ටෙනී මරණය දුටු හැටි ඩබ්ලිව් ජයසිරි කියයි !

ටෙනී මරණය දුටු හැටි ඩබ්ලිව් ජයසිරි කියයි !

කාලය , දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හා යූඇන්පී ආණ්ඩුව ජනතාව සමග හොරා පොලිස් සෙල්ලම් කරන සමයයි. අපි අනුරාධපුරයේ යාපනය හන්දිය අවට පරිසරය පසුබිමේ "රිදීපෝරු" ටෙලි නාටකය රූප ගත කරමින් සිටියෙමු. අධ්‍යක්ෂවරයා රත්නසිරි පරණවිතාන ය. ප්‍රධාන චරිත රඟපෑවේ ටෙනිසන් කුරේ සහ මමයි. මේ දිනවල ගුණදාස කපුගේ රජරට ගුවන්විදුලි ප්‍රාදේශීය සේවයේ ලොක්කා ය. දවසක රූපගතකිරීම් අවසන ටෙනී හා මා එවකට අනුරාධපුරයේ මන්ත්‍රී බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ගෙදර ගියේ කපුගේ කළ ආරාධනාවක් අනුවය. අප උණුසුම් ලෙස පිළිගත් මන්ත්‍රීතුමා හොඳ කටගැස්මක් එක්ක old arrack බෝතලයක් වැඩමවීය. වෙනත් රැයකට වඩා ගේ අවට 1kv ආලෝක ධාරා හතරක් දල්වා තිබිණ. "දේශප්‍රේමියො කොයි වෙලාවෙ එයිද දන්නෙ නෑ. ඒකයි මෙච්චර ලයිට් දාගෙන ඉන්නෙ." ඒ කතාවට ටෙනී කොයිතරම් තැති ගත්තා ද කිව්වොත් උගුරට හලාගත් අරක්කු වඩිය ඉස්මොළේ ගියේය. වැඩි වෙලාවක් මත් සොමිය විඳින්නට ලැබුණේ නැත. විදුලිඑළිය විසන්ධි වී පළාතම කළුවර කුට්ටියක් විය. "ඔහොම ඉන්න තැනම බිම දිගාවෙන්න." , මන්ත්‍රීතුමා කෙඳිරියක් නැගීය. ටෙනී මා ළඟම බිම මුනින්තලා වී ඉකිගසමින් හීං දහදියට තෙමෙමින් සිටියේය. විනාඩි කිහිපයකට පසු විදුලිය සන්ධි විය. ටෙනීගේ කමිසය දහදියෙන් තෙතබරිත වී තිබිණ. "ටෙනී හොඳටම බය වෙලා.". ටෙනීගේ මුව ගොලු වී හීන් හිනාවක් විතරක් මුහුණේ විය. මන්ත්‍රීගේ ආරක්ෂක රථය පෙරටුව කපුගේ ගේ ජීප් රථයෙන් අපි නවාතැනට ගියෙමු.
පසු දා උදෑසන් ඇහැරෙන විට ටෙනී සුපුරුදු ලෙස, ඔහුගේ ගමන්මල්ලේ ඔහු සමග යන - එන කුඩා බයිබලය කියවමින් සිටියේය.
"මචං ජයේ, මම මැරෙන්න බයයි. උඹ බය නැද්ද ?"
එදා මගෙන් එහෙම ඇසූ ටෙනිසන් කුරේ නම් වූ සිනා මවන්නා මටත් කලින් යන්නම යන්න ගිහිං.

ටෙනී, ඔබට සුබ දිගුනින්දක් !

| ඩබ්ලිව්. ජයසිරි ෆේස්බුක් පිටුවෙනි |