විජය යාපනයට ගියේ ඇයි ?

විජය යාපනයට ගියේ ඇයි ?
1945 ඔක්තෝබර් 09 වන දා ජා-ඇල දී උපත ලැබ 1988 පෙබරවාරි 16 වන දා පොල්හේන්ගොඩ දී වසර 43කට ආසන්න සිය කෙටි දිවි සැරිය නිමා කළ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග ඉන් වසර 32ක් ගෙවී ගිය අද දවසේ දී ද අපට වැදගත් චරිතයක් වන්නේ කෙලෙසින්ද?
 
සරසවිය පත්‍රයේ පළ වී තිබූ දැන්වීමකට අයැදුම් කොට ඒ හරහා සිනමාවේ කුඩා කවුළුවක් පාදා ගත් - අනතුරුව 'හන්තානෙ කතාව' හරහා එක රැයින් දිදුලන තරුවක් බවට පත් - ලංකා රිදී තිරයේ සිහින කුමාරයා විලසින්ද? හිටපු අගමැතිවරයෙකුට සහ හිටපු අගමැතිවරියකට දාව උපන් දියණියක සමඟ අතිනත ගෙන දේශපාලනයට අත් පොත තබන්නට සුදුසුකම් ලැබූ - පසුව ඒ දෙස්පල් ලොව තුළ නොවක් හැඩ චලිතයන් සටහන් තැබූ දේශපාලකයෙකු ලෙසින්ද? ගැඹුරුතම හඬකින් ශ්‍රාවක ලවන් සැකසූ සහ සැනසූ, 'කටු ඉඹුලේ අප එල්ලාපන්' කියා ගැයූ විසල් ගායක ප්‍රතිරූපයකින්ද? නැක්සලයිට් චෝදනාගතව සිර ගෙදර සිටිය දී නේරු අනුව යමින් සිය පුතු විමුක්තිට විමුක්තිය ගැන ලිපි ලියා යැවූ අපරාජිත පීතෘ රුවකින්ද? විජය රුව සිය ඇඳුම් අල්මාරි තුළ සඟවා තබා ගනිමින් ඔහුව රහසේ රස විඳී ගැහැනුන් ගේ සිට විජය මළ පුවත අසා සිය සිරුර ගිනි තබාගෙන දිවි නසාගත් මිනිසුන් දක්වා පරාසයක කතන්දර අපට කියන්නේ කුමක්ද? ඒ කැරලි ගැසුණු හිස කෙස්වලින් යුතු තුරුණු රුව අදට ද මන්දහාසයෙන් යුතුව අප දෙස බලා සිටින්නේ ඇයි?
 
විජය යාපනයට ගියේ මොකටද? නල්ලූර් මුරුගන් කෝවිල වැඳ දෙමළ ජනතාව හමුවී කතා කළේ මොනවාද? මෙතෙක් මේ ලිපිය ලියැවූ ඔබ ඇතැම් විට නළලට ප්‍රශ්නාර්ථයේ රැළිති ද මුහුණට නොරිස්සුම්බවේ හැඩති ද මවා ගන්නට ඉඩ තිබේ. ලියුම්කරු කිසිත් නොකියා ප්‍රශ්න පිට ප්‍රශ්න පමණක් නගන්නේ කුමටද? ඔබට ප්‍රශ්නයක් නැගෙන්නට ඉඩ ඇත. හරි, අපි උත්තර බඳිමු!
 
විජය ජාතිවාදයෙන් තොර මිනිසෙකි. ඔහු යාපනේ ගියේ ඒ නිසා ය. විජය ආගම්වාදයෙන් තොර මිනිසෙකි. ඔහු මුරුගන් වැන්ඳේ ඒ නිසා ය. විජය ජාතිය හෝ ආගම මත කෙනෙකු පහත් නොකළ - තවකෙකු උසස් නොකළ මිනිසෙකි. ඔහු සිංහලයාගේ මෙන්ම දෙමළාගේ ද ප්‍රශ්නවලට සංවේදී වුණේ ඒ නිසා ය. විජය බලය යනු ගල් ගැසුණු හිම කුට්ටියක් ලෙස නොව දියව වැගිරී දසත විසිරෙන ජල ප්‍රවාහයක් සේ දුටු මිනිසෙකි. ඔහුට ඇතැම් තැන රැඳෙන්නට නොහැකි වූයේ ඒ නිසා ය.
 
ඇත්ත! ඔහු ජනකාන්ත නළුවෙකි; ගායකයෙකි; නොයෙක් තැන ගැවසුණු දේශපාලකයෙකි. තව තවත් බොහෝ විශේෂණ පද නම ඉදිරියෙන් යොදා ආමන්ත්‍රණය කළ හැක්කෙකි. ඒ සියල්ල එසේ තිබිය දී ජාතිවාදයට සහ ආගම්දවායට එරෙහි වූ, බලය පිළිබඳ ප්‍රගතිශීලී මත වාදයක් දැරූ මිනිසෙකු ලෙස අපට විජය වෙසෙසින් කැපී පෙනෙයි. එදාටත් වඩා අධි වේගයකින් අද මේ දූපත ඇවිලෙන මොහොතක ඒ බරැති කටහඬ සහිත කඩවසම් රූපය නිරායාසයෙන් අපේ ඇස් ඉදිරිපිට පතිත වෙයි.
 
නමුත් තිස් දෙවසරකට පසුව ද මේ ගැඹුරු මන්දහාසය අබිමුව අපි තවම නිරුත්තර වෙමු!
 
| කසුන් සමරතුංග | ලංකා | ROSE | 2020.02.16 |

vijayak2