සිංහල සිනමාවේ හැඩකාර චණ්ඩියා ; රොබින් !

සිංහල සිනමාවේ හැඩකාර චණ්ඩියා ; රොබින් !

මනුෂ්‍යයන් හැටියට ජීවිත කාලය තුළදී අප විවිධ රසයන් විඳිනවා. ඇළුම් කරනවා. 'ත්‍රාසය' ඉන් එක් අංගයක් ලෙස දැක්විය හැකියි. එදා මෙදාතුර චිත්‍රපට ලෝකයේ ත්‍රාසයට, එහෙමත් නැත්නම් සටන් ජවනිකාවලට මේ තරම් තැනක් හිමිවන්නේද ඒ නිසායි. එය වෙනම කලාවකි. බොහෝවිට වාණිජ රැල්ලේ චිත්‍රපටයක කොතැනක හෝ අවසානයේ එන මෙවැනි අවස්ථාවක් එන තෙක් අප සැදී පැහැදී බලාගෙන සිටි කාලයක් තිබුණා. අපේ සිනමාවේ ආරම්භක යුගයේ මෙවැනි සටන් ජවනිකා පැවතුණේ ඉතාමත් ප්‍රාථමික තත්ත්වයක බව අකමැත්තෙන් වුවද පැවසිය යුතුයි. තාක්ෂණයේ අවම බව, පුහුණුවක් නොමැතිකම මෙන්ම ඒ පිළිබඳව නිසි දැනුමෙන් යුතු අය නොසිටීම ඊට හේතු වූවා යන්න එකහෙළාම එහිදී දැනෙනවා. පැරණි චිත්‍රපටයක් නැවත සිනමා ශාලාවක හෝ රූපවාහිනිය මගින් නරඹන විට එහි ඇති සටන් ජවනිකා දුටු විට නොදැනීම අපට සිනහවක් මුවගට නැගෙන්නේ ඒ නිසාවෙනි. නමුත් එම යුගයේම බටහිර චිත්‍රපටවල මෙවැනි අවස්ථා අදටත් වඩා විශ්වසනීය බව රැක ගනිමින් රූ ගන්වා තිබුණා. එය වෙනමම කතා කළ යුතු මාතෘකාවකි.
අද මා කතාකරන්නේ චිත්‍රපටයක 'සටන' කියූ සැණින් නිතැතින්ම අපට සිහිවන චරිතයක් පිළිබඳවය. ඔහු චිත්‍රපටයක එන සටන මේ වගේ විය යුතුයි යන්න අපට හොඳින් පහදා දුන්නා මෙන්ම මේ වටිනා කාර්‍යයභාරය ඉහළ තලයකට ඔසවා තබන්න කැපවී කටයුතු කළ කිහිපදෙනා අතරෙන් පෙරමුණේ සිටිනා අයෙකි. තමා වෙහෙස වී වඩවා ගත් දක්ෂතාව සේ ම උප්පත්තියෙන් දායාද වුණු කඩවසම් රූපකාය ඔහුට සිනමාවේ වීරයෙක් වන්නටත් නොනැවතී දිගු ගමනක් යන්නටත් බලපෑවේය.

සිංහල සිනමාවේ හැඩකාර සටන්කාමියා පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු හෙවත් අපට සුපුරුදු රොබින් ප්‍රනාන්දු.

මුද්‍රණ අංශයේ රැකියාවක නියුතුව සිටි සිරිල් ඇන්තනී සහ වයලට් ඇන්තනි යුවලට දාව ඔහු රොබින් ස්ටීවන් ප්‍රනාන්දු ලෙසින් 1937 වසරේ ජූනි 15 වැනිදා කොළඹ කොටහේන ප්‍රදේශයේදී උපත ලබන්නේය. පවුලේ තවත් සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් විය. ඔහුව පාසල් අධ්‍යාපනය සඳහා කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට දෙමාපියන් විසින් ඇතුළත් කෙරිණ.

කුඩා කල සිටම ක්‍රීඩාවට ඇල්මක් දක්ෂතාවක් දක්වන ක්‍රියාශීලි ළමයෙකු වූ ඔහු ඉතාමත් කෙටි කලකින්ම විදුහලේ කැපී පෙනෙන සිසුවෙක් බවට පත්විය. ගිණි වළලු පැනීම ඇතුළු සියලුම ක්‍රීඩාවලට දක්ෂතාවක් පෙන්වූ ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාවට ඉමහත් කැමැත්තක් දක්වා ඇත්තේය. මේ අනුව විදුහලේ ක්‍රීඩාවට දක්ෂතම සිසුවා බවට පත්වූයේ ඔහුයි. පාසල් අධ්‍යාපනය අතරතුරේ දහම් පාසල වෙත යාමෙන් බෞද්ධ ධර්මය පිළිබඳවද ඔහු තුළ නැඹුරුවක් ඇතිවිය.

සුදේශ් ගුණරත්න, විජය කුමාරතුංග සහ රවීන්ද්‍ර රන්දෙණිය රොබින්ට පහළ පන්තිවල සිටි සිසුවෝ වූහ. රොබින්ගේ ක්‍රියාකාරකම් එකල ඔවුන් විස්මයෙන් වට වී බලාගෙන සිටි බව පසු කලෙක සිනමාවට පිවිසීමෙන් පසු විජය කුමාරතුංග පුවත්පතකට පවසා සිටියා මගේ මතකයේ පවතී. එමෙන්ම මුල්කාලයේ 'වීර පුරන්අප්පු' චරිතය ඇසුරෙන් නිපදවීමට සැලසුම් කළ චිත්‍රපටයක් වෙනුවෙන් විජයට අසුන් පිට යාමට පුරුදු පුහුණු කර තිබුණේද ඔහු විසින් බව එහිම සඳහන් විය. නමුත් එම චිත්‍රපටයේ වැඩකටයුතු අතරමග නතරවූ බවක් පැවසෙයි.

ජිම්නාස්ටික්,කරාතේ සහ ජූඩෝ ක්‍රීඩාවට දැක්වූ දක්ෂතාව නිසා විවිධ අවස්ථාවන්හිදී රොබින් වර්ණ ලබාගැනීමට සමත් වන්නේය. පාසල් සමය නිමාවීමෙන් පසු ගෙවුණු කාලයේදී ඔහු තම මුල්ම ‍රැකියාව හැටියට 'මැක්වුඩ්ස්' සමාගමේ සේවයට බැඳුණේය. රැකියාව නිසා අතේ මුදල් ගැවසුණෙන් විනෝදාංශයක් හැටියට චිත්‍රපට නැරඹීමට ඔහු යොමු විය. සිංහල, ඉංග්‍රීසි, හින්දි සහ ඉඳහිට දමිළ චිත්‍රපට පවා ඔහු මහත් රුචියකින් නැරඹුවේය. කෙසේ වුවද මේ අතුරෙන් ක්‍රියාදාම බටහිර චිත්‍රපට නැරඹීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය. බටහිර සිනමා නළුවන් අතුරෙන් ජිම්නාස්ටික් ක්‍රීඩාවට දක්ෂ බර්ට් ලැන්කස්ටර්' රඟපෑ චිත්‍රපට බෙහෙවින්ම ඔහුගේ සිත්ගත්තේය.

මෙම චිත්‍රපට නැරඹීම ඔස්සේ සිනමා නළුවෙක් වන්නට ඇත්නම් යන සිතුවිල්ල නොයෙක් විට ඔහුගේ සිතට නැගුණි. තමා ඉපදුණු ගමේම සිටි ආරියරත්න කහවිට මහතා සමග ඔහුගේ තරමක මිත්‍රත්වයක් පැවතිණ. ඔහු හට සිනමාවේ යම් දැන හැඳුනුම්කම් තිබූ බව දැන සිටියෙන් රොබින් ඔහු හමුවී තම සිතැඟි පවසා සිටියා.

මෙය ටයිටස් තොටවත්තයන් 'චණ්ඩියා' රූපගතකිරීම ආරම්භ කර තිබූ අවදියයි. ආරියරත්න කහවිට මහතා රොබින්ව ටයිටස් තොටවත්ත වෙත කැඳවාගෙන යනවා. මනා රූපකායක් ඇති රොබින්ව දුටු මුල් දසුනෙන්ම ඔහු චිත්‍රපට රඟපෑමට නියම සුදුස්සෙක් බව තොටවත්ත මහතා තීරණය කරනවා. තිරනාටකය මඳක් වෙනස් කරමින් චිත්‍රපටයට පිහිනුම් තටාකයක පසුබිමේ සටනක් ඇතුළත් වන්නේ මේ අනුවයි. චිත්‍රපටයේ ගාමිණී (චුට්ටේ) සමගින් රොබින් කරන මේ සටන එතෙක් සිනමාවේ පැවති හොඳම වගේම දියුණුතම සටන් දර්ශනවලින් එකක් බව පැවසිය යුතුමය. එය 'චණ්ඩියා' නැරඹූ ඕනෑම සිනමා ලෝලියකු අනුමත කරනවා ඇතැයි මම සිතමි.

කොහොම නමුත් රොබින් මුලින්ම සම්බන්ධ වන්නේ 'චණ්ඩියා' චිත්‍රපටයට වුණත් මුලින්ම තිරගතවන්නේ ඒ අතරතුරේ ඔහු සුළු කොටසක් රඟපෑ 'ධීවරයෝ' චිත්‍රපටයයි.

'චණ්ඩියා' චිත්‍රපටයෙන් පසු මුල් අවදියේදී සැඟවෙන සෙවණැල්ල, රුහුණු කුමාරි., කපටිකම, හතර කේන්දරේ, බයිසිකල් හොරා, අභිරහස, බිඳුණු හදවත්, රන් ඔංචිල්ලා, කවුද හරි, පිනිබිඳු, ලොකුම හිනාව, ඔහොම හොඳද, හිතක පිපුණු මල්, අපරාධය සහ දඬුවම ආදි මෙහි නම් සඳහන් කළ නොහැකි චිත්‍රපට ගණනාවක රඟපෑවේය. මින් බොහෝමයක සටන් මෙහෙය වීම සිදුවුණේ ඔහුගෙනි. සමහරක් චිත්‍රපටවල රඟපෑමෙන් එක් නොවුණද සටන් මෙහෙයවීම සිදුකළේ ඔහුය. උදාහරණයක් ලෙස 'සසර චේතනා' නම් කළ හැකියි. ඒ හැරෙන්නට බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම මත ඔහු ඔවුන් හට අවශ්‍ය උපදේශකත්වය ලබාදී සටන් අධ්‍යක්ෂණය කළ අවස්ථා බොහෝමය. එය ක්ෂේත්‍රයේ හැමෝම දන්නා කරුණකි.

හාර ලක්ෂය, රුහුණු කුමාරි, කවුද හරි, හදවත් නැත්තෝ, සිහසුන, සාගරිකා, සිංගප්පූර් චාලි, ජීවන ගංගා, සිකුරුලියා, වස්තුව, ඉහත ආත්මය, සිරිපාල සහ රන්මැණිකා, අපේක්ෂා, හස්ති වියරුව, රක්තා, නිවෙන ගින්න, ජීවිතයෙන් ජීවිතයක්, එක් දවසක් රෑ, අංජානා, තන්හා ආශා ආදි චිත්‍රපට ඔහුගේ සටන් අධ්‍යක්ෂණයෙන් අලංකාර වූ සිනමා නිර්මාණ පෙළක් හැටියට නම් කළ හැකියි.

මේ චිත්‍රපටවල එන සටන් ජවනිකා ගැන නැවත නැවතත් අපට කතා කළ හැකිව තිබෙනවා. උදාහරණයකට 'හාර ලක්ෂය' සහ 'අපේක්ෂා' ච්ත්‍රපට ගත්තොත් එය බටහිර චිත්‍රපටයක එවන් අවස්ථාවකට කිසිසේත් දෙවනි වන්නේ නැත. මගේ මිතුරෙක් 'හාර ලක්ෂය' චිත්‍රපටයේ ‍රොබින් සහ ඇලෙක්ස් අතර ඇතිවන සටන තම ඩී. වී. ඩී. තැටිය ඔස්සේ නැරඹූ වාර ගණන කිව නොහැකි යැයි වරක් මා සමගින් පැවසුවා. සැබැවින්ම එය නම් තාත්වික බවේ උපරිමය විදහාලූ අතිසාර්ථක සටනකි. එමෙන්ම දැඩි අවධානමක් ගෙන ඔවුන් දෙපළ එය ඉදිරිපත් කළ බව අපට දැකගන්නට ලැබෙයි. 'සිරිපාල සහ රන්මැණිකා' චිත්‍රපටයේ ධාවනය වන දුම්රිය පෙට්ටි මතින් පැන යන රූප රාමුපෙළ ද මතකයෙන් බැහැර නොවේ. 'අපේක්ෂා' චිත්‍රපටයේ ‍රන්ජන් මෙන්ඩිස් සමග ඔහු එවැනිම විශිෂ්ට මට්ටමේ සටනක් ඉදිරිපත් කරයි. ඔවුන් දෙදෙනා දුහුවිලි පස් කන්දකින් පෙරළී එන දර්ශනය මේ මොහොතේත් මගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙයි.
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හට සිනමාවට එන්නට මග පෑදුවේද රොබින් විසිනි. මේ හැරෙන්නට බොහෝ නවක පිරිස් හට ගුරුහරුකම් ලබාදී සිනමාවේ ස්ථාවරත්වයකට පැමිණීමට ඔහු උදව් උපකාර කළ අවස්ථා එමටය.

'රුහුණු කුමාරි', 'හදවත් නැත්තෝ', 'කවුද හරි', 'සංඛපාලි', චිත්‍රපටවල එන ත්‍රාසජනක සටන් අවස්ථාවන්ද සදාකාලික මතකයන් ලෙස නම් කළ හැකියි.
'රත්තත්තීන් රත්තමේ' චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කරනා විට දකුණු ඉන්දියාවේ 'ජේම්ස් බොන්ඩ්' ලෙස හඳුන්වන ජෙයි ශංකර් හට සටන් උපදේශකත්වය ලබාදී ඔහුව මෙහෙයවනු ලැබුවේද රොබින් විසිනි. ඔහු විදේශීය චිත්‍රපටයක පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් රඟපෑ බව පුවත්පතක සඳහන්ව තිබුණා මතකයේ පවතී.

ඔහුගේ කඩවසම් බාහිර පෙනුම නිසා පසුකාලයේ ප්‍රධාන සහ උප ප්‍රධාන චරිතවලට තෝරාගැනිණ. 'දැවෙන පිපාසය' එහි ප්‍රථම අවස්ථාවයි. හදවත් නැත්තෝ, අපේක්ෂා, මුවන් පැලැස්ස 2, අලි බබා සහ හොරු හතළිහ, පිනිබිඳු, සප්ත කන්‍යා, සිරිපාල සහ රන්මැණිකා, නිවෙන ගින්න, ජීවිතයෙන් ජීවිතයක්, රක්තා, මුහුදු ලිහිණි, ළඳුනේ ඔබ දෙවඟනකි, සිකුරුලියා, අහිමි දඩමං, චුට්ටේ ඉන් කිහිපයකි.

ඔහු, බටහිර චිත්‍රපටයක් සහ ටෙලිනාට්‍ය මාලාවක් වන Charlies Angeles අනුසාරයෙන් 'සුර දූතියෝ' චිත්‍රපටයත් අනතුරුව ඔහුගේම අදහසක් අනුව 'නින්ජා ශ්‍රී ලංකා' චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේය. මේ චිත්‍රපටවල එදාට සාපේක්ෂව දියුණු සටන් ක්‍රම සහ උපරිම ක්‍රියාදාමයන් ඔහු ඉදිරිපත් කළ බව පැවසිය යුතුයි. එය ඔහු ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන් හට වෙනස් වින්දනයක් ලබාදීමට ගත් උත්සාහයකි.

ඔහු එතෙක් මෙතෙක් රඟපෑමෙන් එක්වුණු චිත්‍රපට ප්‍රමාණය 80 ඉක්මවයි. විවිධ සම්මාන උලෙළවලදී ඔහු සම්මානයෙන් පිදුම් ලැබුවේය.

රූපවාහිනිය මගින් ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමත් සමග රොබින් ටෙලිනාට්‍ය රංගනයටද පිවිසීය. බෝගල සවුන්දරිස්, සෙක්කු ගෙදර, සමුද්‍ර ඡායා ඉන් කිහිපයකි.

සිංහල සිනමාවට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ මේ ජේෂ්ඨතම රංගනවේදියා, කලාකරුවා වර්තමානයේ සිය සැදෑ සමය ආදරණීය බිරිඳ, දරු මුණුබුරන්ගේ සෙනෙහස මැද්දේ විවේකී සුවයෙන් ගත කරමින් සිටින්නේය. අප කවදත් ආදරය කළ දයාබර රොබින් ප්‍රනාන්දු කලාකරුවාණෙනි, මේ සිතුවම ඔබටයි !

රිදී වලා තුළින් එබී
රිදී වලා තුළින් එබී
බැබළෙන රන් තාරකා...//
ඔබේ නුවන් වාගෙ පෙනේ...//

( සංගීතය )

ඔබේ සුදා
ඔබයි සුදෝ
ඔබයි සුදෝ
මගෙයි සුද
සදා නැගෙයි ආදරේ...//
උදා ගිරේ නිලම්බරේ
පුරා හඳක් පායනවා
පුරා හඳක් පායනවා

( සංගීතය )

සුසුම් සිහිල්
සුලං වෙලා
සුසුම් සිහිල්
සුලං වෙලා
සමන් සුවඳ ගෙනෙන්නේ...//
වසන්තයේ සඳුන් වනේ
ආදරේ මල් පිපුණා
ආදරේ මල් පිපුණා
ආදරේ මල් පිපුණා

චිත්‍රපටය - දැවෙන පිපාසය.
අධ්‍යක්ෂණය - තිමති වීරරත්න.
පද රචනය - හෙන්රි ධර්මසේන.
සංගීතය - පී. වී. නන්දසිරි.
ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග
ශ්‍රීමතී තිලකරත්න.
රඟපෑම - රොබින් ප්‍රනාන්දු සමග
නිලන්ති විජේසිංහ.

| සිතුවම සහ සටහන - ජානක ඉලුක්කුඹුර |