිනිසා ආදරයෙන් වැළඳගන්නේ එනිසායි. පසුගියදා සයිබර් අවකාශයට මුදා හැරුණ වැඩසටහටහනක් ඔස්සේ මේ වටිනා මිනිසා  කියවන්නට බොහෝ දෙනෙකුට හැකියාව ලැබුණා.එතෙක් මෙතෙක් ඔහු ගැන නොදැන සිටි කතා මේ රසවත් වැඩසටහන තුළ දිගහැරෙන්නේ නිරායාසයෙන්. 

එය වර්තමාන පරපුර නියෝජනය කරන මාධ්‍ය ඇසකින් Fb සටහනක් ලෙස ලියවී තිබුණේ මෙලෙස.

උපුටා ගැනීම - නදී මාණික්කගේ fb සටහන

සමන් අතාවුදහෙට්ටි ගැන අහලා කියවලා තිබුණට ඔහු ගැන මේ තරම් ගෞරවයක් දැනුණේ මේ වැඩසටහනින් පස්සේ... මේකෙ එක තැනක කියනවා සමන් අතාවුදහෙට්ටි මහත්මයා ලියන ගුවන්විදුලි නාට්‍යයක් ග්‍රාහකයන් පිස්සු වැටෙන තරමේ නිර්මාණයක් බවට පත්වෙනවා. ඒ නාට්‍ය ලිවිල්ල එයාටම කරන්න කියලා බලධාරීන් කියනවා. ඒත් ඒකෙන් ඔහු සමඟ නාට්‍ය ලිය ලිය හිටපු තව අයට ඒකෙන් එන මුදල අහිමි වෙනවා, ඔවුන්ගේ ඉඩ ඇහිරෙනවා. ඉතින් තමන්ගේ කාර්යාල සහ මාධ්‍ය සගයාට බඩේ පාර නොවදින්න; තමන් ලියපු ළමා නාට්‍යය ඔහු සමඟ බෙදාගෙන ලියූ බවත්; ලැබුණු මුදල සෑම මසකම දෙකට බෙදාගත් බවත් ඔහු කියනවා... එකිනෙකා⁣ කා කොටා ගනිමින් ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ යැයි බදාගනිමින් නිර්මාණයන්ට මරාගන්නා අපේ පරම්පරාවේ සමහරුන්ට ඔහුගෙන් ගතහැකි පාඩම් බොහොමයි... මෙතරම් සොඳුරු මිනිසුන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටි බව දැනීමෙන් අපගේ හෘදය පවා ගර්වයකින් පිරී යනවා... අපිද එසේ විය යුතු බව සිතෙනවා... මනුස්සකමින් පිරි සන්දේශ බිහිවන්නේ මෙවන් සන්දේශකරුවන්ගෙන් බව දැනීමෙන් මේ පුද්ගලයන්ගේ අත්දැකීම් තව තවත් මාධ්‍ය වෘත්තිකයන් සමඟ බෙදාගැනීම යහපත් බව සිතෙනවා...

උපුටා ගැනීම අවසන්.

මිනිසුන් විසින් මිනිසුන් උදෙසා පවත්වාගෙන යන මාධ්‍ය ලෝකය මිනිසත්කමින් පොහොසත් නම් අද ඉන් ගිලිහී ඇති බොහෝ වටිනාකම් නැවත ලබාගත හැකිවේවි. අතීතය දෙස බලා නිර්මාණය කරගන්නා අනාගතය උදෙසා මෙවන් වටිනා මිනිසුන්ගේ අත්දැකීම් බෙදා ගැනීම වැදගත් වන්නේ එනිසායි.

එම සම්පූර්ණ වැඩසටහන පහතින්